මැනිං වෙළෙඳ සංකීර්ණයේ විෂමාචාර කරන පුද්ගලයන්ට නීතියෙන් දඬුවම්  දෙනවා

0
7

මැනිං වෙළෙඳ සංකීර්ණයේ විෂමාචාර ක්‍රියාවල නිරත පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

පිටස්තර පාර්ශ්වයන් විසින් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය විවිධ විෂමාචාර ක්‍රියාවන්ට භාවිත කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් එම විෂමාචාර ක්‍රියාවල නිරත පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමා පොලිසියට උපදෙස් දුන් බව ඇමැතිවරයා කීය.

තවද පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ පවතින ගැටලු කඩිනමින් විස¼දා දීමට පියවර ගන්නා ලෙස රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය, වෙළෙඳ සංගමය, පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ එක්ව එම ගැටලු විසඳීමට ගත් පියවර සම්බන්ධයෙන් තමන්ට වාර්තා කරන ලෙසද ඇමැතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණයේ පවතින ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් හා පෑලියගොඩ වෙළෙඳ සංගමය සමඟ නාගරික සංවර්ධන අධිකාරියේ  ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න, පෑලියගොඩ මැනිං වෙළෙඳ සංගමයේ සභාපති එම්.එම්. උපසේන යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර, රථගාල, වැසිකිළි, විදුලිය, ජලය ඇතුළු පහසුකම් සැපයීමේදී පවතින ප්‍රධාන ගැටලු ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරිණි. පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය මඟින් වැඩි ආදායම් ලබන ස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාකාරකම් නොපමාව ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ඇමැතිවරයා, වෙළෙඳුන් වෙනුවෙන් තමන් හැකි සෑම අවස්ථාවකම පෙනී සිටින බවත් වෙළෙඳුන්ට මෙන්ම පාරිභෝගික ජනතාවටත් බරක් නොවන අයුරින් පෑලියගොඩ වෙළෙඳ සංකීර්ණය පවත්වාගෙන යා යුතු බවත් පැවැසීය.

අනුරාධා හේරත්