පොහොට්ටුව රනිල් එක්ක එකතු වුණේ රට ගොඩගැනීමටයි

0
33

රට අගාධයට යෑම වළක්වා රට ගොඩනැඟීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ සමඟ තම පක්ෂය එක්වූ බවත් ප්‍රතිපත්ති දෙකක් වුවත් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විස¾දුම් ලබාදීම එහි අරමුණ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.බී. හේරත් පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.බී. හේරත් මෙසේද කීවේය.

“රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ඡන්ද 134ක් ලබාගෙන රටේ විධායකයා බවට පත්වෙලා රටට යහපත් වටපිටාවක් ගොඩනඟන්න කටයුතු කරලා තිබෙනවා. අගමැතිතුමා ඇතුළු කැබිනෙට්ටුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ප්‍රශ්න විසඳීම සඳහා  උපරිම වශයෙන් සහයෝගය ලබාදෙනවා. ඒ අනුව අද තෙල් පෝලිම් ටික නැතිවෙන තත්ත්වයට ගෙනියන්නට පුළුවන් වුණා. එසේ රටේ ප්‍රශ්න එකින් එක විසඳලා රට හරි තැනකට ගෙනියන්න ආණ්ඩුව කටයුතු කරනවා.

එහෙම කරනකොට විපක්ෂය බොරදියේ මාළු බාන්න උත්සාහ කරනවා. තවත් දේශපාලන කඳවුරුවල පිරිස් සිහින මවනවා රටේ පාලක පක්ෂය බවට පත්වෙන්න. නමුත් අපි පීඩනයෙන් සිටින ජනතාවට සුවපහසු ජීවිතයක් හදන්නයි කටයුතු කරන්නේ. 

මේ කාලයේදී පාන් ගෙඩියක් 350ට යයි කියලා මාධ්‍යවලින් කියනවා. එය එහෙම වෙන්නේ නෑ. මේ රටේ පාලක පක්ෂයට පමණක් විතරක් නොවේ මහජනතාවට, රාජ්‍ය ආයතනවලට, පෞද්ගලික ආයතනවලට රටේ පැවැත්ම පිළිබඳව වගකීමක් තිබෙනවා.

පහුගිය කාලයේ කාබනික වගාවන් පිළිබඳව අත්හදා බලන්න ගිහිල්ලා ආහාර හිඟයක් පිළිබඳව කතා කරන්න සිදුවුණා. එය නිවැරැදි කරන්න මේ වනවිට යල කන්නයට යූරියා දුන්නා. ඊළඟට මහ කන්නට අවශ්‍ය පොහොර ටික ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ලබන මහ කන්නයට සරුසාර අස්වැන්නක් ගේන්න බලාපොරොත්තු වෙනවා.  

අද ලාම්පු තෙල්වල මිල ඉහළ ගිහින් තිබෙන නිසා ධීවරයන් අසීරුතාවකට පත්වෙලා. අද මත්ස්‍ය මිල ඉහළ ගිහින්. එයට සහනාධාරයක් ලබාදෙන්න කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි අනුරාධ ජයරත්න,

“අද වනවිට රට නැවත වතාවක් නිවැරැදි තැනකට කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ මූලිකවෙලා පත් කරගත් ජනාධිපතිතුමා මේ වනවිට කටයුතු කරගෙන යනවා. මාස දෙක තුනකට ඉහතදී දැක්ක තෙල් පෝලිම් ටික තිබ්ච්ච තත්ත්වයට වඩා කළමනාකරණය කරගන්න පුළුවන් වෙලා තිබෙනවා.

හැබැයි මේ අවස්ථාවේදීත් විපක්ෂ නායකතුමා, අනුර කුමාර දිසානායක මැතිතුමා එකතුව නැවත වතාවක් පිරිසක් පාරේ තියලා රට අකර්මණ්‍ය කරන්න උත්සාහ කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ නිකන් අගමැතිකම භාරගන්න කියපු එක භාර අරගෙන රට හදන්න බැරිවෙච්ච සජිත් ප්‍රේමදාස මැතිතුමාට වැඩපිළිවෙළක් තිබෙනවාද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.”

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය