අම්බලන්ගොඩ ගෙයක් බිඳ ලක්‍ෂ 68ක රන්බඩු සොරාගත් අයියා මලෝ අත්අඩංගුවේ

0
12

අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් අම්බලන්ගොඩ පරණ පාරේ නිවෙසක් බිඳ රුපියල් ලක්‍ෂ 02ක මුදල් හා රුපියල් ලක්‍ෂ 68ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනකු සහ සොරා ගන්නා ලද රන් ආභරණ පෙරේදා (17දා) සොයාගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා සොහොයුරන් වන අතර එක් අයකු පුත්තලම වනාතවිල්ලුවේ නොම්මර 13 කණුව මිදිවත්ත පාර පදිංචිකරුවෙකි. එම සැකකරු සමඟ රන් භාණ්ඩ පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් සැකකරු අම්බලන්ගොඩ, කුලීගොඩ, කරුණාගම පදිංචිකරුවෙකි.

පළමු සැකකරු ළඟ නිවෙසේ මෙම රන් භාණ්ඩ කොටසක් තිබී පොලිසිය සොයාගෙන ඇති අතර අනෙක් රන් භාණ්ඩ පුත්තලම ප්‍රදේශයේ බැංකු කිහිපයක හා උකස් කඩයක උකස් තබා තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි.

සැකකරුගේ සොහොයුරා විසින් අනෙක් භාණ්ඩ හික්කඩුව ප්‍රදේශයේ පෞද්ගලික උකස් කඩයක උකස් තබා තිබියදී සොයාගෙන ඇත.

නිවැසියන් නිවෙස වසා දමා මළ ගෙදරක ගොස් සිටියදී ඊට ඇතුළුවී මෙම සොරකම කර ඇති අතර සොරකම වූ ස්ථානයේ වූ සී.සී.ටී.වී. කැමරා දත්ත මඟින් ප්‍රධාන සැකකරු සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය කියයි. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය අනෙක් සැකකරු හා රන් භාණ්ඩ සොයාගෙන තිබේ.

ඇල්පිටිය ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලීලවංශ මහතාගේ උපදෙස් පරිදි අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි යූ. ඒ. අමරසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පී. එන්. කේ. විතානගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී. එම්. ඉරාන්, උප පොලිස් පරීක්‍ෂක සෝමසිරි, පොලිස් සැරයන්වරුන් වන පුංචිහේවා (27067), අමරසිරි (3164), පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රේමතිලක (72692), විජේසූරිය (92570), දිල්රුක්‍ෂි (10537), ශානිකා (7920) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

සැකකරුවන් බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඇල්පිටිය – ගයාන් ගුණසේකර