ඔබත් දිනලා රටත් දිනවන බිස්නස් එකක් අදම පටන් ගමුද?

0
33

පසුගිය දෙසතිය පුරාම අපි ස්වයං රැකියා සම්බන්ධව සහ අලෙවිකරණ උපායමාර්ගයන් ගැන යම් යම් කරුණු කිහිපයක් සාකච්ඡා කළෙමු. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මඟින් පුද්ගලයාටත්, රටටත් අත්වන වාසි රැසකි. නමුත් එක් ගැටලුවක් ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට සහ නඟාසිටුවීමට ආණ්ඩුව විසින් ලබාදෙන සහයෝගය සහ අවධානය ප්‍රමාණවත්ද යන්න අපට මතුවන එම ගැටලුවයි. 

මෙරටට 1978 වර්ෂයේදී එතෙක් තිබුණු සංවෘත ආර්ථික ක්‍රමය වෙනුවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේය. රටට ඉහළ ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමේ අරමුණින් එය ක්‍රියාවට නැංවුවත් වසර 74කටත් පසුව අප සිටින්නේ එකම තැනය. වර්තමානයේ අසීරුවෙන් දිවි සරිකරගන්නා පුරවැසියන්ට මේ ගැන අමුතුවෙන් පැවැසිය යුතු නොවෙයි.

විවෘත ආර්ථික මොඩලය නිසා ලෝකයේ නන් දෙසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් බහුජාතික සමාගම් හරහා මෙරටට ඇතුළු වීමට පටන් ගත් නිසා එතෙක් මෙරට පැවැති කුඩා හා මධ්‍ය පරිමාණ දේශීය කර්මාන්ත ශීඝ්‍රයෙන් කඩා වැටීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස කොසු, ඉදල්, පිඟන් භාණ්ඩ, පාපිසි පවා පිටරටින් ගෙනෙන තත්ත්වයකට මෙරට ආර්ථිකය පත්විය. දේශීය කුඩා කර්මාන්තකරුවා සහමුලින්ම කඩාවැටිණි. එහි අනිසි ප්‍රතිඵල අපි පසුගිය දෙවසර තුළදී ඕනෑවටත් වඩා අත්වින්දෙමු.

අප ස්වයං රැකියා ආරම්භ කිරීම, පවත්වා ගැනීම සහ ඒවාට අවශ්‍ය පිරිවැය සොයා ගැනීම ගැන කතා කළෙමු. එහෙත් ස්වයං රැකියාවෙන් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදිතය අලෙවි කර ගැනීම, බහුජාතික සමාගම් සහ යෙදීමට සිදුවන අධික තරගය සහ පුරවැසියාගේ ආකල්ප වෙනස් විය යුතු ආකාරය ගැන යොමුකළ අවධානය ඉතා අඩුය. එම අතපසු වූ කරුණ අද ඔබට පැවසීමට සූදානම් වන ස්වයං රැකියාවක් විධියට ආරම්භ කළ හැකි සේදුම්කාරක දියර සහ සබන්

නිෂ්පාදනය සමඟ ඍජුවම පෑහේ.

ඔබට ස්වයං රැකියාවක් ලෙස සේදුම් පිරිසුදුකාරක සහ සබන් නිෂ්පාදනය නිවෙසේදීම සිදුකළ හැකිය. මේ සඳහා අවශ්‍ය දැනුම සහ උපදෙස් ඔබට idb ඇතුළු රජයේ ආයතන මඟින් ද ලබාගැනීමට හැකිය.

ඔබට සේදුම් පිරිසුදුකාරක නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය වෙළෙදපොළින් ලබාගත හැකිය. එවැනි රසායනික ද්‍රව්‍ය කිහිපයක් සහ ඒවා ලබාගත යුතු ප්‍රමාණය (මාත්‍රාව) පහතින් දැක්වේ.

–              සෝඩියම් ලෝරයිල් ඊතර් සල්ෆෙට් SLES sodium  lauryl ether salfate, බර අනුව මිශ්‍රකළ යුතු ප්‍රමාණය 2.00

–              සෝඩියම් ලෝරයිල් සල්ෆෙට් SLS  sodium lauryl salfate, බර අනුව 0.30

–              ලීනියර් ඇල්කයිල් බෙන්සීන් සල්ෆොනික් ඇසිඩ් LABSA Linear Alkyl Benzene Sulfonic acid , බර අනුව 2.50

–              සෝඩියම් ට්‍රයි පොලි පොස්ෆේට් Sodium Tri poly Phosphate STPP, බර අනුව 0.20

–              ට්‍රයි එතනොල් ඇමීන් TEA , බර අනුව 1.50

–              සෝඩියම් බෙන්සෝඒට් C6H6COONa, බර අනුව 0.20

–              ග්ලිසරෝල් Glycerol, බර අනුව 1.00

–              එතලීන් ඩයිඇමීන් ටෙට්ට්‍රා ඇසිටික් ඇසිඩ් Ethylene Diamine Tetra Acetic acid EDTA, බර අනුව 0.10

–              යුවිටෙක්ස් Uvitex, බර අනුව 0.30

–              HEC (Hydroxy Ethyl Cellulso) බර අනුව 0.75

–              වර්ණක (Dye), බර අනුව 0.03

–              සුවඳකාරක Fragrance, බර අනුව 0.50

දජලය බර අනුව 90.62

ඉහත රසායනික ද්‍රව්‍ය බර අනුව මිශ්‍ර කරමින් සේදුම්කාරක දියර නිෂ්පාදනය කළ හැකිය. මෙහිදී ඔබට යන්ත්‍ර සූත්‍ර භාවිත කිරීමට අවශ්‍ය නොවන අතර ඔබට ඩ්‍රම් එකක් සහ ලී පත්තක් භාවිතයෙන් කලවම් කරගැනීම සිදුකළ හැකිය.

සබන් සෑදීම

ඔබට මේ සඳහා සපයා ගත යුතු ද්‍රව්‍යයන් කිහිපයක් ඇත.

–              කෝස්ටික් සෝඩා පිළියෙල කිරීම සඳහා ප්ලාස්ටික් භාජනයක්.

–              වානේ බැරල් කිහිපයක් (පොල්තෙල් සහ කෝස්ටික් සෝඩා ද්‍රාවණය එකට මිශ්‍රණ කිරීම සඳහා සහ පොල්තෙල් රත්කිරීම සඳහා)

–              සබන් සිසිල් කිරීම සඳහා රාමු හෝ පෙට්ටි

–              සබන් මුද්‍රා තබන යන්ත්‍රය

–              සබන් පොලු වශයෙන් කපන උපකරණය

දතරාදිය

–              උෂ්ණත්වමානය

–              මේසයක්

–              ලී පත්තක්

–              හයිඩ්‍රෝමීටරයක් (ද්‍රාවණයේ ඝනත්වය මැනීමට)

සබන් සෑදීම

පළමුව කෝස්ටික් සෝඩා අවශ්‍ය ප්‍රමාණයට ගෙන එය දියකර කෝස්ටික් සෝඩා ද්‍රාවණය පිළියෙල කර ගනිමු. ඉන්පසුව පොල්තෙල් රත්කර (සෙන්ටි්‍රගේ්‍රඩ් 50කට පමණ උෂ්ණත්වයට) ගැනීම. රත් කරගත් පොල්තෙල් ද්‍රාවණය සිසිල් කිරීමට ඉඩ සලස්වා, එය සිසිල් වූ පසු, එය කෝස්ටික් ද්‍රාවණයට ටිකෙන් ටික එකතු කරගන්නා අතරතුර එය එක් පසෙකට පමණක් කලවම් කිරීම. ඔබ එය ක්‍රීම් එකක් පමණ වනතුරු කලවම් කරගත යුතුය.

එය නිසි පදමට පැමිණි පසුව අච්චුවලට දමා පැය 24ක් පමණ තබා ඒවා කෑලි කපා ඇසුරුම් කරගත යුතුය. ඔබ ලබාගන්නා අච්චුවලට ග්‍රීස් හෝ පොල්තෙල් ස්වල්පයක් තවරා ගැනීමට අමතක නොකළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය සුවඳ විලවුන්ද එකතු කර ගැනීම සුදුසුය. ඉන්පසුව සති හතරකින් පමණ සබන් භාවිතයට ගැනීමට හැකිය. එමෙන්ම මෙම ක්‍රියාවලියේදී සුදු යකඩවලින් සෑදූ භාජන භාවිතය වඩාත් සුදුසුය. මන්ද ඇලුමිනියම් හෝ යකඩ ප්‍රතික්‍රියාකාරක වශයෙන් ක්‍රියාකරන බැවිනි. ඔබට මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම IDB ආයතනය මඟින් වැඩිදුරටත් ලබාගත හැකිය.

ඔබට මේ සඳහා අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික පුහුණුව පාඨමාලාවක් හැදෑරීමෙන් වුවද ලබාගත හැකිය. ස්වයං රැකියාවක නිරතවන පුද්ගලයෙක් යනු රටට හෝ රටේ ආර්ථිකයට බරක් නොවන පුද්ගලයෙකි. නමුත් ඉහත නිෂ්පාදන සිදුකරන ස්වයං රැකියාකරුවා මුහුණදෙන ගැටලු බොහොමයකි. එවැනි ඇතැම් ගැටලු සඳහා විසඳුම් ඇත්තේ බලධාරීන් සතුවය. පෙර කී ලෙසම දේශීය සේදුම්කාරක සහ සබන් නිෂ්පාදකයන්ට, වෙළෙඳපොළෙහි ඇති සෙසු බහුජාතික සමාගම්වල ඇති නිෂ්පාදන සමඟ තරග කළ හැකිද? ඔවුන්ට මෙන් ඉහළ ප්‍රචාරණය වියදමක් දැරිය හැකිද යන්න ප්‍රායෝගික ගැටලුවකි.

සැබවින්ම එය කළ නොහැක්කකි. බහුජාතික සමාගම්වල ඇති අධික ප්‍රචාරණය හේතුවෙන් නිෂ්පාදිතය ගුණාත්මක වුවත් නැතත් එය අලෙවි වීම සිදු වේ. ඒ අනුව බලන කල දේශීය නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීමේ ගැටලුව ඇතිවේ. එමෙන්ම දැඩි අලෙවිකරණ උපායමාර්ග හේතුවෙන් සමාජයේ මුල් බැසගත් දුර්මතද දේශීය නිෂ්පාදන අලෙවියේදී අවාසි සහගත ලෙස බලපා ඇත.

උදාහරණයක් ලෙස මිනිසුන් සිතා සිටින්නේ හොඳට පෙණ එනවා නම් එය හොඳ සබන් හෝ සේදුම්කාරකයක් කියාය. එබැවින් හොඳට පෙණ එන සේදුම්කාරක සහ සබන් මිලදී ගැනීමට පාරිභෝගිකයා කටයුතු කරයි. එයට ආකර්ෂණීය ප්‍රචාරණයද බලපායි. එවිට දේශීය සබන් සහ සේදුම්කාරකවල හොඳට පෙණ නැතිනම් එය පාරිභෝගිකයා මිලට නොගනියි. අලෙවිය අවම නිසා වෙළෙඳසල්වලින්ද එම නිෂ්පාදන ප්‍රතික්ෂේප කරයි. එවිට සිදුවන්නේ කර්මාන්තකරුවා අධෛර්යයට පත්වීමයි. එපමණක් නොව

වෙළෙඳසැල් මඟින්ද දේශීය නිෂ්පාදන සඳහා ලබාදෙන්නේ කුඩම්මාගේ සැලකිලිය. එම නිසා ස්වයං රැකියාවක නිරත වන පුද්ගලයන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා දීම මෙරට පාලකයාගේ වගකීමක් වන අතර දේශීය නිෂ්පාදන අගය කරමින් ඒවාට නිසිතැන ලබාදීම සහ ඔවුන්ව දිරිමත් කිරීම මෙරට සමස්ත පාරිභෝගික වගකීමක් සහ යුතුකමක් වන්නේය. මෙරට රාජ්‍ය අංශය සතුව බොහෝමයක් ආයතන ඇත.

එම ආයතනවල සුබසාධන වෙළෙඳපොළවල්ද ඇත. මෙවැනි ස්ථානවල අලෙවි කිරීම සඳහා දේශීය නිෂ්පාදකයාට අවස්ථාව උදාකර දීමට රජයට කටයුතු කළ හැකිය. එමෙන්ම මෙහිදී අතරමැදියන් සිදුකරන ගසාකෑම්ද වළක්වා ගැනීම වඩාත් සුදුසුය. එමෙන්ම දේශීය නිෂ්පාදන අලෙවි කර ගැනීමට වෙළෙඳපොළරට පුරා ස්ථාපිත කිරීම සහ රාජ්‍ය සහ මාධ්‍ය මඟින් මොවුන්ගේ ප්‍රචාරණයට යම් පහසුවක් සලසාදීමද යෝජනා කරමි. සමාජයක් ලෙස අප ආකල්පයමය වශයෙන් වෙනස් නොවී, ආර්ථිකයක් හෝ රටක් ගොඩ දැමීමට නොහැකිය.

විවෘත වෙළෙඳපොළ මඟින් කෙතරම් භාණ්ඩ හා සේවා මෙරට වෙළෙඳපොළට ඇතුළු වුවත් ඒවාට කෙතරම් ඉහළ ආකර්ෂණීය ප්‍රචාරණයක් ලබාදුන්නද විචාරශීලී පාරිභෝගිකයෙක් ලෙස සහ පුරවැසියෙක් විදිහට අප දේශීය දේ අගය කරනවා නම් සහ ඒවා මිලට ගන්නවා නම් අගනේය. මන්ද එය ඍජුව රටේ ආර්ථිකයට බලපාන අතර එමඟින් දේශීය කර්මාන්තකරුවාද දියුණු වේ. අඩුම මිල, හොඳම ගුණාත්මකභාවය සහ කාර්යක්ෂම සේවාව යන වෙළෙඳාමේ යොදාගන්නා කරුණු සැලකිල්ලට ගනිමින් දේශීය කර්මාන්තකරුවාද ක්‍රියා කළ යුතුය. මන්ද එය ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා ඍජුව දායක වන නිසාවෙනි.

දුමිදු ලංකා බණ්ඩාර

බන්දුල මීමනගේ

බීස් එන්ටප්‍රයිස්

10, සර්කියුලර් පාර

ගල්කිස්ස