රට අගාධයට ඇදදැම්මේ ජයසුන්දර, කබ්රාල්, ආටිගල කණ්ඩායමයි

0
13

රට ආර්ථික අතින් අදවැටී තිබෙන තත්ත්වයට වගකිය යුත්තේ පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, ආටිගල ඇතුළු කණ්ඩායම බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නව සභාපති ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ මහතා පැවැසීය.

එම නිලධාරීන් හමුවීමට හෝ අවස්ථාවක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නොලැබුණු බවද විමල් වීරවංශ මහතා මෙම කණ්ඩායම ආර්ථික ඝාතකයෝ නමින් හැඳින්වීම නිවැරදි බවද ඒ මහතා කීය.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වැඩ භාර ගනිමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම නිලධාරීන් ජනපතිවරයාට ආර්ථිකය සම්බන්ධ නිවැරැදි තොරතුරු ලබා නොදෙමින් එතුමා නොමඟ යැවූ බවත් මේ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට කල්තියා ජනපති ධුරයෙන් ඉවත්ව යෑමට සිදුවූ බවත් හෙතෙම කීවේය.

රට විනාශය කරා ගෙනගිය නිලධාරීන්ට දඬුවම් ලබාදීම ජනතා අපේක්ෂාව බවත් ජනතා නියෝජිතයකු ලෙස තමන්ද එම ස්ථාවරයේ සිටින බවත් රාජපක්ෂ මහතා කීය.

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ යම් පසුබෑමක් පසුගිය කාලය තුළ සිදුවූ නමුත් අඩුපාඩු නිවැරදිව තේරුම් ගෙන ඒවා නිවැරැදි කර ගනිමින් පක්ෂය යළි නැඟීසිටින බවත් ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් සභාපතිවරයා පැවැසුවේය.

මහනුවර – කේ.එල්. සුරවීර