පළාත් ඡන්දයට දිනේ 20 දායින් පස්සේ කියනවා

0
14

පළාත් ඡන්ද විමසීම වසරක කාලයකින් කල් දමා ඇති නමුත් හෙටින් පසුව (20දා) පසු ඡන්ද විමසීම සඳහා දිනයක් ප්‍රකාශ කිරීමේ අයිතිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැවැරෙන බැවින්, එම ඡන්දය පැවැත්වීමට දින නියම කිරීමට කොමිෂන් සභාව කිසිසේත්ම පසුබට නොවන බව, එම සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවැසීය.

ඡන්ද හිමි නාමලේඛනය පිළියෙල කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවත්, 2022 ඡන්ද හිමි නාම ලේඛනය ඔක්තෝබර් 31 වැනිදා වන සහතික කිරීමෙන් පසු, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දිනය ප්‍රකාශයට පත් කර, ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කොමිෂන් සභාව අපේක්ෂා කරන බව පුංචිහේවා සඳහන් කළේය.

මේ වසර සඳහා වන ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමට පෙර පළාත් පාලන ඡන්ද විමසීම සිදුකළහොත්, අලුතෙන් ඡන්ද වරම් ලැබීමට නියමිත ලක්ෂ 2 1 /2ත් 3 ත් අතර තරුණ පිරිසකට ඡන්දය පාවචිච් කිරීමේ අයිතිය අහිමි වන බවද සභාපතිවරයා පැවැසීය.

ඔක්තෝබර් 31 වැනිදා 2022 වසර සඳහා වන ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමත් සමඟ වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට නියමිත අය සඳහා පිළියෙල කෙරෙන පරිපූරක ඡන්ද හිමි නාමලේඛනයද බලගැන්වෙනු ඇතැයි හෙතෙම කීය.

ඔක්තෝබර් මස 31දායින් පසු, මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන  ඡන්ද විමසීම සඳහා දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ඡන්ද විමසීම යළිත් කල් දැමීමක් සිදුවුවහොත්, ඕනෑම කෙනකුට අධිකරණය හමුවට යෑමට බාධාවක් නැතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී  රත්නායක පැවැසීය.

එවැනි අවස්ථාවක් නිර්මාණය වුවහොත් ජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම කෙරෙහි මතවාදයක් ඉදිරිපත් වනු ඇතැයිද රත්නායක මහතා විශ්වාසය පළ කළේය.

ජේ.ටී.ද සිල්වා