ඔබේ දරුවාත් බොරු කියන්න පුරුදු වෙලාද?

0
52

ඕනෑම දරුවකු ස්වාධීනත්වය සහ නිදහස තම අවශ්‍යතාවක් බවට පත්කර ගන්නේ නව යොවුන් අවධියේදීය. යොවුන් වියෙහි දරුවකු යොවුන් වියට එළඹීමත් සමඟ ඔහුගේ හෝ ඇයගේ මවුපියන් හට නොයෙකුත් අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. ඒ අතර ලොකුම අභියෝගය වන්නේ තම දරුවාගේ හැගීම් තේරුම් ගන්නේ කෙසේද යන අභියෝගයයි. ඇතැම් දරුවන් ඔවුන්ගේ ස්වාධීනත්වය  සහ නිදහස ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසාම මුසාවන් පැවැසීමට පෙලඹෙයි. එහෙත්  ඔබේ නව යොවුන් වියෙහි පසුවන දරුවා නිතර නිතර මුසාවන් පවසන බව මවුපියන් වන ඔබට නිරීක්ෂණය වනවා නම් ඊළඟට ඔබ කළ යුත්තේ කුමක්ද? ඒ පිළිබඳව අද ඩඥප අතිරේකයෙන් සාකච්ඡා කරමු. 

යොවුන් වියෙහි දරුවන් සිතන්නේ තමන් හට තනියම තමාගේ වැඩකටයුතු කරගත හැකි බවයි. එම ස්වාධීනත්වය සහ නිදහස අපේක්ෂාවෙන් ඔවුන් මවුපියන් හට මුසාබස් පැවැසීමට යොමු වේ. මෙම වයසෙහි දරුවන් නිවෙසෙහි ජීවත් වනවාට වඩා නිවෙසින් පිට යහළුවන් සමඟ ලෝකයක් තනාගෙන ඇත. එම ලෝකයේ සිටින්නේ ඔහුගේ මිත්‍රයන්ය. ඇතැම් විට මිත්‍රයන්ගේ විවිධ ක්‍රියාකාරකම් සැඟවීමට තම  යහළුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්  ඔවුන් බොරු කීමට පෙලඹෙයි.

මෙම වයසෙහි දරුවන් අලුත් අලුත් දේවල් අත්හදා බැලීමට වැඩි කැමත්තක් දක්වයි. එහෙත් ඇතැම් මවුපියන් එම අත්හදා බැලීම්වලට විරුද්ධ වන නිසා දරුවන් ඒවා වසන් කිරීම සඳහා මුසා බස් පවසන අවස්ථා අපමණ ඇත. තවද  චිත්තවේග සඟවා ගැනීම සඳහා දරුවන් යම් යම් බොරු කීමට උත්සාහ කරන අතර උදාහරණයක් ලෙස පෙම් සබඳතා ආදිය මවුපියන්ගෙන් වසන් කිරීම සඳහාත් දරුවන් බොරු පවසයි.

අධිකාරි මවුපියභාවයක් යටතේ හැදෙන වැඩෙන දරුවන් දැඩි වශයෙන් මවුපියන් හට බොරු කීමට පෙලඹෙන්නේ මවුපියන්ට ඇති බිය නිසාය. අනවශ්‍ය ආකාරයෙන් දරුවන් පාලනය කරන නිවෙසක දරුවන් බොරු කීමට යොමුවීමේ  සම්භාවිතාව වැඩි අතර ඔවුන් එසේ කරන්නේ ශාරීරිකව දඬුවමකට ලක්වීමට ඇති බිය නිසාය. එහෙත් මෙම වයසෙහි දරුවන් බොරු කියන්නේ මවුපියන් රිද්දන අදහසකින් නොවේ. ඔවුන් බොරු කියන්නේ ඔවුන්ගේ නිදහස වෙනුවෙනි.

සමාජය තුළ අවංකභාවය සඳහා ඉහළ වටිනාකමක් තිබෙන අතර කුඩා කාලයේ සිටම තම දරුවාට අවංක වීමට ඉගැන්විය යුතුය. එහි වටිනාකම දරුවන් හට පහදා දිය යුතුය. එය මවුපියන් වන ඔබගේ වගකීමකි. ජීවිතයේ අනෙක් කාලවලට සාපේක්ෂව නව යොවුන් වියෙහි බොරු කීමට පෙලඹෙන සම්භාවිතාව වැඩි බව පර්යේෂණ තුළින්ද හෙළි වී ඇත.

ඔවුන් දිනකට බොරු හතරක් පමණ පවසන බවත් එම වයසේදී සිදුවන ශාරීරික සහ මානසික ක්‍රියාකාරීත්වයේ  වෙනස්කම් හේතුවෙන් ඔවුන්ට ඇතිවන ආවේග, හැඟීම්, චිත්තවේග තේරුම් ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. එම නිසා ඔවුන් බොරු කීමට පෙලඹන බව පර්යේෂණවලින් හෙළිකරගෙන ඇත. වයසේ වැරැද්ද යනුවෙන් සමාජයේ  කටකතාවක් පවතින්නේ මෙම තත්ත්වය නිසාය.

ඔබේ දරුවා බොරු කියන බව

හඳුනා ගත හැකි ලක්ෂණ

ඔබේ දරුවා ඔබ සමඟ කතා කරන විට අක්ෂි  සබඳතා පවත්වා නොගැනීම හෝ බිම බලාගෙන කතා කිරීම මඟින් දරුවා මුසාවක් පවසන බව ඔබට දැනගත හැකිය. මවුපියන් වන ඔබගේ මුහුණ දෙස දරුවා එක එල්ලේ බලමින් කතා නොකරයි නම් දරුවා පවසන්නේ මුසාවක් බව ඔබ තේරුම්ගත යුතුය.

එසේම අවස්ථාවට උචිත නොවන ලෙස හසුරවන ඇතැම් ශරීර චලනයන් මඟින්ද දරුවා කියන්නේ බොරුවක් බවත් මුහුණේ ඇතැම් ඉරියව් කලබලකාරී ස්වභාවයක් ගනියි නම් මවුපියන් වන ඔබ දරුවා පවසන දේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. දරුවා  සාමාන්‍ය ස්වභාවයට වඩා උස් හ¾ඩින් කතා කරනවා නම් සහ බියට පත්වී ඇත්නම් මවුපියන් වන ඔබ දරුවා පිළිබඳ උනන්දු වී දරුවාට හොඳින් සවන් දෙන්න.

යොවුන් වියේ දරුවන් බොහෝ ප්‍රමාණයක්  මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇති අතර ඒ පිළිබඳව නිවෙසින් වසන් කිරීම සඳහා වැඩි වශයෙන් බොරු කියන බව ඇතැම් පර්යේෂණ මඟින් හෙළිවී ඇත. මත්පැන්වලට ඇබ්බැහි වීමට වඩා ඔවුන් එවැනි දේවල් අත්හදා බලන්නට යොමු වන්නේ මෙම වයසේදීය.

යොවුන් විය යනු  දරුවන් වැඩිපුර ඇබ්බැහිවීම්වලට ලක්වන කාලයකි. දරුවන් මෙවැනි  දේවල් මවුපියන්ගෙන් සඟවන්නේ ඔවුන්ගේ ස්වාධීනත්වයට හානියක් වේවි යැයි සිතාය. තමාගේ ප්‍රතිරූපය කඩා වැටෙයි, තමාගේ ආත්මාභිමානයට හානියක් වේවි යැයි සිතමින් ඇතැම් දරුවන් බොහො දේවල් රහසක් ලෙස සඟවා ගනියි. මෙවැනි දේවල් සඟවා ගැනීම තුළින් දරුවන්ගේ පරමාර්ථය වන්නේ  මවුපියන්ගෙන් සහ නිවෙසින් තමාට පැමිණෙන ගැටුම් මඟහරවා ගැනීමයි.

යොවුන් වයසේ දරුවන් බොහෝ විට ප්‍රේම සබඳතා ආරම්භ කරන අතර මෙම වයසෙහි දරුවන් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි දැඩි කැමැත්තක් දක්වන්නේ මනසෙහි ඇති වන වර්ධනය සහ සිරුරේ ඇති වන හෝමෝනවල බලපෑම නිසාය. ඔවුන් ගොඩනඟා ගන්නා ප්‍රේම සබඳතා නිවෙසින් වසන් කිරීම සඳහා ඇතැම් දරුවන් බොරු කියන අතර පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ වැඩිපුර අපයෝජනවලට ලක් වන්නේ නව යොවුන් වියෙහි දරුවන් බවයි. 

ඇතැම් මවුපියන් දරුවන් නිවෙස තුළටම කොටුකර රැකවරණය ලබාදීමට උත්සාහ කරයි. බොහෝ විට දරුවන්ට පාසලෙන් යන අධ්‍යාපන චාරිකාවකට හෝ සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්නේ නැත. යහළුවන් සමඟ යන ගමනකට හෝ සහභාගී වීමට ඉඩ ලබා දෙන්නේ නැත. මෙමඟින් සිදුවන්නේ දරුවා මුරණ්ඩු වී නිවෙසට බොරු හේතු පවසා තමාට අවශ්‍ය නිදහස ලබා ගැනීමයි. එම නිසා දරුවාට අවශ්‍ය නිදහස අනවශ්‍ය ලෙස ලබානොදී අවශ්‍ය ලෙස ලබාදීමට මවුපියන් වන ඔබ වග බලා ගත යුතුය.

එසේම මෑත කාලයේ ඇති වූ කොරෝනා වසංගතය නිසා දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයට හුරුවිය. ඒ සඳහා නිතරම ඔවුන් දුරකථනය භාවිත කරන අතර සමාජ මාධ්‍ය ජාලාවල සැරි සැරීමද වැඩි වශයෙන් දකින්නට ලැබේ. නිසි අවබෝධයක් නොමැතිව සමාජ මාධ්‍ය පරිහරණය කරන ඔවුන් සමාජ මාධ්‍ය මඟින් බහුලවම අඩන්තේට්ටම්වලට මුහුණ දෙයි. නොහඳුනන මිතුරු ඉල්ලීම් මත ඔවුන් විවිධ සබඳතා ගොඩනඟා ගන්නා අතර මේ සියල්ලක්ම සිදුවන්නේ මවුපියන්ගේ නොදැනුවත්භාවය මතය. මවුපියන්ගෙන් ‍ෙදා්ෂාරෝපණය එල්ල වේවි යැයි බියෙන් මේ කිසිවක් ඔවුන් නිවෙසට නොකියයි. මෙවැනි සබඳතා බිඳීගිය පසු ඇතැම් දරුවන් තමා පිළිබඳ හීනමානයකටද ලක්වන අවස්ථා තිබේ.

බොරු කීමට පෙලඹීමෙන්

දරුවාට අත්විය හැකි අවාසිදායක තත්ත්වයන් ලෙස

දරුවා නිතර නිතර බොරු පැවැසීම  පසුකාලීනව දීර්ඝ පුරුද්දක් බවට පත්විය හැකිය.  විශේෂයෙන් දරුවාට යම් කාරණයක් තම අභිමතය පරිදි කර ගැනීමට අවශ්‍ය වූ විට බොරු පවසා එම බොරුව ප්‍රයෝජනයට ගෙන ඔහු හෝ ඇය එම කාර්යය කර ගනියි. නමුත් එයින් වන හානිය පිළිබඳ ඔහු හෝ ඇය දැනුවත් නැත. තවද නිතර නිතර බොරු කියන බව හෙළිවීමෙන් දරුවාට සිය මිතුරන් අහිමිවීමේ අවදානම වැඩිය. නිතර කලබල වන සහ කෝපයට පත්වන දරුවකු නම් නිතර බොරුකීම තුළින් දිගුකාලීනව බලපාන විවිධ මානසික ගැටලු තත්ත්වයන්ට මුහුණ දෙයි. කුඩා කාලයේ සිටම බොරු පැවැසීම මඟින් කුමන අවස්ථාවකදී වුවත් කිසිදු පසුතැවීමකින්, පැකිලීමකින් තොරව බොරු කීමට හැකියාව ඇති පුද්ගලයකු බවට වර්ධනය වීමේ හැකියාව බහුල බැවින් මේ පිළිබඳ මවුපියන් වන ඔබ දරුවාට පහදා දිය යුතුය.

මෙහිදී විශේෂයෙන්ම මවුපියන් වන ඔබ ඔබගේ දරුවා බොරුවක් පවසනවා යැයි සිතුනහොත් මුලින්ම කලබල නොවන්න. කලබල නොවී සන්සුන්ව සුහදශීලීව දරුවා සමඟ කතා කරන්න. අද බොහෝ මවුපියන් සිදුකරන්නේ දරුවන්‍ට ශාරීරිකව දඬුවම් ලබාදීමයි. එහෙත් නව යොවුන් වියෙහි දරුවන් හට ශාරීරික දඬුවම් ලබාදීම සුදුසු නැත. ශාරීරික දඬුවම් ලබාදීම මඟින් සිදුවන්නේ දරුවා තවත් බොරු කීමට පෙලඹීම සහ ප්‍රචණ්ඩ වීමයි. එම නිසා සුදුසුම දෙය වන්නේ දරුවාගේ සියලු වැඩ කටයුතු මවුපියන් දන්නා බව නිතරම දරුවාට ඇඟවීමයි. මවුපියන් ඕනෑම මොහොතක දරුවාට උදවු කිරීමට සිටින බව ඒත්තු ගැන්විය යුතුය.

බොරු කියන නව යොවුන් දරුවන් සමඟ මවුපියන් වන ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද?

දරුවා බොරු කියනවා යැයි මවුපියන්ට දැනුණු විට දරුවාට දඬුවම් දීමට පෙර සන්සුන්ව දරුවා සමඟ එසේ වීමට හේතුව සාකච්ඡා කිරීමට ප්‍රවේශයක් ලබාගන්න. ප්‍රවේශයක් ලබාගෙන කලබලකාරී නොවී දරුවා සමඟ කතා කරන්න. ඇතැම් විට දරුවා මුසාවක් පැවැසීමට යම්කිසි හේතුවක් තිබිය හැකිය. මවුපියන් දඬුවම් දේවි යැයි බියෙන් හෝ ලැජ්ජාව ආදී නොයෙකුත්  දේවල් එම හේතුන් පිටුපස තිබිය හැකිය. එම නිසා දරුවා බොරු කීමට හේතුව ඔබ සොයා ගැනීමට උත්සාහ කළ යුතුය. දරුවා හට බොරු කීමට යම් බාහිර පාර්ශ්වයකගෙන් බලපෑමක් හෝ උත්තේජනයක් ලැබෙනවා දැයි විශේෂයෙන්ම සොයා බැලිය යුතුය. මෙහිදී දරුවා සමීපව ඇසුරු කරන වැඩිහිටියන් හෝ මිතුරු මිතුරියන් මඟින් දරුවාට බලපෑමක් වෙනවාද යන්න සොයා බලන්න.  

කුඩා කල සිටම දරුවා බොරු කීමට පෙලඹීම තුළින් අනාගතයේ යම් දිනෙක ඔහු හෝ ඇය සමාජයෙන් කොන්වීමට තිබෙන ඉඩ කඩ වැඩිය. එමෙන්ම සමාජයේ හාස්‍යට ලක්වීමට ඉඩකඩ බොහෝ ඇත. මිතුරන් අවම වීම වගේම ඔබගේ දරුවාව යම් කෙනකු විශ්වාස නොකිරීමේ සම්භාවිතාවද  වැඩිය. එම නිසා යම් යම් මානසික පීඩනයන්ටද දරුවාට මුහුණ දීමට සිදුවේ. මෙම තත්ත්වය කුඩා කාලයේදීම දරුවාට පහදා දීමෙන් අනාගතයේ ඔහුට හෝ ඇයට සමාජයෙන් සිදුවන ‍ෙදා්ෂාරෝපණ වළක්වා ගත හැකිය.

මෙහිදී විශේෂයෙන්ම වැදගත් වන්නේ ඔබත් දරුවාත් අතර සබඳතාව ශක්තිමත් කර ගැනීමයි. එවිට ඔබගේ  දරුවා ඔබගෙන් කාරණා සැඟවීමට හෝ බොරු කීමට උත්සාහ නොකරාවි. විශේෂයෙන්ම දරුවාට දැනෙන හැඟීම් ඔබ සමඟ බෙදාගන්නා විට දරුවාත් ඔබත් අතර ඇති සමීපත්වය වැඩිදියුණු වීමද සිදුවේ.

යොවුන් වියෙහි පසුවන දරුවන්ගේ හැසිරීම් නිසා මවුපියන් ලෙස ඔබ කලකිරීමට පත්විය හැකිය. නමුත් මවුපියන් වන ඔබ ඉතා සන්සුන්ව සහ ඉවසීමෙන් දරුවන් සමඟ කටයුතු කළ යුතුය. දරුවා සමඟ මනා සන්නිවේදනයක් පවත්වා ගත යුතුය. එවිට ධනාත්මකව මෙම තත්ත්වයට මුහුණ දියහැකි අතර දරුවාගේ අනාගතයටද මෙමඟින් යම් උත්තේජනයක් ලැබෙනවා නොඅනුමානය.

සචිනි බස්නායක

කේ. ඩී. නතාලියා

ප්‍රනාන්දු

මනෝ විද්‍යාව

පිළිබඳ කථිකාචාර්ය

දර්ශන අධ්‍යන

අංශය කැලණිය

විශ්වවිද්‍යාලය