ලංකාව දූෂිත රාජ්‍යක් බව ලෝකයම අද පිළිඅරන්

0
64

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා අන්තර් ජාතික මූල්‍ය අරමුදල මඟින් ඩොලර් බිලියන 29ක ණය මුදලක් ලබාදීමට තීරණය කර තිබේ. මෙම ණය මුදල ලබාදීම සඳහා IMF ඉදිරිපත් කළ කොන්දේසි, ලැබෙන ණය මුදල් කළමනාකරණය කරගත යුත්තේ කෙසේද සහ මෙමඟින් පවතින අර්බුදය යම්තාක් දුරකට හෝ විසඳාගත හැකිද යන්න පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යා අංශයේ  ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චම්පිකා ධර්මදාස සමඟ කළ සංලාපයකි.

අයි. එම්. එෆ්. එකෙන් ඩොලර් කෝටි 290ක ණයක මුදලක් අනුමත වෙලා තියෙනවා. මේ ණය මුදල  අනුමත වුණේ කුමන පදනම යටතේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ වන විට මූලික මට්ටමේ මාණ්ඩලික සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 29ක ණයක් මාස 48ක් ඇතුළත ලබාදීමට එකඟ වී තිබෙනවා. මෙම ණය අරමුදල ලබාදීමට එකඟතාව පළ කිරීමෙන් අනතුරුව IMF ප්‍රධානීන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය යම්තාක් දුරකට විසඳා ගැනීමට මෙම ණය මුදල හරහා හැකියාවක් ලැබෙන බවයි. නමුත් ඔවුන්ට අනුව මෙය කෙටිකාලීන ක්‍ෂණික විසඳුමක්.  මෙමඟින් ශ්‍රී ලංකා ආර්ථිකයේ තිරසර බව පවත්වා ගැනීම සඳහා ආර්ථික අංශවල සුවිශේෂී ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීම අනිවාර්ය වෙනවා. ණය ලබාදෙන පිළිවෙළ පිළිබඳව  හරියටම අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි. එය IMF සහ මෙරට අතර ඇති කරගන්නා ගිවිසුම් මත සිදුවන දෙයක්.

මේ ණය මුදල ලබාදීම සඳහා ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි  මොනවාද?

ණය අරමුදල ලබාදීමට ප්‍රධාන වශයෙන් කොන්දේසි හයක් පදනම් වෙලා තියෙනවා.  ඉන් පළමුවැන්න වන්නේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමයි. මේ යටතේ රාජ්‍ය ණයවල තිරසරභාවය පවත්වා ගැනීම, අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් නැවත යථා තත්ත්වයට පත් කිරීම සහ ශ්‍රී ලංකා රජය පිළිබඳව දේශීය හා ජාත්‍යන්තර විශ්වාසය නැවත තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

දෙවැන්න රාජ්‍ය ආයතනවල එසේ නොමැති නම් රාජ්‍ය ව්‍යවසාය තුළ පවතින මූල්‍ය අවදානම අඩු කිරීම සඳහා එම ආයතන පිරිවැය ප්‍රතිසාධන මිල ක්‍රමය (cost recovery pricing) භාවිත කළ යුතු බවයි. පිරිවැය වැය ප්‍රතිසාධන ක්‍රමය භාවිත කරන විට සේවාලාභියකුගෙන් එකතු කරන ලද මුදල සපයනු ලබන සේවාවන්හි පිරිවැය ඉක්මවා යන තෙක් ව්‍යාපාරයක් තම සේවා විකිණීමට අදාළ ආදායම වාර්තා කරන්නේ නෑ. ආදායම් හඳුනා ගැනීමේ වඩාත්ම ගතානුගතික ක්‍රමය තමයි පිරිවැය ප්‍රතිසාධන ක්‍රමය.

සාමාන්‍යයෙන් රාජ්‍ය ව්‍යවසාය තුළ යම්කිසි වර්ෂයකදී සපයන සේවාවන් සඳහා ලැබෙන මුදල් එම වර්ෂය ඇතුළතදීම ලැබේ යැයි විශ්වාස කළ නොහැකියි. ඒ නිසා ලැබෙන මුදල ඒ සඳහා දරපු වියදම පියවගන්නා තෙක් ගිණුම්ගත නොකිරීමෙන් ආදායම් අධිතක්සේරුවෙන් සිදුවන හානිය වළක්වා ගන්න පුළුවන්. මේ ක්‍රමය රාජ්‍ය ව්‍යවසායට වඩාත් යෝග්‍ය වන්නේ මේ රටේ දැනට පවතින රාජ්‍ය ව්‍යවසායවලින් පාඩු ලැබීමක් පෙන්නුම් කරන නිසයි. රාජ්‍ය ව්‍යවසායයන් ලාභ උපරිම කිරීමක් අරමුණු නොකරන නමුත් පාඩු සිදුවීමක්ද නොවන බව සාමාන්‍ය පිළිගැනීමයි.

මහ බැංකුවේ ස්වාධීනත්වය සම්බන්ධව  

අයි. එම්. එෆ්. පළ කරන අදහස් මොන වගේද?

ඉහත මා දැක්වූ කාරණාවලට සමගාමීව මූල්‍ය ප්‍රතිපත්ති හරහා මූල්‍ය ඒකාබද්ධතාව ඇති කර ගැනීමට කටයුතු කිරීම සහ මහ බැංකුවේ ස්වාධීනත්වය දැඩි ලෙස ආරක්ෂා කර ගත යුතු බවත්  ඔවුන් අවධාරණය කරලා තියෙනවා. මහ බැංකුවේ ස්වාධීනත්වය කියලා කියන්නේ දේශපාලනික ඇඟිලි ගැසීම්වලින් තොර විය යුතුයි කියන එක. සමහරු මේ දේශපාලන ඇඟිලි ගැසීම් කියන එකෙන් මහ බැංකුව රටේ ඉහළම ස්ථානයේ තිබිය යුතුයි කියන වැරදි මතයේ ඉන්නවා.

නමුත් එයින් අදහස් කරන්නේ මහ බැංකුව රටේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට ඉහළින් තිබිය යුතු බව නොව එහි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී එනම් රජයේ ආර්ථික කටයුතු සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේදී සීමාවන් තබා ගත යුතු බව. රාජ්‍ය වියදම් සිදු කිරීමේදී ආදායම ප්‍රමාණවත් නොවේ නම් සාමාන්‍යයෙන් දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් ණය ගැනීම සාමාන්‍ය දෙයක්. මෙහිදී රජයට දේශීය වශයෙන් ණය සැපයීමේදී ඒ සඳහා ණය සීමාවන් පැනවීම මඟින් එවැනි දේශපාලන බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ හරහා මහ බැංකුවේ විශ්වසනීයත්වය දේශීය හා ජාත්‍යන්තරව තහවුරු කරගන්න පුළුවන්.

මෙවැනි ක්‍රම ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරනවා. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල්වල රජයට ණය සැපයීමේදී මෙවැනි ණය සීමාවන් පනවනවා. යම් කාලයක රජය විසින් එවැනි ණය සීමාවට පැමිණ ඇත්නම් එහිදී ණය දීම අත්හිටුවා රාජ්‍ය කටයුතු සිදු කිරීම අත්හිටුවීම සිදු කරනවා. මෙම ආයතනවල නැවත කටයුතු ආරම්භ කරන්නේ ඒ සඳහා වන ආදායම් සොයා ගැනීමෙන් පසුවයි. මෙය ‘government shut down’ ලෙස හඳුන්වනවා.

මේ ලැබෙන ණය මුදල් යෙදවිය යුතු ආකාරය ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවාද? 

ණය අරමුදලේ තවත් කොන්දේසියක් වන්නේ ශ්‍රී ලංකාවේ ක්ෂය වී ඇති විදේශ සංචිත නැවත ප්‍රතිෂ්ඨාපනය කොට මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කර ගැනීමයි. සාමාන්‍යයෙන් රටක් නිල සංචිත පවත්වා ගැනීමේදී ජාත්‍යන්තර වශයෙන් සීමාව වන්නේ අඩුම තරමේ මාස තුනක කාලයකට රටට අත්‍යවශ්‍ය ආනයන කර ගැනීමට ප්‍රමාණවත් මට්ටමේ සංචිත තිබිය යුතුයි කියන එක. තවත් ක්‍රමයකට බැලීමේදී මාස 12ක කාලයක විදේශ ණය වාරික වශයෙන් ගෙවීමට අවශ්‍ය සංචිත පැවැතිය යුතුයි කියන මතයක් තියෙනවා ගොඩක් රටවල. නමුත් දැන් ශ්‍රී ලංකාවේ සතියකටවත් ප්‍රමාණවත් සංචිත නැහැ. එතකොට මෙම ණය මුදලින් කොටසක් හෝ ඒ සඳහා යොදාගත යුතුයි. මෙයින් අදහස් වන තවත් දෙයක් නම් හිතූ හැටියට ණය මුදල වෙනත් අවශ්‍යතා සඳහා වියදම් කිරීමට අවසරයක් ලැබෙන්නේ නැහැ කියන එක.

මේ අතර තියෙන අනෙක් කොන්දේසිය නම් සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කළ යුතු බවයි. මේ මඟින් අදහස් කරන්නේ විශ්‍රාම වැටුප්, සමෘද්ධි, පින් පඩි වගේ රාජ්‍ය සංක්‍රාම ක්‍රමයේ තිරසර බව තහවුරු කිරීම පමණක් නෙවෙයි. ඒ අතරට විරැකියාවෙන් පෙළෙන අයට රැකියාවක් හොයා ගැනීම දක්වා යම්කිසි දීමනාවක් ලබාදීම සඳහා ක්‍රමවේදයක් ඇතුළත් කිරීම. මෙය ජපානයේ ඉතා හොඳින් ක්‍රියාත්මක වන ක්‍රමයක්.  බොහෝ විට අවුරුද්දක් පුරා මෙම ගෙවීම කරනවා. සාමාන්‍යයෙන් ජපානයේ මෙම කාල සීමාව අවුරුද්දකට සීමා වෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත අදාළ පුද්ගලයා රැකියාවක් සොයාගත යුතු බවයි. එසේ නොමැති වුවහොත් කලින් ගෙවන ලද ප්‍රමාණයෙන් අඩක් ගෙවීම ආදී වශයෙන් විවිධ නීති එතුළ ඇතුළත් වෙනවා.

එසේම සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා ඔවුන්ට විධිමත් රැකියා පියසක් නිර්මාණය කරලා තියෙනවා. විරැකියාවෙන් පෙළෙන කාලයේදී ඔවුන් කරන්නේ ඒ ස්ථානයට ගිහිල්ලා රැකියා විස්තර අඩංගු දත්ත ගබඩාව නිරන්තරයෙන් පරීක්ෂා කරලා සුදුසු රැකියා සොයාගෙන එම ස්ථානයේ සහාය ඇතිව ඒ රැකියා සඳහා අයැදුම් කිරීමයි. මෙය ඉතාම කඩිනම් හා කාර්යක්ෂම ක්‍රියාවක්. මෙවැනි ක්‍රියා අප රට තුළද ක්‍රියාත්මක කළ හැකිය. ඒ වගේම අර්බුදකාරී වාතාවරණයන් තුළ රැකියා අහිමිවන, ව්‍යාපාර බංකොලොත් වන සහ ආදායම් මාර්ග අහිමි වන්නන් යන සැමට නැවත ඒවා

යථා තත්ත්වයට පත් වන තෙක් ජීවිකාව සරිකර ගැනීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් හෝ වෙනත් ද්‍රව්‍යමය අවශ්‍යතා සැපැයීම සඳහා “හදිසි ආපදා අරමුදලක් ” (Emergency relief fund) රජය පවත්වා ගැනීම ආදිය මේ යටතට ඇතුළත් වෙනවා. මෙය අඛණ්ඩව හා ස්ථාවරව පවත්වා ගන්න ඕන අරමුදලක්. එය ස්ථාවර නම් අර්බුද අවස්ථාවන්වලදී හදිසි මුදල් අච්චු ගැසීමක් අවශ්‍ය වන්නේ නෑ. ඒ හරහා ඇතිවන උද්ධමනාත්මක බලපෑම් අවම කර ගන්න පුළුවන්.

දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමත් ඔවුන්ගේ කොන්දේසියක් නේද?

IMF මඟින් බලාපොරොත්තු වන අනෙක් වෙනස නම් දූෂණය, වංචාව අවම කිරීම සහ නැති කිරීමට අවශ්‍ය නෛතික රාමුවක්  හදලා ඒ හරහා තිරසර ආර්ථික වර්ධනයක් හා සංවර්ධනයකට අවශ්‍ය වන අඩිතාලමක් දැමීම.  මෙම කොන්දේසිය මඟින් ගම්‍ය වන්නේ දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද

ශ්‍රී ලංකාව දූෂිත රටක් බව පිළිගෙන ඇති බවයි. මෙය පැවැසිය යුතුම සත්‍යයක්.  වර්තමානයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සියල්ලක්ම පාහේ වංචා, දූෂණවලට නමගිය තැන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අධිකරණයටත් බලපෑම් එල්ල වන අවස්ථාද විශාල වශයෙන් දකින්නට තියෙනවා. ඒ නිසා නීති රාමුව මනාව සැකසිය යුතුයි. කුමන හෝ තරාතිරමක පුද්ගලයෙක් වුණත් සිදු කළේ වැරැද්දක් නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන අයුරින් නීතියේ හිඩැස් අයින් කළ යුතුයි.

රටක කොඳු නාරටිය වගේ තියෙන්නේ ඒ රටේ නීති පද්ධතිය. එහි සර්ව සාධාරණ බවක් නැත්නම් ඒ රටේ අන් කිසිවක නිසි පැවැත්මක් නැහැ. ශ්‍රී ලංකාව මේ තත්ත්වයට පත්වීමට බලපෑ ප්‍රධාන කරුණු අතර නෛතික රාමුවේ පවතින දුර්වලතාද හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා රට නැවත ස්ථාවර කිරීමට අවශ්‍ය මූලික අංග අතර දූෂණය සහ වංචාව පිටුදකින ශක්තිමත් නෛතික රාමුවක්ද අත්‍යවශ්‍ය අංගයක්.

රට තුළ පවතින ආර්ථික අර්බුදය සමනය කර ගැනීමට මෙම ණය මුදල් ප්‍රමාණවත්ද?

IMF ප්‍රධානීන් සඳහන් කළ පරිදි ඉහත කොන්දේසි මත පදනම් වෙලා ලබාදෙන්න යන ණය මුදල රට තුළ දැනට පවතින අර්බුදය සමනය කිරීමට කෙටි කාලයකට ප්‍රමාණවත්. ඒ නිසා ආර්ථිකයේ මධ්‍යම හා දිගුකාලීන තිරසර බව තහවුරු කිරීමට ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීම අත්‍යවශ්‍යයි. එමෙන්ම මෙම ණය මුදල බලාපොරොත්තු වන අංශවලට කාර්යක්ෂමව යොදවනවාද යන්න පිළිබඳව විමසා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව ඔවුන් අවධාරණය කරලා තියෙනවා. මෙය අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය වැඩි වීමට සහ බංකොලොත් වීමට  මූලික හේතු අතර අවිචාරවත් ලෙස ව්‍යාපෘති සඳහා ණය ලබා ගැනීමයි. මත්තල ගුවන්තොටුපළ, සූරියවැව ක්‍රීඩාංගණය, නෙළුම් කුලුන ආදී ව්‍යාපෘතිවල වාසි පිරිවැය විශ්ලේෂණය කිරීමේදී ණය මුදල්වලින් සිදු කර ඇති නාස්තිය වටහා ගන්න පුළුවන්. ඒ නිසා මේ ණය සම්බන්ධ අඛණ්ඩ අධීක්ෂණය පිළිබඳ IMF මතය සාධාරණයි.

රට තුළ උග්‍රව පවතින භාණ්ඩ, ඉන්ධන හා ආහාර ද්‍රව්‍ය හිඟය සහ එමඟින් ඇතිවෙලා තියෙන අධි උද්ධමන තත්ත්වය පාලනය කිරීමට මෙම ණය මුදලින් කොටසක් භාවිත කිරීම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම ආහාර උද්ධමනය මේ වනවිට සියයට 90ත්, සාමාන්‍ය උද්ධමනය සියයට 65 ඉක්මවලා තියෙන්නේ. මෙය භයානක තත්ත්වයක්.

ඒ නිසා මෙම තත්ත්වය පාලනය කිරීමට මෙම ණය මුදල හරහා පියවර ගන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා මෙම ණය මුදල් යොදා නොගත යුතුයි. විශේෂයෙන්ම ටිකෙන් ටික ප්‍රසාරණය වන ඇමැති මණ්ඩලය නඩත්තු කිරීම සහ ඔවුන්ට වරප්‍රසාද ලබාදීම සඳහා වන වියදම්ද කප්පාදු කළ යුතුයි. ඒ වගේම දිගුකාලීන ආර්ථික ප්‍රතිලාභ වෙනුවෙන් මිල අධික ව්‍යපෘති සඳහා මුදල් යෙදවීම නොකළ යුතුයි. IMF ප්‍රධානීන් පවසන ලද කොන්දේසිවලට එකඟව එම කොන්දේසි මඟින් අවධාරණය කළ අංශවල කාර්යන් සඳහා පමණක් මෙම ණය මුදල් යෙදවීම අවශ්‍යයි.

ණය මුදල නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් ඇති වන අර්බුදය?

ණය මුදල නිසි පරිදි කළමනාකරණය කරාවි යැයි විශ්වාසයක් තියෙනවා. හැබැයි එහෙම නොවුණොත් ආර්ථිකය මීට වඩා අගාධයකට යෑම වළක්වන්න බැහැ. ඒත් එක්කම පැනනඟින සමාජ ප්‍රශ්න උග්‍රවන බව අපි පිළිගත යුතුයි. දැනට සාකච්ඡා මට්ටමේ තියෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ආදිය ඇනහිටීමට ඉඩ තියෙනවා. ඒ වගේම පවතින ආණ්ඩුවටත් බලය අහිමි වීමේ ඉඩකඩක්ද පවතිනවා. නමුත් IMF හි අඛණ්ඩ අධීක්ෂණය පවතින නිසා මෙම ණය මුදල නිසි කළමනාකරණයකට යටත්ව එයින් උපරිම පල නෙළා ගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම පවතින ආණ්ඩුවත් එක්ව කටයුතු කරනු ඇති බව මම විශ්වාස කරනවා.

මෙවැනි ණය මුදල් ලබා ගන්නා අතරතුර රටේ විදේශ  විනිමය  වැඩි කර ගැනීම අවශ්‍යයි  නේද?

මේ හරහා රටේ විදේශ සංචිත ප්‍රමාණය වැඩි කර ගන්න අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම සිදු කිරීමට නියමිත ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා විදේශ සංචිතවල වැඩි වීමක් අපේක්ෂා කළ හැකියි. දැනට ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ සංචිත ඉතුරු කරගැනීමට සහ වැඩිකර ගැනීමට බොහෝ උපායමාර්ගයන් අනුගමනය කරමින් ඉන්නවා. ඒ අතර හවාලා උන්ඩියල් ක්‍රමයට එතෙර මුදල් මෙරටට එවීම තහනම් කිරීම, විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට මාර්ගගත ක්‍රමය හරහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීම අවහිර කිරීම, දිගු ගමනාන්තයන්වලට සම්බන්ධකර මෙරටින් පිටවන ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා ගුවන් සේවය පමණක් භාවිත කරවීම, විදේශ මුදල් අතැති මහජනයාට වාසි සැලසෙන සේ ඩොලරයේ අගය පවත්වා ගැනීම, මේ  සඳහා වෙළෙඳපොළ පවතින උද්ධමනයද බලපාල තියෙනවා. නමුත් මේ ආදී වශයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළවල් නිසා විදේශ සංචිත

ක්‍රමක්‍රමයෙන් වැඩි කරගැනීමට හැකියාව ලැබෙනවා. අවසාන වශයෙන් IMF හරහා මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය කරගැනීමට හැකියාවක් ලැබෙන බවටත් ඒ හරහා ඉදිරියේදී තිරසර ආර්ථික ප්‍රතිපත්තියක් සහ මූල්‍ය ස්ථාවරත්වයක් ඇතිකරගත හැකි බවටත් මම විශ්වාස කරනවා.

සංලාපය – රසිකා එස්. රණවීර