කළුතර හිරගෙදර සිරකරුවෙක් ගෙල වැලලාගෙන මරුට

0
12

සිර දඬුවම් නියමව කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු වැසිකිළියක් තුළදී සරමක පටියක් ආධාරයෙන් පෙරේදා (17දා) පස්වරුවේ ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මොරටුව, මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.එම්.ආර්. නිශාන්ත නමැති 44 හැවිරිදි පුද්ගලයකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය. වැසිකිළිය තුළ ගෙල වැලලාගෙන සිටි තැනැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් ඉන් මුදාගෙන කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් එම පුද්ගලයා මියගොස් සිට ඇතැයි සඳහන් වේ.

මාස 15ක සිර දඬුවම් ලැබ සිට ඇති මෙම පුද්ගලයා ක්ෂය රෝගයෙන් පෙළී සිට ඇති අයකු බවත් ඔහු අනෙක් සිරකරුවන්ගෙන් වෙන්කර තබා ඇති බවත් සඳහන්ය. කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

පොතුපිටිය – සුමිත් රණවක