පවුල ගොඩ දාන්න කුවේට් ගිය අම්මාගේ මළ සිරුර ගේන්න ලක්‍ෂ 8ක් ඉල්ලනවා

0
13

කුවේට් රටේ ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී මියගිය බව කියන ශ්‍රී ලාංකික කාන්තාවකගේ මෘත දේහය රජයේ වියදමින්  මෙරටට ගෙන්වා දෙන්නැයි ඇයගේ පවුලේ ඥාතීහු අදාළ වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටිති. ඒ සඳහා වැයවන රුපියල් ලක්‍ෂ අටක පමණ මුදලක් පෞද්ගලිකව දරන්නට සිදුවන බව දැනුම් දුන් බවත් එතරම් විශාල මුදලක් දැරීමට තමනට කිසිසේත්ම හැකියාවක් නොමැති බවත් ඔවුහු කියා සිටියහ.

මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව රෝහල හන්දිය ඉසිපතන මාවත පදිංචිව සිටි හෙට්ටිආරච්චි විනීතා නමැති 67 හැවිරිදි තිදරු මවකි.

ඇය කුවේට් රටේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2003 වසරේ අගෝස්තු 30 වැනිදා බවත් 2007 වසරෙන් පසුව ඇය පිළිබඳව තොරතුරක් පවුලේ ඥාතීන්ට දැනගන්නට ලැබී නොමැති බවත් කියති.

මෙම කාන්තාව සේවය කළ නිවෙසේ හාම්පුතුන්ගෙන් ඇයට ශාරීරික වද හිංසා සිදුවන බවට ඇගේ මිතුරියකගේ මාර්ගයෙන් දැනගන්නට ලැබීමෙන් පසුව 2007 වසරේ පටන් ඇගේ පවුලේ ඥාතීන් මෙම කාන්තාව ආපසු මෙරට ගෙන්වා දෙන ලෙස කිහිප වතාවක්ම ඉල්ලීම් කළ බව කියති. එහෙත් එම ඉල්ලීම් ඉටු නොවූ බවද ඔවුහු කියා සිටියහ.

විනීතා මහත්මියගේ වැඩිමහල් පුත්‍රයා වන එම්. ඒ. ප්‍රසන්න සංජීව මහතා ප්‍රකාශ කළේ තම මව මියගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත දැනුම් දීමෙන් පසුව මේ මස 08 වැනිදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියකු පැමිණ ඒ බව දන්වා සිටි බවය.

ඒ අනුව තමන් ඇතුළු පවුලේ ඥාතීන් විසින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට හැකි වූයේ තම මව පසුගිය අගෝස්තු මස 14 වැනිදා මියගොස් ඇති බවයි. ඉන්පසුව තම මවගේ මෘත දේහය මෙරට ගෙන්වා ගැනීම සඳහා  විමසූ විට එහි නිලධාරීන් තමන්ට දැනුම් දුන්නේ රුපියල් ලක්‍ෂ හතක් හෝ අටක් පමණ මුදලක් ඒ සඳහා වැය වන බවත් එම මුදල පෞද්ගලිකව දරාගත යුතු බවත් යැයිද ඒ මහතා කීය.

“අම්මා 2003 අවුරුද්දේ අගෝස්තු මාසයේ අට වැනිදා ගෘහ සේවිකාවක හැටියට කුවේට් රටේ රැකියාවකට ගියේ පවුලේ ආර්ථික අමාරුකම් දරාගන්න බැරුවයි. ඒ ගිහිල්ලා 2007 අවුරුද්දෙන් පස්සේ අම්මා ගැන කිසිම තොරතුරක් අපට දැනගන්න ලැබුණේ නෑ. අම්මා මා එක්කලා අන්තිම වරට දුරකථනයෙන් කතාකළේ 2007 වසරේදී. ඒ කතාකරපු වෙලේ අම්මා මට කිව්වා රැකියාව කරන තැන හිරිහැර කරදර තිබෙනවා කියලා. මම එවේලේ අම්මාට කිව්වා කරදරයි නම් අම්මා කොහොමහරි එතැනින් පැනලා හරි එන්න කියලා. එවිට අම්මා මට කිව්වා පුතේ මම දුක් මහන්සිවෙලා හම්බකර ගත්තු සල්ලිවලින් බඩුමුට්ටු ටිකක් අරන් තියෙනවා. මම කොහොමහරි ඒවත් අරගෙනම එන්නම් කියලා. ඒ තමයි අම්මා මා එක්කලා අන්තිමටම කරපු කතාබහ. එයින් පස්සේ අම්මා ගැන කිසිම තොරතුරක් අපට දැනගන්න ලැබුණේ නෑ. අම්මා ගෘහ සේවිකාවක හැටියට වැඩකරපු තැනින් වැටුපක් ලැබුණාද? එහෙම නැතිනම් අම්මාව හිරකරගෙන තියාගෙන වැඩ ගත්තාද? මේ කිසිම දෙයක් අපි දන්නේ නෑ.

ඒ නිසා තමයි අම්මව ලංකාව ගෙන්නලා දෙන්න කියලා කිහිප වතාවක්ම ඉල්ලීම් කළේ. ඒත් ඒ ඉල්ලීම් ඉෂ්ට වුණේ නෑ. දැන් අම්මා මැරුණා කියලා දැනුම්දීලා තියෙනවා. අම්මාගේ මරණය කොහොම සිද්ධ වුණාද කියලා අපි දන්නේ නෑ. අපිට අවසාන වතාවට අම්මගේ මූණ හරි බලන්න ඕන. අපි රජයේ අදාළ වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින්නේ අම්මාගේ මෘත දේහය හරි දැන් මෙරටට ගෙන්වලා දෙන්න කියලා. අපිට ඒ සඳහා වියදම් කරන්න රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් නෑ.

අම්මා අපිව ජීවත් කරවන්න සල්ලි හොයාගන්නයි විදේශ රැකියාවකට ගියේ. එහෙම ගිහින් සිටින අතරතුර ඇය ගැන කිසිම තොරතුරක් දැනගන්න නැතිව දැඩි කම්පනයකින් පසුවුණ අපිට දැනගන්න ලැබුණේ අම්මා මියගිය දුක්මුසු  ආරංචියයි. අපි කරන එකම ඉල්ලීම අම්මාගේ මෘත දේහය රජයේ වියදමින් ලංකාවට ගෙන්නලා දෙන්න කියන එකයි. අම්මා වෙනුවෙන් වන්දි මුදල්වත් වෙන කිසිම දෙයක්වත් එපා. අපිට ඕන අන්තිම වතාවට අම්මාගේ මූණ දැකගන්න විතරයි”යැයිද හැඬු­ ක¾දුළින් යුතුව ඔහු කීය.

පොළොන්නරුව – අනුරාධ විශ්වනාත්