රුසියානු වධකාගාරවල සිරකර සිටි ලාංකික සිසුන් හත මුදාගත් මෙහෙයුම

0
32

යුකේ‍ර්නයේ කාකිව් ප්‍රදේශයේ රුසියානු හමුදාව විසින් පවත්වාගෙන ගිය වධකාගාරයක් තුළ සිරකරගෙන සිටි ශ්‍රී  ලාංකික සිසුන් හත් දෙනකු නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකිවී තිබේ.

මෙම සිසුන් ඉකුත් මාර්තු මාසයේ සිට එම වධකාගාරයේ රඳවාගෙන සිට ඇති අතර බේරාගත් සිසුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම සිසුන් සම්බන්ධයෙන් තුර්කියේ පිහිටි ශ්‍රී  ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් යුකේ‍ර්න බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

බේරාගත් සිසුන් යුකේ‍ර්නයේ කුපිආන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි පිරිසක් බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි. රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන තිබූ යුකේ‍ර්න කාකිව් ප්‍රදේශය යුකේ‍ර්න ආරක්‍ෂක අංශ විසින් යළි අත්පත් කරගැනීමෙන් පසු එම ප්‍රදේශයේ රුසියානු හමුදාව විසින් පවත්වාගෙන ගිය මෙවන් වධකාගාර 10ක් සොයා ගන්නා ලදී.

පසුව කරන ලද සෝදිසි කිරීමේදී එම වධාකාගාරවල විදේශීය ජාතිකයන් රැසක් රඳවා සිටි අතර ඒ වධකාගාරයක පහත බිම් මහලක මෙම ශ්‍රී  ලාංකික සිසුන් හත් දෙනා රඳවාගෙන සිට ඇත.

මේ සම්බන්ධයෙන් යුකේ‍ර්න ජනාධිපති ව්ලෙදිමීර් සෙලෙන්ස්කි මහතා ජනාධිපති නිල වෙබ් අඩවිය මගිින් කළ ප්‍රකාශයක වීඩියෝවක්ද මාධ්‍ය වෙත මුදා හැරිණි.

 මේ සම්බන්ධයෙන් යුකේ‍ර්න නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය යෙව්ඊයන් යෙනින් මහතා ප්‍රකාශ කර තිබුණේ සාමකාමී විදෙස් සිසුන් හත් දෙනා යුකේ‍ර්න රජය විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයකට යෑමට උත්සාහ කරද්දී රුසියානු හමුදා නිලධාරීන් විසින් ඔවුන් නවත්වා නීති විරෝධී ලෙස රඳවාගෙන මොවුන්ට වධ හිංසා සිදුකර ඇති බවය.

කාර්කිව් ප්‍රදේශය මේ වන විට රුසියානු ආක්‍රමණයෙන් නිදහස් කරගෙන ඇති අතර එම ප්‍රදේශවල සිටි සිවිල් වැසියන්ට සහ වධකාගාරවල සිර කරගෙන සිටි විදෙස් ජාතිකයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මේ වන විට ලබා දෙමින් සිටින බවද විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

බේරාගත් ශ්‍රී  ලාංකික සිසුන් 7 දෙනා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් වාර්තා වේ.

කීර්ති මෙන්ඩිස්