නාවලපිටිය පුරපතිට පහරදී ගිනිඅවිය පැහැරගත් සැකකරු අල්ලයි

0
8

නාවලපිටිය නගරාධිපතිවරයාට පහරදී ඔහු සතු ගිනිඅවිය කොල්ලකා පලාගිය පුද්ගලයා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ත්‍රිරෝද රථ රියැදුරකු බව පොලිසිය කියයි. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත සැකකරු තලංගම කොස්වත්ත හන්දිය අසලදී අත්අඩංගුවට ගැනිණි.

පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන ලද 9 එම්.එම්. රිවෝල්වරය සැකකරු පදිංචි දකුණු තලංගම නිවෙසේ උඩුමහලේ සඟවා තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

ඉකුත් මැයි මස 9 වැනිදා නගරාධිපතිවරයා සිය කැබ්රියෙන් ගමන් කරමින් සිටියදී කැබ්රිය නවතා නගරාධිපතිවරයාට සහ රියැදුරාට මෙන්ම කැබ්රියටද පහරදී තිබිණි. එමෙන්ම නගරාධිපතිවරයා සන්තකයේ තිබූ රුපියල් ලක්‍ෂ පහක මුදලක්ද පැහැරගෙන තිබිණි.

මාස හතරක කාලයක් තිස්සේ විමර්ශන කළද සැකකරු හෝ ගිනිඅවිය සොයා ගැනීමට පොලිසියට නොහැකි වී තිබිණි. ඒ අතරතුර ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගෙන තිබුණේ නගරාධිපතිවරයාට පහරදෙන අතරතුර සැකකරු ගිනිඅවිය රැගන පලාගොස් ඇති බවය.

පැහැරගත් ගිනිඅවිය විකිණීමට සැකකරු උත්සාහ දරා ඇතැයි පැවැසේ. දකුණු තලංගම පදිංචිකරුවකු වන සැකකරු වයස අවුරුදු 29ක තැනැත්තෙකි. සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතාගේ උපදෙස් මත විමර්ශන කෙරිණි.

කීර්ති මෙන්ඩිස්