දකුණු පළාත් මනාප ලබාගැනීමේ තීරණාත්මක සාධකය සාම බළකාය බවට පත් කරනවා

0
11

“දකුණු පළාතේ මනාප ලබාගැනීමේ තීරණාත්මක සාධකය සාම බළකාය බවට පත් කරනවා” යැයි එම බළකායේ නව නායිකා නීතිඥ සේරා රශීන් මහත්මිය පැවැසුවාය. “බඩට යමක් …. දරුවන්ට හෙටක්” යන සංකල්පය ඉදිරිපත් කරමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ රශීන්පුර ගම්මානයට වසර 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති උත්සවයකදීය. මෙදින රශීන්පුර ක්‍රීඩාපිටිය, ළමා උද්‍යානය, මල්වත්ත, ප්‍රජා ශාලාව සහ පුස්තකාලය විවෘත කෙරිණි.

“වසර 70 ගණනක් තිස්සේ අපට වුණු දේවල් ගැන මම අහල තිබෙනවා. මෑතකදී රටේ සිදු වූ බොහෝ දේවල්වලින් මා විශාල පන්නරයක් ලබා ගත්තා. දේශපාලනය කිරීමට මා හට කිසිදු ආශාවක් අදහසක් හෝ බලාපොරොත්තුවක් නෑ. නමුත් මාගේ පියා ෆයිසාල් රශීන් මරණ තර්ජන හා මඩ පහරවල් මැද අසරණ ජනතාව වෙනුවෙන් පක්‍ෂ, ජාති භේදයකින් තොරව විශාල කැපවීමක් කළා. මාගේ පියා ගිය අඩි පාරේ මාත් යනවා” යැයි නීතිඥ සේරා රශීන් මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මෙම රැස්වීම සඳහා සහභාගි වූ සාම බළකා නිර්මාතෘ සහ හිටපු ඉරාන තානාපති නීතිඥ ෆයිසාල් රශීන් මහතා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකුවත් නොවන තමා ලක් මවට ගම්මාන දෙකක්, අහිංසක දරුවන්ට පාසලක්, බුදු මැඳුරු හතරක් සහ දේවස්ථාන හතරක් දායාද කර ඇති බව පැවැසීය. වර්තමානයේ ලංකාව මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත්ව තිබෙන්නේ ළඟ සිටිනා  නිවටයන් කකුලෙන් අදින නිසා බවත් තමාගේ කකුලෙන්ද අදින්නේ නැත්නම් හම්බන්තොට උඩමලල විද්‍යාලය තමන්ගේ පෞද්ගලික මුදලින් ලංකාවේ බැබළෙන ජාතික පාසලක් බවට පත් කරන බවද ෆයිසාල් රශීන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.