ක්‍රිකට් ජයග්‍රහණයේ ඉඟි පෙන්වන රනිල්ට රට දිනවිය  නොහැකියි

0
20

රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් පිළිසඳරක යෙදෙන්නේ හමුදාවත් එක්ක, පොලිසියත් එක්කයි. ඒ ඔහුට ජනතාවගේ පීඩනය රාජපක්ෂලාට වඩා වැඩියෙන් තියෙන බව දන්න නිසා යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙසේ කීය.

මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ක්‍රිකට්, නෙට්බෝල් ජයග්‍රහණය කළ ආකාරයේ ජයග්‍රහණයක් රටට උදාකර දෙන්න යනවා කියන උත්සාහයේ ඉඟිය පෙන්වා දෙන්න උත්සාහ කරනවා. හැබැයි දසුන් ශානක ක්‍රිකට් නායකයා හැටියට තේරුවේ හොඳ විද්වත් කමිටුවකින්. ඔහු තුන් ඉරියව්වෙන්ම දක්ෂයෙක්.

ඒ නිසා ඔහු ඒ කණ්ඩායම මෙහෙයවලා අපේ රටේ ජයග්‍රහණය ලෝකය ඉදිරියට ගෙනියන්න කටයුතු කළා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ නායකතුමා ඒ දර්ශනයට ගියාට එහෙම වෙන්න බෑ. ඔබ තෝරා ගන්නේ මේ රටේ හොරු කණ්ඩායම. බලයට එන්නෙ හොරු රකින්න. ඒ නිසා ඔබට බෑ මේ රට කවදාවත් ජයග්‍රහණය කරා ගෙනියන්න. අද රට කොතනටද ගෙනිච්චේ කියන කාරණය මානව හිමිකම් කවුන්සලයේ කතා බහට ලක්වෙනවා.

අපේ රටේ දැවැන්ත ආර්ථික පරිහානියට වගකිව යුතු හොරු කඳවුරත් එක්ක රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය ජයග්‍රහණය කර දෙනවා කියන විහිළුව ගැන අපි කනගාටු වෙනවා. හැබැයි ලෝකෙ ඉදිරියේ දේශපාලන වශයෙන් ඉන්නේ දැවැන්ත හොර කඳවුරක් කියන කාරණය රනිල් වික්‍රමසිංහ මහත්තයට අමතක වෙලාද කියන කාරණය මතක් කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය තුළ රටේ ජනතාව බලාපොරොත්තු වෙනදේ මේ වන විට සිද්ධ වෙනවද කියලා අපි අහනවා.

ගෝඨාභය රාජපක්ෂ රටත් තනතුරත් දාලා ගියා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉල්ලා අස් වුණා. හැබැයි ඒ පාලනය තුළ තිබිච්ච, රටේ පුරවැසියාට තිබිච්ච ප්‍රශ්න එකක් හෝ විසඳීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලනය අද සාර්ථක වෙලා නැහැ. ඔහුගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් පොදුජන පෙරමුණේ පොහොට්ටු මන්ත්‍රිවරුන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කිරීම තමයි ඔහුගේ ඒකායන අරමුණ.

අද රටේ ජනතාවට තුන් වේලක් කන්න විදිහක් නැහැ. ඒවා යථා තත්ත්වයට ගේන්න පුළුවන් සාධාරණ ආර්ථික වැඩපිළිවෙළක් යෝජනා වෙන්නේ නැහැ. රාජ්‍ය ඇමැතිවරු කැබිනට් ඇමැතිවරු හිඟකම නෙමෙයි  රටේ ඇත්ත ප්‍රශ්නය. ඔය රාජ්‍ය ඇමැතිවරු කැබිනට් ඇමැතිවරු තමයි අවුරුදු දෙක හමාරක් තුනක් මේ රට විනාශ කළේ. ඒ නිසා වෙනත් නමකින් ඇමැතිකම්  දුන්න කියල මේ රට හදන්න පුළුවන් තැනක නැහැ. ඔවුන් ඔවුන්ගේ සුපුරුදු හොරකම් ටික කරනවා හැර වෙනත් කාරණයක් කරන්නේ

නැහැ. අද තුන්වේල කන්න තියෙන හාල් ටික, පරිප්පු ටික, පොල් ගෙඩිය පවා විශාල ප්‍රමාණයකින් මිල ඉහළ යනවා. හැබැයි ඊට වැඩපිළිවෙළක් නැහැ. රනිල් වික්‍රමසිංහ ආවේ ලෝකය උදවු කරයි, ලෝකයාම බයයි එතුමාට කියන කාරණය කියලා. හැබැයි  එහෙම දෙයක් අපිට පේන්නේ නැහැ. රනිල් මහත්තය යන්නෙත් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ගියපු පාරේමයි.

ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැහෙනකොට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඉල්ලනකොට ඒ අය කූඩුවේ දාලා ජනතාවගේ ප්‍රශ්න වහන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිත් මේ ආණ්ඩුවත් හිතනවා නම් ඒක වෙන්නේ නැහැ. මොකද කවුරුත් දන්නවා රබර් බෝලයක් වතුරට දැම්මොත් ඒක උඩ එනවා. හැබැයි හැමදාම අල්ලාගෙන ඉන්න බෑ. ඔහු හදන්නේ රාජපක්ෂලාගේ බිඳී ගිය දේශපාලනය සහ ඔවුන්ගේ ආර්ථිකය රටේ ආර්ථිකයයි හදන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි මේ රටේ නීතිය භාරව ඉන්න රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලනවා ඔවුන්ට ගරු කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රටක් හැටියට රටේ ජනතාවට බඩගින්න දැනෙන කොට තමන්ට කන්න බොන්න දරුවාට කන්න බොන්න දෙන්න බැරි වෙනකොට ඒක දෙන්නේ නැත්තේ මේ ආණ්ඩුව නම් ඒක ඇවිත් මහ පාරේ කියන්න පුළුවන් පුරවැසි අයිතියක් තියෙනවා. එහෙම නම් පුරවැසියා ඒක කියනකොට පොලිසියේ හමුදාවේ නිලධාරීන් ඇවිත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවි නීතිය ක්‍රියාත්මක කරන බව අපට පේනවා. ඒ නිසා අපි කියනවා 69 ලක්ෂයෙන් බාගයක් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යවන්න මහින්ද රාජපක්ෂ මහත්තයා මේ ආණ්ඩුවත් එළවන්නත් වීදි බැහැලා වැරැද්ද නිවැරැදි කළා.

රටේ පොලිසියට හමුදාවට කරුණකරලා කියනවා මේ අවනීතිය අතට ගන්න හදන්න එපා. අපි සෑම පුරවැසියන් අහනවා තමන්ගේ පවුලේ ඉන්නව නම් හමුදාවේ පොලිසියේ සහෝදරයා හෝ මිත්‍රයා හෝ පුතා අහන්න ඔයා කරන දේ හරිද කියලා. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා රාජපක්ෂ නඩය පෝෂණය කරන්න තමන්ගේ දරුවා වෙනුවෙන් පාවා දෙනවා නම් අපි කියනවා  මේ නිලයට ගරු කරන එකක් නෑ. අද රටේ පුරවැසියන්ට ඉතුරු වෙලා තියෙන්නේ නීතිය විතරයි. හැබැයි ඒ නීතිය භාරව ඉන්න නිලධාරීන් උසස්වීමක් ගන්න තනතුරක් ගන්න පදක්කමක් ගන්න මේ රටේ හොරුන් රකින්න අවනීතිය පාවිච්චි කරන්න එපා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති දැන් පිළිසඳරක යෙදෙන්නේ හමුදාව, පොලිසියත් එක්ක. ඒ පිළිසඳරක යෙදෙන්නේ ඔහු දන්නවා ඔහුට ජනතාවගේ පීඩනය රාජපක්ෂලාට වඩා වැඩියෙන් තියෙන බව. අපි අහනව මේ පොලිස් හමුදාවේ නිලධාරීන්ගේ දරුවන්ගෙන් තමන්ගේ තාත්තා කරන දේ හරිද. තමන්ගේ මාමා කරන දේ හරිද, වැඩිහිටියා කරන දේ හරිද කියලා. ඒ විතරක් නෙමෙයි.

ගම්වල ගිහිල්ලා අහන්න රාජපක්ෂලා රකින රනිල් වික්‍රමසිංහගේ අවනීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් නැඟී සිටිනවාද කියලා. අපිට අද තියෙන ප්‍රශ්නය උද්ගත වුණේ මේ හොර නඩය නිසයි. මම කියනවා මෙතැනින් අපි පටන් ගමු. අද හමුදාවේ පොලිසියේ නිලධාරීන්ට අපි කියනවා ඔබට ලැබෙන තනතුර වෙනුවෙන් මේ රාජපක්ෂවරු රකින රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අවනීතිය අතට ගන්න එපා කියලා.

නිර්මාණි ගුණරත්න