කැලණියේ ඝාතනයට කාන්තාවන් දෙදෙනෙක් STF දැලේ

0
163

කැලණිය පට්ටිය හන්දිය ගුරුකුල විද්‍යාලය අසල සිදු කළ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දීමේ චෝදනාවක් මත කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිවුදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ විදේශීය රටක නිපදවූ NORINCO වර්ගයේ පිස්තෝල අවියක් සහ එයට යොදන පතරොම් ගැබක් හා මි.මී. 9 වර්ගයේ ජීව උණ්ඩ 4ක්ද සමඟය. ඉකුත් 16 වැනිදා සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී තිබිණි. එය දිගින් දිගටම සිදුවූ ඝාතනවල 35 වැනි ඝාතනය විය.

වැල්ලම්පිටිය සහ මෝදර උයන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 හා 34 වයස්වල පුද්ගලයන් දෙදෙනකු සහ මෝදර උයන පදිංචි අවුරුදු 35 සහ 46 පසුවන කාන්තාවන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මොවුන් සතුව තිබී ලක්ෂ දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 21 මිලිග්‍රෑම් 121ක්ද සොයා ගැනීම විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකිව තිබේ. සිද්ධියෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ නිවෙසද බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ අතර එම නිවෙසේ තිබී අයිස් මත්ද්‍රව්‍යද හමුවූ බව වාර්තා වේ.

කැලණිය පට්ටිය හන්දිය ප්‍රදේශයේ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති අතර මියගිය පුද්ගලයා සම්බන්ධව අධිකරණයේ නඩු විභාග වෙමින් පවතින බව කියයි.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග මත ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි කීර්ති විජේසිංහ මහතාගේ උපදෙස් මත ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එම්. එන්.කේ. මාරසිංහ ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ පොලිසියට භාරදී ඇත.

කීර්ති මෙන්ඩිස්