අප්‍රිකාවත් පරාජය කළ ශ්‍රී ලංකාව ලකුණු සටහනේ පෙරමුණටම

0
6

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් ලෙජන්ඩ්ස්’ විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරගයකදී දකුණු අප්‍රිකානුවන් ලකුණු 11කින් පරාජය කළ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්විය.

ඒ අනුව මෙම තරගයේ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 6කට ලැබූ ලකුණු 165ට පිළිතුර සැපයූ දකුණු අප්‍රිකානුවන්ට ලබාගැනීමට හැකි වූයේ කඩුලු 6කට ලකුණු 154ක් පමණි.

ශ්‍රී ලංකාවෙන් එල්ල වූ අභියෝගයට පිළිතුරු සැපයීමට පිටියට පිවිසි අප්‍රිකානු ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සබඳතාවක් එක්කළ මෝර්නි වැන් වැක් සහ ඇල්විරෝ පීටර්සන් අප්‍රිකානුවන්ගේ ජයග්‍රහණයට අවශ්‍ය වටපිටාව සකස් කලද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ දකුණු අප්‍රිකානුවන් අමාරුවේ වැටිණි.

එහිදී පන්දු 56කට මුහුණ දී හතරේ පහර 4ක් හා හයේ පහර 6ක් සමඟින් මෝර්නි ලකුණු 76ක් ලබාගත්තේය.

කෙසේ වෙතත් ද. අප්‍රිකානුවන්ගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක ඩිල්ෂාන් (01) මුලු ලකුණු සංඛ්‍යාව 2දී දැවී ගියද ඩිල්ෂාන් මුණවීරට එකතු වූ උපුල් තරංග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සබඳතාවක් එක් කළේය. 

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුණවීර ලකුණු 26ක්, උපුල් තරංග ලකුණු 36ක්, අසේල ගුණරත්න ලකුණු 25ක් හා චාමර සිල්වා ලකුණු 18ක් ලබාගනිද්දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජීවන් මෙන්ඩිස් පන්දු 27කදී හතරේ පහර 5ක් හා හයේ පහර දෙකක්ද සමඟින් නොදැවී ලකුණු 43ක් ලබාගත්තේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව (පන්දුවාර 20කදී කඩුලු 6කට) 165 (ජීවන් මෙන්ඩිස් නොදැවී 43, උපුල් තරංග 36, ඩිල්ෂාන් මුණවීර 26, අසේල ගුණරත්න 25, චාමර සිල්වා 18, ඉසුරු උදාන 06)

ද. අප්‍රිකාව (පන්දුවාර 20කදී කඩුලු 6කට) 154 (මෝර්නි වැන් වැක් 76, ඇල්විරෝ පීටර්සන් 22, කුලසේකර 2/33, උදාන 1/20, ඩිල්ෂාන් 1/24, ජීවන් මෙන්ඩිස් 1/18)