ක්‍රීඩාවේ ජයග්‍රහණවලින් දේශපාලනඥයින් බැබළුණු යුගය අපි නිමා කළා

0
36

ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යෑමට එය ශක්තියක් කරගත් බවත් එලෙස සිතනවා නම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරීම ඔවුන්ගේ ජයග්‍රහණයට ඉවහල් වූ බව පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආසියානු කුසලාන 20-විස්ස ක්‍රිකට් ශූරතාව සහ ‍ෙදාළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩාවලියේ පදක්කම්ලාභීන් ඇගැයීම වෙනුවෙන් සිකුරාදා (16දා) පස්වරුවේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවැති උත්සවය අමතමිනි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගය සංකේතවත් කරමින් ආසියානු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සඳහා එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 02 බැගින් සහ පුහුණුකරුවන් දෙදෙනකු සඳහා රුපියල් මිලියන 02 බැගින් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

බි්‍රතාන්‍යයේ බර්මින්හැම් නුවර පසුගියදා පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදි ශ්‍රී ලංකාව පදක්කම් 4ක් දිනා ගත්තේය. පැරා ක්‍රීඩා අංශයේ කවපෙත්ත වීසිකිරීමේ තරගයෙන් එහිදී පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනාගත් අතර  මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන්, කිලෝග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර තරගයෙන් නෙත්මි අහිංසා පෝරුතොට හා බර ඉසිලීමේ කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් දිලංක ඉසුරු කුමාර ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබීය.

එම රිදී පදක්කම් ලාභියාට ක්‍රී‍ඩා අරමුදලින් රුපියල් මිලියන 10ක්ද, ලෝකඩ පදක්කම්ලාභියකුට රුපියල් මිලියන 05ක්ද මෙහිදී පිරිනැමුණු අතර ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා එම මුදලින් 25%ක වටිනාකමකින් යුත් ත්‍යාග මුදලක් පිරිනැමිණි.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංගම්වල මැදිහත්වීමෙන්, ඩයලොග් ආසියාටා නිල අනුග්‍රාහකත්වයෙන් සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් සත්කාරක අනුග්‍රාහකත්වයෙන් මෙම ඇගැයීම් උළෙල සංවිධානය කෙරිණි.

මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය ප්‍රණාමය පුද කළ ජනාධිපතිවරයා ක්‍රීඩාවේ ජයග්‍රහණයේ කොටසක් දේශපාලනයට ලබාගත් යුගය තමන් නිමා කළ බවත් මෙවර 200%ක්ම  ජයග්‍රහණය ඊට කැපවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලුදෙනාට හිමිවන බවත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා –

“අද අපි තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ලබාදී උපහාර පුද කරනවා. පළමුවෙන්ම නෙට්බෝල් කණ්ඩායම. ගයන්ජලී අමරවංශ සමඟ ඒ නෙට්බෝල් කණ්ඩායම ආසියාවේ ශූරතාව දිනා ගෙන තිබෙනවා. මම ඒ සියලුදෙනාට ස්තුතිය පුද කරන්න කැමැතියි. ඔබට තිබෙන අඩුපාඩු ගැන මට දැනගන්න ලැබුණා. නැවත එසේ නොවන ලෙස අපේ යුතුකම් ඉටු කරන බව ප්‍රකාශ කරන අතර ඒ සඳහා මම ඉදිරියේදී වගබලා ගන්නවා. යම්කිසි ක්‍රීඩාවක් සංවර්ධනය කරනවා නම් සම්පූර්ණයෙන්ම ඊට කැපවිය යුතුයි.

මීළඟට තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව. දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මෙවර ආසියානු තරගාවලියේ ඉදිරියට පැමිණ තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත ඉතිහාසය දෙස බැලූ විට මේ ජයග්‍රහණය අපට ඉතා වටිනා ජයග්‍රහණයක්.

අපේ මලල ක්‍රී‍ඩා අංශයෙන් මේ වගේම අපේ ක්‍රීඩකයෝ හතර දෙනෙක් ජයග්‍රහණ සනිටුහන් කර තිබෙනවා. ඒ සියලු දෙනාටම මම ප්‍රශංසා කරනවා.

මේ දෙස බැලූවිට අපිට කරුණු දෙකක් සඳහන් කළ හැකියි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි පැරදුණේ ඇෆ්ගනිස්තානයට. ඇෆ්ගනිස්තානයට පැරදුණා කියලා අපි ක්‍රීඩාවෙන් අයින් වුණේ නෑ. දසුන් එම පරාජයෙන් ප්‍රයෝජන ගත්තා. ඉදිරියට යෑමට එය ශක්තියක් කරගත්තා. මෙය ක්‍රිකට් කණ්ඩායමට විතරක් නෙවෙයි, දසුන් ශ්‍රී ලංකාවටම හොඳ උදාහරණයක් දීලා තියෙනවා.

දෙවැනුව නෙට්බෝල් ක්‍රීඩාව. අපිට ලෝක ශූරතා දිනාගත හැකි බව ඔබ පෙන්වා තිබෙනවා. අපිට කිසිදු බියක් නැතිව ලෝකය සමඟ තරග කළ හැකියි. අපි පුරුදු වී තිබෙන්නේ ලෝකය සමඟ තරග කරන්න නෙවෙයි. ලෝකයේ තිබෙන නීති අපේ වාසියට වෙනස් කරගන්න. ක්‍රිකට්, නෙට්බෝල් කුමන ක්‍රීඩාවට ගියත් ලෝකයේ තියෙන ඒ නීති රීති  අනුව තරග කළොත් අපට ලෝකය දිනාගත හැකියි. ඒ විශ්වාසය ඔබ සියලු දෙනාම ලබාදී තිබෙනවා. ඒ නිසා රට වෙනුවෙන් සියලු දෙනාටම මම ස්තුති කරනවා. විශේෂයෙන්ම මේ ජයග්‍රහණ ඔබ සියලු දෙනාටම හිමියි.

ඔබ සියලු දෙනා ඔබේ වගකීම උපරිමයෙන්  ඉටු කර තිබෙනවා. ඔබ මේ රටින් ලැබූ අධ්‍යාපනය වැනි වරප්‍රසාද වෙනුවෙන් ණය ගෙවා ඇති බව කිව්වොත් නිවැරදියි. ඔබ මේ රට දාල ගියේ නැහැ. විශ්වාසය නැති කරගත්තේ නෑ. ඔබට අදාළ කාර්ය නිසි ලෙස ඉටු කර ගෞරවය රැගෙන නැවත මේ රටට ආවා. අද වගේ අර්බුදකාරී අවස්ථාවක අපට රටෙන් ගන්න තියෙන්නේ මොනවද කියල හිතන්න නරකයි. අප සිතිය යුත්තේ අපෙන් රටට නැවත මොනවද දෙන්න පුළුවන් කියලයි. එම පාඩම තමයි ඔබ මේ රටට උගන්වා තිබෙන්නේ.”