එජාප මන්ත්‍රින්ට නාමයෝජනා ගන්න වෙන්නේ නෙළුම් මාවතේ කපුටෙකුගෙන්

0
41

එක්සත් ජාතික පක්ෂයේ නොමඟ ගිය පළාත් පාලන මන්ත්‍රිවරුන්ටද අනාගතයේදී නාමයෝජනා ගන්නට සිදුවන්නේ නෙළුම් මාවතේ කපුටෙකුගෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

එජාපයේ ඇතැමුන්ට මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් වැඳ වැටෙමින් තම තමන්ගේ දුක කියන්නට සිදුවී ඇති බවත්, වර්තමාන ජනාධිපතිවරයා යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අත්වී ඇති ඉරණම කනගාටුදායක බවත්  විපක්ෂ නායකයා සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු ඊයේ (18දා) මෙසේ කීය.

මේ වන විට මුළුමහත් ජාත්‍යන්තරයෙන්ම ආණ්ඩුවට අනතුර එල්ල වී ඇති අතර ඉන්දියාව ආධාර නැවත ලබා නොදෙන බව පවසා ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වනතුරු කිසිදු සහායක් නොදෙන බවට ජාත්‍යන්තර සංවිධාන පවසා ඇති බවද ඔහු  පැවැසීය. රට ගොඩනැඟිය හැක්කේ මානුෂීය ධනවාදය තුළින් බවත්,  සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් කැප වන බවත්, විපක්ෂ නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිර්මාණි ගුනරත්න