අනතුරුදායක ජීවිතාරක්ෂක වෘත්තිය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු නොවීම කනගාටුවක්

0
8

අනතුරුදායක ජීවිතාරක්ෂක වෘත්තිය පිළිබඳව රටේ ජනතාවගේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක්. තමන්ගේ  ජීවිතය ගැන නොතකා අනෙකාගේ ජීවිතය බේරාගැනීමට දිය රකුසා සමඟ සටන් කිරීමට යන මේ නිලධාරීන්ගේ කැපවීම පිළිබඳව මීට වඩා සමාජයේ අවධානය යොමු විය යුතුයි. කොළඹ නාවික කොට්ඨාසයේ  අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඩී.ඩී. පතිරණ මහතා පසුගියදා කොළඹ වරායේ නාවික කොට්ඨාසයේදී  පැවැති  වැඩමුළුවකදී  පැවැසීය.

 දිවයින පුරා පිහිටි ප්‍රධාන මධ්‍යස්ථාන 34ක රාජකාරියේ නිරත ජීවිතාරක්ෂක නිලධාරීන් මෙම වැඩමුළුවට එක්ව සිටි අතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඔවුන් වෙත පැවරී ඇති වගකීම යළි මතකයට එක්  කරමින් මෙසේද පැවැසීය.

 “නාවික, ජීවිතාරක්ෂක සහ  ආපදා යන අංශ තුනක් ඔබ නියෝජනය කරනවා. ජීවිතාරක්ෂක නිලධාරීන් ලෙස සේවයේ නිරත ඔබට පැවරී ඇති වගකීම විශාලයි. පසුගියදා මාතර නිල්වලා ගඟේදී වටිනා තරුණ ජීවිත හතරක් රටට අහිමි වුණා. එවැනි අනතුරුදායක ස්ථාන පිළිබඳව ස්ථාන භාර නිලධාරීන් අවධානයෙන්  සිටිය යුතුයි. දියේ ගිලී මියයන ජීවිතයක් බේරා ගැනීම විශාල කුසලයක්. ඒ වගේම වගකීමක්.

ඔබට ගැටලු රාශියක් තිබුණත් ඔබ කරන සේවය තුළින් සමාජයට ඉටුවෙන යහපත ගැන සිතා  නිරතුරුවම තමන්ට පැවරී ඇති රාජකාරිය අකුරට ඉටු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. දියේ ගිලුණු අයකුගේ හෝ කිහිපදෙනකුගේ ජීවිතය බේරා ගැනීමේ වගකීම ඔබට පැවරුණු විට අධිෂ්ඨාන කරගත යුතු වන්නේ දියෙන් ගොඩට මෘත දේහයක් නොව පණ ඇති පුද්ගලයකු ගෙන ඒමයි.

ලංකාව පුරා ස්ථාන තිස්හතරක අපේ පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් මහ සාගරය, ඇළ, ‍ෙදාළ, ගංගා ආශි්‍රතව  සේවයේ නිරත වෙනවා. නමුත් මේ අසීරු සේවයේ නිරත නිලධාරීන් පිළිබඳව සමාජයේ දැනුවත්වීම මදි බවයි මගේ හැඟීම. දියේ ගිලෙන ජීවිත විතරක් නෙවි මේ නිලධාරීන් මුහුදෙන් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය වැටලීම් මෙන්ම සමහර අපරාධකරුවන් අපරාධ කිරීමට යොදාගත් අවිආයුධ ගඟට, මුහුදට විසිකර අපරාධය ගංපතුලේ සැඟවීමට උත්සාහ කරනවා. එවැනි අවිආයුධ සාගර පතුලට කිමිඳී සොයාගෙන එන්නේ ඔබයි.

ඇත්තෙන්ම මෙය වචනයෙන් විස්තර කළ නොහැකි ගෞරවනීය සේවයක්. අපට මේ වන විට බෝට්ටු විසිඑකක්, ත්‍රිරෝද  රථ හතක් තියෙනවා. ශ්‍රී  ලංකාවේ තියෙන පැරණිම ජිවිතාරක්ෂක අංශය මෙයයි. මෙම ජීවිතාරක්ෂක සේවයේ ආරම්භය 1920 වසරේ ඒ. ජන්සන් නමැති පොලිස් අධිකාරිවරයෙක්ගේ අදහසකට අනුව ආරම්භ කරලා තියෙන්නේ. ඉන් පසුව 1998/5/22 වැනිදා තමයි නාවික කොට්ඨාසය ආරම්භ කර ඇත්තේ.

දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වටිනා සේවයක් කඩාකප්පල්වීමට කිසිසේත්ම  ඉඩනොදී මෙය රැකගැනීමට කවුරුත් එක්විය යුතුයි. පළපුරුදු අතිදක්ෂ පිහිනුම් ශූරයන් අපේ කණ්ඩායමේ ඉන්නවා. සාර්ථක කිමිඳුම්කරුවකුවීමට නම් වාර විස්සක්වත් ගැඹුරු දියට බැස තිබිය යුතුයි. පරිණත වීමට නම් පිහිනුම් වාර ගණන වැඩි විය යුතුයි. දිය අනතුරු වැළැක්වීම, ගංගා, ඇළ, ‍ෙදාළ ආශි්‍රතව කිඹුලන් සිටින ස්ථාන පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, පාසල් මට්ටමින් දරුවන් දිය රකුසා පිළිබඳව දැනුවත් කිරීමේ දේශන පවත්වන්න. ඔවුන්ට පුහුණුවක් ලබාදීම ඔබට ස්වේච්ඡාවෙන්ම කළ හැකි සේවාවන්. තමන් නිරත වන වෘත්තිය පිළිබඳව ප්‍රසන්න හැඟීමෙන් යුතුව සිතීමට පුරුදු වන්න” එතුමා සහෝදර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

මහ සයුරින් වටවූ ශ්‍රී  ලංකාවේ පිහිටීම සහ  ගංගා, ඇළ ‍ෙදාළ සම්බන්ධයෙන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සහ ජීවිතාරක්ෂක ක්‍රමවේද පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් අත්දැකීම් බහුල නිලධාරියකු වන ඩබ්ලිව්.පී.එල්. මිලාන් මහතා වැඩමුළුව අර්ථවත් කරමින් ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවට නාවික කොට්ඨාසය නියෝජනය කරමින් සහකා‍ර පොලිස් අධිකාරිවරුන් වන යූ.ජී. සෙනෙවිරත්න, නිරෝෂ් ධර්මරත්න යන මහත්වරුද, ස්ථානාධිපතිවරුද එක්ව සිටියහ.

කැලණිය – කුසුම් එස්. හැන්නදි