රංගනය හදාරලා කුසලතා දියුණු කරගන්න ඕනා

0
68

රංගන කුසලතාව සමඟම බොහෝ දෙනාට නෙත් ආකර්ෂණීය පෙනුමක්ද ජන්මයෙන්ම උරුම වීම විශේෂත්වයකි. එවන් අය අතරින් මෙවර Her අවධානය දිනා ගත් සුරූපිනිය 2021 වර්ෂයේ ස්වර්ණවාහිනි අවුරුදු කුමරිය තරගය හරහා රංගනයට පිවිසෙන්නට වරම් ලබාගත් තැනැත්තියයි. මේ දිනවල “පාර දිගේ” ටෙලිනාට්‍යයේ මානවීගේ චරිතයට පණ පොවමින් වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්  යොවුන් රංගන ශිල්පිනියක් වන ඇය නමින් සප්නා පාදුක්කයි. ඇයගේ තොරතුරු බෙදා ගන්නට මෙලෙස එක් විය.

දමේ දිනවල ඔබේ වැඩකටයුතු කෙසේද සිදු වන්නේ?

මේ දිනවල ටෙලිනාට්‍යය තුනක වැඩකටයුතු සිදු වෙනවා. තවත්  ටෙලිනාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. ඒවායේ රූගත කිරීම් තවම පටන් ගත්තේ නෑ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයකට සහ Music Vedios කිහිපයකටත් සම්බන්ධ වුණා. ඒවැඩ කටයුතු කරන ගමන් මම  ඉදිරියේදී පාඨමාලාවක් හදාරන්නත් මේ දිනවල සැලසුම් කරනවා.

දමේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනා ගත් ඔබ රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යය සහ චරිත ගැනත් මතක් කළොත්?

මේ දිනවල  ස්වර්ණවාහිනියේ විකාශය වන “පාර දිගේ” ටෙලිනාට්‍යයේ පියා වන රොෂාන් පිලපිටිය මහතාගේත් මව වන ගයත්‍රී ඩයස් මහත්මියගේත් ලොකු දුවගේ චරිතය වන මානවීගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. රේස් 2 ටෙලිනාට්‍යයෙත් අභීගේ යෙහෙළිය ලෙස නාද්‍යාගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා.

–              ඔබ රංගනයට පිවිසුණු ආකාරයත් මතක් කළොත්?

මම මුලින්ම  ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයට සහභාගි වුණා. ඒ හරහා තමයි “පාර දිගේ” ටෙලිනාට්‍යයේ නිෂ්පාදකතුමා වන චාමර සමරවික්‍රම අයියා සහ ටෙලිනාට්‍යයේ  අධ්‍යක්ෂකතුමා වන ශිවගුරුනාදන් සර් මුලින්ම මාව හඳුනාගන්නේ. එහෙම පාර දිගේ ටෙලිනාට්‍යයේ මානවීගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නත් අවස්ථාවත් ලැබුණා. ඒ විධියට තමයි මම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ.

–              “පාර දිගේ” ටෙලිනාට්‍යයේ මානවීගේ චරිතය ගැනත් ඊට ලැබෙන ප්‍රතිචාර ගැනත් මතක් කළොත්?

“පාර දිගේ” ටෙලිනාට්‍යයේ මානවීගේ  චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන කීවොත් මුලදි නම් හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ. නමුත් දැන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හොඳින් රංගනය සිදු කරනවා කියලා ගොඩක් දෙනා කියනවා. මුලදි ලැබුණු ප්‍රතිචාරවලට වඩා වෙනස් ප්‍රතිචාර දැන් ලැබෙනවා.

–              රංගන කටයුතුවලදී ලැබුණු අමතක නොවන සිදුවීම් මොනවාද?

රංගන කටයුතුවලදී නම් එහෙම අමතක නොවන සිදුවීම් සිදු වෙලා නැහැ.

–              ඔබ අලුත් Music Vedio එකක් සඳහාත් රංගනයෙන් දායක වුණා නේද? ඒ ගැන  සඳහන් කළොත්?

මම මේ වනවිට Music Vedio කිහිපයකටම රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඒ අතරින් ළඟදීම එළිදැක්වූයේ දිනේෂ් තරංග අයියාගේ “හැදුණද රිදුණාද” Music Vedios එක.

–              රංගනයට පිවිසීමේදී ඒ පිළිබඳව හැදෑරීම කියන දෙයත් ඉතා වැදගත් නේද?

ඔව්. මම නාට්‍ය හා රංග කලාව හදාරාලා ක්ෂේත්‍රයට පිවිසුණු කෙනෙක් නෙමෙයි. නමුත් මම මේ වනවිට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් රංගනය සම්බන්ධව උපදෙස් ලබාගෙන මගේ රංගන කුසලතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු සූදානම් කරගෙන යනවා. ඒනිසා රංගනය හදාරන අතරම රංගන කටයුතු හොඳින් කරගෙන යනවා.

–              යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කළොත්?

මට රංගන කටයුතුවලදී ප්‍රවීණයන්ගෙන්  හොඳ සහයෝගයක් ලැබෙනවා. “පාර දිගේ” ටෙලිනාට්‍යයේදී රොෂාන් පිලපිටිය මහතාගෙන් සහ ගයත්‍රී ඩයස් මහත්මියගෙන් නාට්‍යයට සම්බන්ධ වුණු මුල් කාලයේ සිටම අද දක්වාම නිරන්තරයෙන් සහයෝගය ලැබෙනවා. ඉතින් මට මේ තරම් දුරක් එන්න ඒ අයගේ සහයෝගය ගොඩක් උදවු වුණා.

–              නවක රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් දියුණු කර ගත යුතු දේවල් මොනවාද?

ක්ෂේත්‍රයේ ඉදිරි පැවැත්ම සඳහා රංගනය තමයි දියුණු කර ගන්න ඕන.

ඒ නිසා රංගනය තවදුරටත් හොඳින් හදාරන්න ඕන. රංගන ක්ෂේත්‍රයට මම නවකයෙක් නිසා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් රංගනය ගැන ඉගෙන ගෙන අඩුපාඩු හදාගෙන රංගන කුසලතාව දියුණු කරගෙන ඉදිරියට යනවා.

–              රංගනයට අමතරව ඔබ සතු වෙනත් කුසලතා ගැනත් මතක් කළොත්?

 රංගනයට අමතරව මට ගීත ගායනය සහ නර්තන කුසලතා තිබෙනවා.

–              ඔබ කැමැති විනෝදාංශ ගැනත් සඳහන් කළොත්?

මම විනෝදාංශයක් ලෙස චිත්‍රපට බලනවා. ඒ වගේම විනෝදාංශයක් ලෙස Tv Series බලනවා. ඊට අමතරව මගේ කියලාම පොඩි පොඩි ව්‍යාපාර කටයුතු කරන්න කැමැතියි.

–              රටේ පැවැති අර්බුදකාරී තත්ත්වය රංගන කටයුතු සඳහා බලපෑවේ කෙසේද?

ඇත්තටම රටේ පැවැති අර්බුදකාරී තත්ත්වය රංගන කටයුතු සඳහා ලොකු බලපෑමක් සිදුකළා. තෙල් අර්බුදය නිසා රූගත කිරීම්වලට යෑමේදී ප්‍රවාහන ගැටලුවලට මුහුණදෙන්න සිද්ධ වුණා. ඒ වගේම මේකප් බඩු  ගෙන්වන්නේ නැති නිසා ඒවා හිඟ වීමත් රංගන කටයුතුවලට බලපෑමක් ඇති කරන්න හේතුවුණා. කොරෝනා වයිරස  ව්‍යාප්තිය අවස්ථාවේදීත් රූගත කිරීම් බොහෝ වෙලාවට මඟහැරුණා. ඇත්තෙන්ම එලෙස පැවති අර්බුදකාරී තත්ත්වයන් නිසා රංගන කටයුතුවලට ලොකු බලපෑමක් සිදුවුණා.

–              ඔබේ සුන්දරත්වය පවත්වාගෙන යෑමට සිදු කරන දේවල් මොනවාද?

බොහෝවිට මම ස්වභාවික දේවල් භාවිත කරනවා. ඊට අමතරව Night Cream එකක් සහ Day Cream එකක් භාවිත කරනවා. ඒ වගේ දේවල් තමයි මම මගේ සුන්දරත්වය පවත්වාගෙන යෑමට සිදු කරන්නේ.

–              යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ඔබ කැමැති විලාසිතා ගැනත් සඳහන් කළොත්?

මම තැනට උචිත ලෙස මට ගැළපෙන ආකාරයට විලාසිතා කරනවා.

–              ඔබේ රංගන කටයුතු ආරම්භයේ සිට මේ දක්වාම සහාය වූවන් ගැනත් මතක් කළොත්?

රංගන කටයුතු ආරම්භයේ සිටම මේ දක්වාම මගේ පවුලේ අයගේ සහයෝගය නොඅඩුවම ලැබෙනවා. ඊට අමතරව මේ දිනවල මම රංගනයෙන් දායක වන “පාර දිගේ“ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂතුමා වන ශිව ගුරුනාදන් සර්ගෙන් සහ නිෂ්පාදකතුමා වන චාමර සමරවික්‍රම අයියාගෙන් වගේම ටෙලිනාට්‍යයේ පිටපත් රචනා කළ සද්ධා සර්ගෙනුත් නිරන්තරයෙන්ම සහයෝගය ලැබෙනවා. ඒ වගේම මේ දිනවල ප්‍රේක්ෂක අවධානය දිනා ගත් අභීගේ යෙහෙළියකගේ චරිතය ලෙස නාද්‍යාගේ චරිතයෙන් රංගනදායකත්වය ලබා දෙන රේස් 2 ටෙලි නාට්‍යයේ අධ්‍යක්‍ෂතුමා වන ධනුෂ්ක අයියාගෙන් සහ නිෂ්පාදකතුමා වන ගීතාංජන අයියාගෙනුත් මගේ රංගන කටයුතු සඳහා නොඅඩුවම සහයෝගය ලැබෙනවා.

–              පවුලේ විස්තර ගැන මතක් කළොත්?

මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මායි, තාත්තායි, අයියායි, ආච්චියි, ලොකු අම්මායි. මම ජීවත් වන්නේ ගාල්ල ප්‍රදේශයේ. මගේ පාසල ක¼දාන ශාන්ත සෙබෙස්තියන් බාලිකා විද්‍යාලය.

–              අනාගත බලාපොරොත්තු මොනවාද?

අනාගත බලාපොරොත්තු ගැනත් කීවොත්  තවදුරටත් රංගනය හදාරමින්  රංගන කුසලතාව වර්ධනය කරගෙන රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනාගතයේදී මගේම කියලා ව්‍යාපාරයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

ටී. නිපුනි සමෝද්‍යා වත්තෙගම

Pix by: Pramuditha Dissanayake