නිවිතිගල දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු කලවානේදී අල්ලයි

0
11

නිවිතිගල දෙල්වල ප්‍රදේශයේදී හත් හැවිරිදි දැරියක්  මරා දමා සිරුර පතලකට දැමීමේ සිද්ධිය සම්බන්ධව  පොලිසියට අවශ්‍යව සිටි ප්‍රධාන සැකකරු  කලවාන නගරයේදී කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඊයේ (18දා) පුවක් විකිණීමට මෙම සැකකරු කලවානට පැමිණි අවස්ථාවේදී කලවාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ  පොලිස් විශේෂ කාර්යා බළකාය එක්ව දින කිපයක් තිස්සේ සෝදිසි මෙහෙයුම්ද සිදු කළේය. සැකකරු දෙල්වල දැරියට අමානුෂික ලෙස පහර දීමෙන් පසුව දැරිය මියගියේ යැයි සිතා පතල් වළක දැමීමේදී උදවු කළ ඔහුගේ බිරිය සහ අනියම් බිරිය දෙදෙනා මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාරියක්  ඔත්තු බලා ඇති අතර  පසුව මෙම අපරාධය වසන් කිරීමටද සැකකරුට උදවු කර ඇතැයි පොලිසිය කියයි.

සැකකාරියන්  තිදෙනා  අතර ඝාතනය කෙරුණු දැරියගේ මවද සිටී. සැකකරුගේ බිරිය සහ අනියම් බිරිය එකම නිවෙසේ ජීවත් වී ඇතැයි පොලිසිය පවසයි. සැකකරු තවත් අනියම් සම්බන්ධතා කිහිපයක් කාන්තාවන් සමඟ පවත්වාගෙන ගොස් කලවාන පනාපොළ ප්‍රදේශයේ මෙම සැකකරු සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුව  කහවත්ත සහ හොරණ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුවල කණ්ඩායම් දෙකක්ද   ඉකුත් 15දා  සිට එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කරනු ලැබූහ. පනාපොළ නුගේගොඩ වත්ත නම් ප්‍රදේශයේ සිදු කෙරෙන සෝදිසි මෙහෙයුමේදී ප්‍රධාන සැකකරුගේ බිරිය අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ කලවාන පොලිසියටය.                                                                                  

ප්‍රධාන සැකකරුගේ අනියම් බිරියගේ හත් හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදී මෙයට මාස හයකට පෙර ඝාතනය කර දෙල්වල ප්‍රදේශයේ පැරණි මැණික් පතල් වළකට සිරුර දමා තිබූ බව අනාවරණය වීමෙන් අනතුරුව පසුගිය 11 වැනිදා සිරුර ගොඩගනු ලැබීය.                                                                                                

හත් හැවිරිදි දැරිය අතුරුදන් බවට ඇයගේ මව මැල්සිරිපුර පොලිසිය වෙත අසත්‍ය පැමිණිල්ලක් කර තිබූ බව හෙළි වීමෙන් පසු දෙල්වල ගඟපහළ ප්‍රදේශයේදී දැරිය මරා වළ දමා තිබූ බව හෙළි වූ අතර ගම්වාසීන් කිහිප දෙනකු විසින් ඒ ගැන පොලිසියට කරුණු දන්වා තිබිණි. සැකකරුගේ අනියම් බිරියගේ හත් හැවිරිදි දියණිය විසින් මැණික් ගලක්  අතුරුදන් යැයි සැකකරු ඇයට අමානුෂික ලෙස පහරදීමෙන් පසු ඇය මියගිය බව සිතා පතල් වළකට දමා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

සැකකරු කලෙක සිට ප්‍රදේශයේ කසිප්පු ජාවාරමක් සිදු කරගෙන ගොස් ඇති අතර පාසල් සිසුවියක් පැහැරගෙන යෑම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධව චෝදනා ලැබූවෙකි. මෙම සැකකරු කාලයක් තිස්සේ කසිප්පු ජාවාරම සිදු කර ඇතැයිද ගම්වාසීහු පවසති.  සබරගමුව පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව රත්නපුර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් කලවාන සහ දෙල්වල පොලිසි පරීක්ෂණ සිදු කරයි.

කහවත්ත _ එල්. නිරෝෂණ