මූල්‍ය කටයුතු සොයා බලන්න නව අය-වැය කාර්යාලයක්

0
68

ආදායම වියදම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නිවැරදි තොරතුරු ඍජු ලෙස ලබා ගනිමින් එම මූල්‍ය කටයුතු අධීක්ෂණය සඳහා වෙනම අය-වැය කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක පැවැසීය.

සැප්තැම්බර් 15 වැනිදාට යෙදුණු  ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (National Democratic Institute /NDI) අනුග්‍රහය මත සංවිධානය කළ විශේෂ මහජන සේවා වැඩසටහනකදී මහ ලේකම්වරයා  මේ බව පැවැසීය.

“ප්‍රජාතන්ත්‍රවාදය සහ තරුණ ප්‍රජාවගේ භූමිකාව“ යන මැයින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරන තරුණ සමාජ ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

ලොව දියුණු ප්‍රජාතාන්ත්‍රික රටවල මෙන්, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබඳ කාරක සභාව, ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව නමින් නව කාරක සභා කිහිපයක් අලුතින් පිහිටුවීම ඇතුළු  පාර්ලිමේන්තු කටයුතු තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා ගනු ලබන පියවරයන් පිළිබඳවද මහ ලේකම්වරයා එහිදී කරුණු පැහැදිලි කළේය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂාණි රෝහණධීර, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි, ප්‍රධාන හැන්සාඩ් සංස්කාරක නයනි ලොකුකොඩිකාර, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා, තොරතුරු පද්ධති සහ කළමනාකරණ අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා සහ ප්‍රධාන පර්යේෂණ නිලධාරී අයේෂා ගොඩගම යන මහත්ම මහත්මීහු මෙහිදී සම්පත් දායකයන් ලෙස කටයුතු කළහ.

අමිල අබේරත්න