ආබාධිතයන්ට රාජ්‍ය ආයතනවල පහසුකම් නෑ

0
7

ආබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතනවලට බාධාවකින් තොරව ප්‍රවේශවීමේ පහසුකම් සැපයීමට අනිවාර්ය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී වසර 13ක් ගතවී ඇතත් රජයේ ආයතන එය සතපහකට මායිම් නොකොට ක්‍රියා කරන්නේ යැයි අයිෆෙස් ශ්‍රී ලංකා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නීතිඥ ලසන්ති දස්කොන් ‘මව්බිම’ට පැවැසුවාය.

අඩුම තරමින් එකී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ගරු කරමින් මෙරට අධිකරණවල ප්‍රවේශ පහසුකම් පුළුල් කිරීමටවත් රජය කටයුතු කර නැතැයි නීතිඥ දස්කොන් චෝදනා කළාය. ඒ අනුව තවමත් ආබාධ සහිත පුද්ගලයන්ට සිය අධිකරණ කටයුතු සඳහා අධිකරණ පරිශ්‍රවලට පිවිසීමට සිදුව තිබෙන්නේ දහසක් බාධා මධ්‍යයේ යැයි ආබාධ සහිත පුද්ගලයන්ගේ හිමිකම් සම්බන්ධයෙන් කොළඹ පැවැති වැඩමුඵවක් අමතමින් ඇය කීවාය.

මෙම තීන්දුව ලැබුණේ ආබාධිත පුද්ගල අයිතිවාසිකම් වෙනුවෙන් කලක් තිස්සේ මැදිහත්වීම් කරන ආචාර්ය අජිත් සී. පෙරේරා 2009 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුවකට අදාළවය. ඒ අනුව අලුතින් ඉදිකෙරෙන රජයේ ගොඩනැඟිලිවල ප්‍රවේශ පහසුකම් සැපයීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැරැණි රාජ්‍ය ගොඩනැඟිලිද නිශ්චිත කාලයක් තුළ වෙනස්කම් කළ යුතු බවද අවධාරණය කළේය.

කෙසේ වෙතත් රජයේ ගොඩනැඟිලි, ප්‍රසිද්ධ ස්ථාන හා සේවාවන් සහිත ස්ථාන ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ විය හැකි ආකාරයට සකස් කරනු පිණිස 2006.10.17 හා අංක 1467/15 දරන අති විශේෂ ගැසට් නිවේදනය හා එය සංශෝධනය කරමින් නිකුත් කර ඇති අංක 1619/24 හා 2009.09.18 දින දරන අති විශේෂ ගැසට් නිවේදනය වර්තමානයේ පවතින තත්ත්වයන්ට ගැළපෙන පරිදි නැවත සකස් කිරීමට කටයුතු කර ඇති බව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාල වෙබ් අඩවියේ දැක්වේ.

අදාළ ක්‍ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් හරහා සංශෝධන සිදුකළ අතර කමිටුවේ අවසාන නිරීක්ෂණ සිදු කර 2021 වසරේදී රෙගුලාසි ගැසට්පත්‍රය පළකිරීමට කටයුතු කරන්නේ යැයිද එහි වැඩිදුරටත් සඳහන් වේ. 

බිඟුන් මේනක ගමගේ