ආහාර අර්බුදයට රාජ්‍ය නිලධාරීනුත් වගකිව යුතුයි

0
55

ආහාර අර්බුදයක් නිර්මාණය වීමට රාජ්‍ය නිලධාරීන්ද වගකිව යුතු යැයිද එනිසා ඊට විසඳුම් සෙවීමේදී ඔවුන්ට විශාල වගකීමක් ඇතැයිද ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට සමගාමීව, ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගිය 16දා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති අවස්ථාවේදී ඔහු මේ බව කීය.

ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී, ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම හා එහිදී මතුවන ගැටලු හා ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා විය.

එළැඹෙන සතිය ඇතුළත ගෙයින් ගෙට ගොස් මේ සම්බන්ධයෙන් අවශ්‍ය දත්ත රැස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසත් අවශ්‍ය නම් මාර්ගගත (Online) තාක්ෂණය ඔස්සේ එය සිදු කිරීමේ හැකියාවත් නිලධාරීන්ට පෙන්වා දුන් සුරේන් බටගොඩ මහතා ආහාර නොමැති අයට ආහාර ලබාදීමේ ප්‍රමුඛ කාර්ය අරමුණු කරගෙන මෙම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දුන්නේය.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර පිහිටුවීම සම්බන්ධව ඇතිවන මූලික ගැටලු, වගාවන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොමැතිකම, බීජ හිඟතාව, කෘෂි යන්ත්‍රෝපකරණ  ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම, පළිබෝධනාශක හිඟතාවය, වගාවන් සඳහා සතුන්ගෙන් වන හානි සහ අතිරික්ත අස්වැන්න අලෙවි කර ගැනීමට පවතින දුෂ්කරතාවයන් ආදී ගොවි ගැටලු රැසක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට මේවන විටත් පියවර ගෙන ඇති බවත්, පොහොර සහ කෘමිනාශක ආනයනයට කටයුතු කර තිබෙන අතර, ඉන්ධන සදහා QR කෝඩ් යටතේ ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවත් ආචාර්ය සුරේන් බටගොඩ පෙන්වා දුන්නේය.

දේශීය වශයෙන් හිඟ බීජ වර්ග ආනයනය කිරීමට කටයුතු කරන බවත්, මෙම වැඩසටහන යටතේ පිහිටුවනු ලබන ජාතික පුනර්ජීවන කේන්ද්‍ර සියල්ල ඒකාබද්ධ කිරීම හරහා අතිරික්ත නිෂ්පාදන, උෟනතාවයෙන් පෙළෙන ආර්ථික පුනර්ජීවන කේන්ද්‍රවලට සාධාරණ මිලකට අලෙවි කිරීමට අවස්ථාවක් ලබාදෙන බවත් ඒ මහතා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය සුරේන් බටගොඩ මහතා “පසුගිය යල කන්නය සහ මහ කන්නය සාර්ථක නොවීමෙන් රටේ ආහාර අර්බුදයක් ඇති වී තිබෙනවා. රටේ ආහාර හිඟතාව නිසා 60%ක් පමණ ජනතාව ආහාර ගන්න ප්‍රමාණය අඩු කර ඇති බවට දත්ත වාර්තා වෙනවා. අඩු ආදායම්ලාභීන්ට ආහාර ලබාදීම අපේ ප්‍රමුඛ වැඩසටහනක් වන්නේ ඒ නිසයි.

ජනාධිපතිතුමා අපට උපදෙස් ලබාදී තිබෙන්නේ කිසිම කෙනෙක් කුසගින්නේ තබන්න එපා කියලා. ඒ නිසා අපි ප්‍රජා මුළුතැන්ගෙය කියන වැඩසටහන හරහා ආහාර නැති අයට ආහාර ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ගෘහ ඒකක ශක්තිමත් කිරීමටත්, ඉදිරි මහ කන්නයේදී වගා සැලසුම් ක්‍රියාත්මක කිරීමට දත්ත රැස් කිරීමටත් මෙමඟින් බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති අතිරේක ලේකම්වරුන් වන එල්.පී. ජයම්පති, ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන, ආහාර සුරක්ෂිත සහ පෝෂණ කමිටුවේ අධ්‍යක්ෂවරුන් වන යසන්තා මුණසිංහ, පී.එම්.එස්. ජයතිලක යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.