අමරවීර කියන විධියට කළොත් හාල් කිලෝව 300ක් වේවි

0
10

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන පරිදි ආනයනික සහල් කුකුළු කෑම සඳහා යොදා ගතහොත් ලබන මාසයේදී සහල් කිලෝවක් රුපියල් 300ක් දක්වා මිල ඉහළ යෑමට ඉඩ ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා ප්‍රකාශ කළේය.

එන එන ඇමැතිවරයාට ‘යර්ස් සර්’ කියන නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයේද සිටින බවත් ආනයනික සහල් කුකුළන්ට කැවීමේ යෝජනාව එම නිලධාරීන් විසින් කෘෂිකර්ම ඇමැතිවරයා දී ඇති ලණුවක් බවත් සභාපතිවරයා පැවැසීය.

මුදිත පෙරේරා මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුවේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, ආනයනික සහල් ගෙන්වීමට වැට බැඳීමේ උත්සාහය තුළ ඇත්තේ දේශීය සහල් මාෆියාව යළි හිස එසවීමක් බවය.

ඇමැතිවරුන් හා ටයි පලඳින නිලධාරීන් දෙන ලණු කන්නට එපා යැයි ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටින බව පෙරේරා මහතා කියා සිටියේය.

එසේ නොවුණොත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අත් වූ ඉරණමම ජනාධිපතිවරයාටද අත්විය හැකි යැයි  හෙතෙම සඳහන් කළේය.

ආනයනික සහල් මිලදී ගන්නේ දේශීය සහල් මිලදී  ගන්නට අත මිට නැති ජනතාව බවත් වගකීම් විරහිත ප්‍රකාශවලින් වළකින්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවත් කී ඔහු අමාත්‍යාංශ ප්‍රශ්න ජනතාවට පලක් නොවන බැවින් එක් මේසයකට පැමිණ ඒවා විසඳා ගන්නැයි ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද කීය.

විනීතා එම්. ගමගේ