පුතා මියගිය හේතුව මම දන්නේ නෑ එයාට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ

0
17

“පොඩි පුතා අල්ලපු වත්තේ වැලක නයිලෝන් ලණුවකින් ගෙල වැලලාගෙන සිටිනවා දැකලා සැමියා ශෝකයට පත් වෙලා කෑ ගහගෙන ගෙදරට දුවගෙන ගිහිල්ලා නිවෙසේ කුස්සියේ කුප්පියක තිබුණු දියරයක් පානය කරලා තියෙනවා” යැයි ගෙල වැලලාගෙන හා වස පානය කර ජීවිතක්ෂයට පත්ව තිබුණු පිය පුතු දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණයේදී මව වන 55 හැවිරිදි කොන්ඩසිංහ මනුවෙල් ආචාරිලාගේ විජිතා නන්දනී නමැති තිදරු මව පැවැසුවාය.

මෙලෙස මියගොස් සිටියේ කෑගල්ල රංවල පදිංචිව සිටි 17 හැවිරිදි විජේන්ද්‍ර නයිදෙලාගේ අකිල රුක්ෂාන් ප්‍රේමරත්න නමැති පාසල් ශිෂ්‍යයෙක් හා ඔහුගේ පියා වන විජේන්ද්‍ර  නයිදෙලාගේ ප්‍රේමරත්න නමැති 53 හැවිරිදි තිදරු පියෙකි. බාල පිරිමි දරුවා අසල්වැසි කැලයක තිබුණු විශාල වැලකට නයිලෝන් ලණුවක් දමා ඉකුත් 16 වැනිදා  ගෙල වැලලාගෙන සිටින අයුරු පියා දැක නිවෙසට පැමිණ එහි තිබූ දියරයක් පානය කිරීමෙන් පසුව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මියගිය පිය පුතු දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණ ඉකුත් 16 වැනිදා කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්‍ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී හා නාගරික හදිසි මරණ පරීක්ෂක කිත්සිරි රණසිංහ මහතා ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොන්ඩසිංහ මනුවෙල් ආචාරිලාගේ විජිතා නන්දනී මහත්මිය,

ඉකුත් 15 වැනිදා රාත්‍රි පොඩි පුතා ගෙදර හිටියා. රාත්‍රි 11ට මම පොඩි පුතාට බත් කැව්වා. ඊට පස්සේ අම්මට නිදිමත නම් ගිහින් නිදා ගන්න කිව්වා. පස්සේ මම කාමරයට ගිහිල්ලා නිදා ගත්තා. 16 වැනිදා උදේ 6ට පමණ මම පුතාගේ කාමරයට ගිහිල්ලා බැලුවා. රේඩියෝ එකේ සිංදු යනවා. පුතා කාමරයේ හිටියේ නෑ. පස්සේ මම පුතාගේ සෙරෙප්පු දෙක බැලුවා. සෙරෙප්පු දෙක එළියේ තිබුණා. පස්සේ මම සැමියාට කතා කරලා කිව්වා පොඩි පුතා නෑ කියලා. පස්සේ සැමියා කඩේ පැත්තට ගියා. කඩේ වහලා තිබුණු නිසා සැමියා ආපසු ආවා.

පුතා නැති නිසා මම සැමියත් එක්ක පුතා හෙව්වා. පස්සේ අල්ලපු වත්ත පැත්තට අපි දෙන්නම පුතා බලන්න ගියා. යනකොට මමයි සැමියයි එකවර පුතා ලොකු වැලක නයිලෝන් ලණුවකින් ගෙල වැලලාගෙන සිටින අයුරු දැක්කා. සැමියා කෑ ගහගෙන නිවෙස පැත්තට දිව්වා. ගෙදර තිබුණු වස වර්ගයක් බීලා කියලා අසල්වැසියන් මට කිව්වා. අසල්වැසි ත්‍රිරෝද රථයකින් සැමියා කෑගල්ල මහ රෝහලට රැගෙන ගිහිල්ලා තියෙනවා. මම පුතා ළඟට වෙලා හිටියා.

මට මේ මරණය ගැන සැකයක් නෑ. ඒත් පොඩි පුතා ගෙල වැලලා ගැනීමට හේතුව මම දන්නේ නෑ. එයාට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. සැමියා සියදිවි හානි කර ගත්තේ පුතා ගෙල වැලලාගෙන සිටින අයුරු දැක ශෝකය පත් වෙලා කියලා හිතනවා” යැයි විජිතා නන්දනී මහත්මිය පැවැසුවාය.

දමුණුපොළ – චමින්ද ජයලත්