‘මළගිය ඇත්තෝ’ හොරට මුද්‍රණය කළ සැකකරුට එරෙහි නඩුව යළි කල් තබයි

0
9

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් රචිත ‘මළගිය ඇත්තෝ’ කෘතියේ පිටපත් ව්‍යාජව මුද්‍රණය කර අලෙවි කළ අනුරාධපුරයේ වෙළෙඳසල් හිමියකුට එරෙහි නඩුව ලබන නොවැම්බර් මස 14 වැනි දින යළි විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය.

මෙම නඩුවේ විත්තිකාර සහ පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද තවදුටරත් නියෝග කෙරිණි. අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේ පැමිණිලිකාර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බිරිය වන ලලිතා ස්වර්ණලතා සරච්චන්ද්‍ර මහත්මිය සහ ‘මළගිය ඇත්තෝ’ කෘතියේ පිටපත් මුද්‍රණය කර බෙදා හරින මහරගම හයිලෙවල් පාර ඉසුරු පෙදෙස ඇඩ්ස් ආයතනයේ කළමනාකරු වන අනුර දහනායක මහතා විවෘත අධිකරණයේදී සාක්ෂි ලබා දුන්හ. ඒ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ මහතා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙම නඩුවට අදාළව අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින්නේ අනුරාධපුර කඩ‍ෙදාළහේ වෙළෙඳසලක හිමිකරුය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බිරිය වන ලලිතා ස්වර්ණලතා සරච්චන්ද්‍ර මහත්මිය විසින් රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර වෙළෙඳසල් හිමියා රහස් පොලිසිය මඟින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශය මුල් බී වාර්තාව මඟින් සඳහන් කළේ තම සැමියා විසින් රචිත ‘මළගිය ඇත්තෝ’ කෘතියේ පිටපත් ව්‍යාජව මුද්‍රණය කර නීති විරෝධීව

අනුරාධපුර නගරයේ වෙළෙඳසලක අලෙවි කරන බවට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ බිරිය වන ලලිතා ස්වර්ණලතා සරච්චන්ද්‍ර මහත්මිය රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇති බවයි. දැනට මියගොස් සිටින තම සැමියා වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ජීවතුන් අතර සිටියදී ලියන ලද පොත්, නාට්‍ය සහ ගීතවල වර්තමාන නීත්‍යනුකූල අයිතිය ඇත්තේ මහාචාර්යවරයාගේ බිරිය වන තමන්ට බවද ලලිතා ස්වර්ණලතා සරච්චන්ද්‍ර මහත්මිය ස්වකීය පැමිණිල්ල මඟින් පවසා ඇති බවද රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැන්වීය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචිත නාට්‍ය, පොත් සහ ගීත මුද්‍රණය කර අලෙවි කිරීමට ඔහු ජීවත්ව සිටියදී නීත්‍යනුකූල අවසර ලබාදී තිබුණේ අනුර දහනායක මහතාට පමණක් බවත් සරච්චන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කර ඇතැයිද රහස් පොලිසිය පැවැසීය. විත්තිකාර වෙළෙඳසල් හිමියා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජේ‍යෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ මහතා කියා සිටියේ විත්තිකරු සිය වෙළෙඳසල තුළ අලෙවි කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ කෘතිය ඔහුට ගෙනැවිත් දී ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පොත් බෙදා හරින්නකු බවයි.

එම පොත් බෙදා හරින්නාගෙන් ‘මළගිය ඇත්තෝ’ කෘතිය මිලදී ගත් බිල්පත් විත්තිකරු සතුව ඇති බවද අධිකරණයට සැල කළ නීතිඥවරයා, මෙහිදී විත්තිකරු කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදු කර නොමැති බවත්, ඔහු දීර්ඝ කාලයක සිට විවිධ පොත් අලෙවි කිරීමේ නිරතව සිටින බවත්, විත්තිකරු පොත් අලෙවි කිරීම පමණක් සිදු කරනවා විනා පොත් මුද්‍රණය කිරීමක් සිදු නොකරන බවත් කීවේය. පැමිණිල්ල සඳහා රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පෙනිී සිටි අතර පැමිණිල්ලේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ දෙවින්ද්‍ර රණවක මහතාද විත්තිකරු වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ නිමල් මාරසිංහ මහතාත් පෙනී සිටියහ.

අනුරාධපුර _ ආනන්ද කරුණාදාස