පානදුරේ හෝටලයක යකා නැටූ සැකකරුවෝ දහදෙනාම රිමාන්ඩ්

0
11

පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති විවාහ මංගල උත්සවයක් අතරතුර එහි දේපළවලට හානි කර පුද්ගලයන් හයදෙනකුට පහරදී තුවාල කිරීම සම්බන්ධයෙන් හිරණ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් දස දෙනකු ලබන 20දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය පෙරේදා (17දා) නියෝග කළාය.

මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 10 දෙනකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඉකුත් 16දා පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගි වෙමින් සිට අනවසරයෙන් එහි පිහිනුම් තටාකයට බැස දියනෑම සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරිත්වය සමඟ අතිවූ ආරවුලකදී හය දෙනකුට පහරදී තුවාල කර ඇති බවත්, ඔවුන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සැරයන් සමන්ලාල් එදිරිසිංහ අධිකරණය හමුවේ කියා සිටියේය.

පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් සැකකරුවන්හට ඇප ලබා දුනහොත් ප්‍රදේශයේ මහජන කැලඹීමක් පවා ඇතිවීමට ඉඩ ඇති බැවින් ඇප ලබාදීමට විරුද්ධ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිලූක එම්. සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය. තම සේවාදායකයන් සිදුකර ඇත්තේ සැලසුම් කළ වරදක් නොවන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ රජිව් පී. විතාන සහ නීතිඥ යාපාගේ ඉන්දු මෙනෙවිය අධිකරණයෙන් ඉල්ලා සිටියහ. පහරදීම, අනර්ථයක් කිරීම, සාපරාධී බලහත්කාරය සහ අයුතු ජනරාශි යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් දිලුක එම්. සිල්වා, විත්තිය වෙනුවෙන් රජිව් පී. විතාන සහ යාපාගේ ඉන්දු යන නීතිඥ මහත්ම මහත්මීන් පෙනීසිටි අතර, පොලිසිය වෙනුවෙන් සැරයන් සමන්ලාල් එදිරිසිංහ (3081) කරුණු වාර්තා කළේය. නඩුව ලබන සැප්තැම්බර් 20දා යළි කැඳවීමට නියමිතය.

පොතුපිටිය – සුමිත් රණවක