නන්මඩෝල් සුළි කුණාටුවෙන් නිරිතදිග ජපානය කැළඹෙයි (VIDEO)

0
570

නන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් නිරිතදිග ජපානයේ දහස් ගණනක ජනතාව අද (සැප්. 18) තාවකාලිකව ආරක්‍ෂිත කඳවුරුවලට යොමු වී ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රචණ්ඩ සුළං සහ කුණාටු ඇති වීම සම්බන්ධයෙන් එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරිතදිග ජපානයේ දකුණු කියුෂු දූපතේ කගොෂිමා ප්‍රාන්තයට මේ වන විට හදිසි අනතුරු ඇඟවීමක් ද නිකුත් කරනු ලැබ තිබේ.

මෙම ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් මිලියන 3ක් පමණ ජනතාවට තමන්ගේ නිවෙස්වලින් ඉවත් වන ලෙසට අදාළ නිලධාරීන් දැනුම් දී ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.

අද සිට සඳුදා උදෑසන දක්වා ගත වන පැය 24ක කාලය තුළ දකුණු කියුෂු දූපතට මිලිමීටර් 600ක වර්ෂාපතනයක් ලැබිය හැකි බවට ද අනතුරු අඟවා තිබේ.

බලධාරීන් සඳහන් කර ඇත්තේ, සුළඟේ වේගය ද පැයට කිලෝමීටර 180ක් දක්වා ඉහළ යා හැකි බව ත් ය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජපානයේ ගුවන් තොටුපළවල ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබේ.

අද (සැප්. 18) පෙරවරුවේ ජපන් එයාර්ලයින්ස් සහ ඕල් නිපොන් එයාර්වේස් ගුවන් ගමන් 500කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට තීරණය කර ඇති අතර අනෙකුත් ගුවන් සමාගම් සිය සේවා නතර කර ඇත.

අද පෙරවරු 9.00ට සුළි කුණාටුව යකුෂිමා දූපතට කිලෝමීටර් 80ක් ගිනිකොන දෙසින් තිබී ඇති අතර එය පැයට කිලෝමීටර් 252ක වේගයෙන් හමා ආ බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබේ.