ZOMBie ප්‍රහාරයක් අත ළඟද?

0
576

‘ජීවත් වන්නන්ට වධ දීමට පොළොවේ සැරිසරන ආත්මයන්’ සොම්බි නම් වේ. zombie Attack එකක් කියලා කියන්නේ මොකක්ද? සොම්බි කියන්නේ කොයි විධියේ සත්තු කොට්ඨාසයක්ද කියලා Dawn of the dead, Night of the living dead, The walking dead, Zombie and zombie 2 වගේ චිත්‍රපට බලලා තිබෙන අයට නම් ඕනෑවටත් වඩා හොඳ අදහසක් ඇති කියලා හිතනවා. ඇත්තටම ඇමරිකාව ඇතුළු ලෝක බලවත් රාජ්‍යයන් කිහිපයක්ම මේ වනවිටත් අනාගතයේදී මුහුණදීමට සිදුවන සොම්බි ඇටෑක් එකක් ගැන අදහස් ඉදිරිපත් කරලා තිබෙනවා. අදහස් ඉදිරිපත් කරලා පමණක් නොවේ එවැනි අවස්ථාවක් සඳහා සූදානම් වන ආකාරය ගැනත් හිතලා තිබෙනවා.

බොහොමයක් විද්‍යා ප්‍රබන්ධයන් තුළ සොම්බි ඇටෑක් සහ එවැනි සොම්බි ඇටෑක් එකකදී එයට ශක්තිමත්ව මුහුණදෙන මිනිසුන් හෝ මිනිස් කණ්ඩායම් ගැන චිත්‍රපට, බම ඵඥඪපඥඵ, පොත්, වීඩියෝ ගේම් නිර්මාණය කරලා තිබෙනවා. විද්‍යා ප්‍රබන්ධයක් කියන්නේ දැනට නොතිබෙන නමුත් අනාගතයේ ඇති විය හැකි යැයි උපකල්පනය කරන කතා කියලා අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඉන්තේරුවෙන්ම වෙනවා කියලා කියන්න බැරිවුණත් වෙන්න පුළුවන් දෙයක් විධියට සොම්බි ඇටෑක් එකක් හඳුන්වන්න පුළුවන්. අවදානමට පෙර සූදානම හොඳයි කියලා පැරැණි කතාවකුත් තියෙන නිසා කෝකටත් අපි සොම්බි ඇටෑක් එකක් පැමිණියහොත් එයට මුහුණදීමට සූදානම් වී සිටීම නුවණට හුරුයි.

මම මෙහෙම කිව්වා කියලා කවුරුත් අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද දෙයියන්ගෙ පිහිටෙන් අද හෙටම ඒ වගේ සොම්බි ඇටෑක් එකක් එන්නේ නැහැ කියලා මට සහසුද්දෙන්ම කියන්න පුළුවන්. හැබැයි අපේ අවාසනාවකට එහෙම එකක් ආවොත්, ධනවත් රටවල් ලංකාව කනත්තක් විධියට නම් භාවිත කරයි. මොකද සොම්බියෙක් ලංකාවට ආවොත් උගෙන් බේරිලා යන්න අපිට වාහනයකට තෙල් ටිකක්වත් ගහගන්න විධියක් නැහැනේ. හරි වැඩි කතා ඕනෑ නැහැ අපි බහිමු වැඩේට. වැඩේට කිව්වේ සොම්බි කියන්නේ කවුද? උන් බිහිවෙන්නේ කොහොමද සහ උන්ගෙන් බේරෙන්නේ කොහොමද කියලා දැනගැනීම තමයි අපේ වැඩේ වෙන්නේ.

සොම්බි කියන්නේ මළසිරුරක් නැවත පණ ගැන්වීම හරහා නිර්මාණය කරන ලද නොමළ කායික පුනර්ජීවනයක් කියලා කියන්න පුළුවන්. සොම්බි සංකල්පය මුලින්ම කතාබහට ලක්වෙන්නේ මායාමය සංකල්ප තුළින්. එය විද්‍යා ප්‍රබන්ධයක් බවට හැරෙන්නේ මායා සංකල්පය බිහිවෙලා බොහෝ කලක් ගියාට පසුවයි. Zombie යන ඉංග්‍රීසි වචනය ප්‍රථම වරට බ්‍රසීලයේ ඉතිහාසය තුළ රොබට් සවුති විසින් zombi ආකාරයෙන් සටහන් කර තියෙනවා. එය පෘතුගීසි ශබ්දකෝෂයට අනුව nzumbi ලෙස සඳහන් කරනවා. එහි තේරුම ‘ආත්මයයි‘. පසුකාලීනව එය නිර්වචනය කරන්නේ ‘ජීවත්වන්නන්ට වධ දීමට පොළොවේ සැරිසරන ආත්මයන්’ ලෙසයි. මම මුලින්ම පැවසුවේ  සොම්බින්ගේ නිර්වචනයයි.

සොම්බින්ගේ කතාව පසුපස සැඟවුණු මිථ්‍යා විශ්වාසයන් වගේම යම්තාක් දුරට සැඟවුණු  දේශපාලන පසුබිමකුත් තිබෙනවා.

දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හයිටිය වැනි රටවල් ගැන මෙහිදී කතා කරන්නට අවශ්‍ය වෙනවා. සොම්බි යනු ආත්මය හෝ අවතාරය යන අදහස ගෙන දෙන්නක් බව මෙම රාජ්‍යයන් විශ්වාස කරනවා. ඉතා අෑත අතීතයේ සුදු ජාතිකයන්ගේ වහලුන් විධියට කළු මිනිස්සු ‍යොදා ගත්තා කියලා අපි දන්නවනේ. ඉතින් මේ වහල් වෙළෙඳාමේදී ඇතැම් නිරෝගී කළු ජාතිකයන්ට යම්කිසි ඔෟෂධයක් ලබාදීලා හෝ බලවත් මායාකර්මයක් සිදුකරලා හෝ මෝහනය කරලා මියයෑමට ආසන්න තත්ත්වයකට පත්කරලා සිරුර වළදානවා. අපේ විධියට පැවැසුවහොත් එලොව යවලා ආයෙත් මෙලොවට ගෙන්වනවා.

එතැනදී මේ වළට දාන පුද්ගලයාගේ මොළයට ඔක්සිජන් ප්‍රවාහනය වෙන්නේ නැහැ. එම නිසා මොළය අකර්මණ්‍ය වෙනවා. ඉන්පසුව ගොඩට අරගන්න පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ කාගෙ හරි විදානයකට පමණයි. ඒ වගේම ඔවුන්ගේ මනසත් ව්‍යාකූල වෙනවා. එම නිසා මොළය ශෝධනය (brain wash) කරවනවා. ඉන්පසුව ඔවුන් රොබෝවරු වගේ තමයි. වැඩකරන්නේ විදානවලට පමණයි. එවැනි අය වහල් සේවයේ යොදවලා  තිබෙනවා. විශේෂයෙන් උක් වගා බිම්වල සේවය කිරීමට සහ වැඩබිම්වලට මෙම මිනිස් නොවන මිනිස් වහල්ලුන් යොදවා ඔවුන්ගෙන් වැඩ ගත්තා.

ඒ වගේම සොම්බි ගැන තවත් මතයක් තිබෙනවා. Tetrodotoxin, puffer විස මත පදනම් වූ ඔෟෂධයක් වන coup de foudre කෙනකුට ලබාදීමෙන් සොම්බි කෙනකු නිර්මාණය කරන්නට පුළුවන් කියලා ඇතැමුන් පවසනවා. මෙය බරපතළ ස්නායු රෝග ඇතිකරවන අතර එමඟින් මොළයේ වම් පැත්තට දරුණු බලපෑම් ඇති කරනවා. අපි කවුරුත් දන්නවනේ අපේ තර්කනය, මතකය, කථනය, ගණිතය වගේ දේවල් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ මොළයේ වම්  පැත්තෙන් කියලා. ඉතින් මේ විස මඟින් මොළයේ වම් පැත්තට හානි ගෙනදීම නිසා එම පුද්ගලයා සොම්බියෙක් වගේ වෙනවා කියලයි සලකන්නේ. කොහොම නමුත් මෙම සොම්බින් ඔබ චිත්‍රපට එහෙම නැත්නම් වීඩියෝ ගේම්වල දැකලා තියෙනවා වගේ මිනිස්සු මරාගෙන කන හෝ මිනිස්සුන්ගේ ලේ උරාගෙන බොන ජාතියේ එවුන් නම් නෙවෙයි.

මේ අය පෙනුමෙන් ව්‍යාකූල වුණත් විදානයක් ලැබෙනකල් කාටවත් කිසිම හානියක් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම මේ අය බොහෝවිට යොදාගත්තේ බර වැඩ කිරීම සඳහායි.

නමුත් මිථ්‍යාවක් එහෙම නැත්නම් මායා යථාර්ථවාදයෙන් මිදුණු සොම්බි ජීවීන් ගැන අදහසක් ඇමරිකාව ඇතුළු බටහිර රටවල මතුවුණා. ඔවුන් ඉතා දරුණු විරූපිකයෝ. දකින දකින නිරෝගී මිනිසුන්ගේ ඇඟට පාත්වෙලා ඔවුන්ව සපා කනවා. ඊට පස්සේ ඒ පුද්ගලයත් සොම්බියෙක් වෙනවා. කට දෙපැත්තෙන් ලේ පෙරාගෙන, කටින් මස් කෑල්ලක් හපාගෙන, අතපය නොමැතිව, ඇඟේ කෑලි එල්ලෙමින් උන් උන්මත්තකයන් වගේ පොකුරු පිටින් මිනිසාව ආක්‍රමණය කරන්න එනවා. අපි සොම්බි ඇටෑක් ෆිල්ම්ස් ඕනෑ තරම් නරඹලා තිබෙන නිසා මම කියන ස්වරූපය ඔබට මවාගන්න පුළුවන්නේ. අපි කතා කරන සොම්බියා මෙන්න මේ වගේ දරුණු එකෙක්.

එහෙම සොම්බියෙක් නිර්මාණය වෙනවා නම් වෙන්න පුළුවන් ක්‍රම සහ සොම්බි ඇටෑක් එකකදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන විද්‍යාත්මකව සකස් කළ රහස්‍ය වාර්තාවක් ඇමරිකාවේ strategic command ආයතනය විසින් නිකුත් කළා. මෙය වසර ගණනාවක් යනතුරු ඇමරිකාව ලෝකයට නිරාවරණය කළේ නැහැ. කොහොම වුණත්  පසුගිය දිනෙක මෙය ඇමරිකාව එළියට ලබාදුන්නා. CON PLAN 8888 ලෙස එම වාර්තාව නම් කරලා තිබෙනවා. ඇමරිකාව මෙම වාර්තාව නිකුත් කළේ සොම්බි ඇටෑක් එකක් ආවොත් ලෝකයම එයට මුහුණදීමට සූදානම් වෙලා සිටිය යුතු නිසයි. CON PLAN 8888 වාර්තාවට අනුව සොම්බියෙක් නිර්මාණය වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් සඳහන් කරනවා.

Pathogenic Zombies (pz)

වයිරසයකින් හෝ බැක්ටීරියාවක් ආසාදනය වීමෙන්.

විකිරණ සොම්බි (RZ)

විකිරණ සොම්බි යනු විද්‍යුත් චුම්බක හෝ අංශු විකිරණවලට අධික ලෙස නිරාවරණය වීමෙන් ඇතිවෙන්න පුළුවන් සොම්බි. න්‍යෂ්ටික බලාගාරයක් ආශ්‍රිත ප්‍රදේශයක මියගිය කුකුළන් දෙදෙනකු දවස් තුනකින් නැවත පණ ලැබීමේ එක් සිදුවීමක්ද වාර්තා වෙනවා.

අභ්‍යාවකාශ

සොම්බි (sz)

පිටසක්වළ ජීවී ක්‍රියාකාරකමක් නිසා බිහිවෙන්න පුළුවන් සොම්බි

Weapoinzed zombies (wz) ජීව අවී සොම්බි

Wz යනු ජීව අවී ලෙස යොදාගැනීමේ අරමුණින් නිර්මාණය කළ සොම්බි. මෙවැනි වූ පරීක්ෂණයක් අසාර්ථක වීමේ ප්‍රතිඵලයකින්ද සොම්බි බිහිවෙන්න පුළුවන්.

මෙම වාර්තාවට අනුව සොම්බි බිහිවෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් දක්වලා තිබුණත් මෙම ක්‍රම ප්‍රධාන වෙනවා. මම කිව්වනේ සොම්බි මිථ්‍යාවක් විධියට මුලින් විකාශනය වුණත් පසු කාලයේදී එයට විද්‍යාත්මක පැතිකඩක් ආරෝපණය වුණා කියලා. ඉහත වාර්තාව සැකසෙන්නේ එහි ප්‍රතිඵලයක් විධියටයි.

හොඳයි මම ඔබගෙන් පුංචි ප්‍රශ්නයක් අසන්නම්.   

අනාගතයේදී සොම්බි ඇටෑක් එකක් පැමිණෙයිද කියලා ඔබ පෞද්ගලිකව සිතනවද?

ඇතැමෙක් මෙහෙම පවසාවී. නැහැ. චිත්‍රපටවල පෙන්නුවට සොම්බි ඇටෑක් එකක් කවදාවත් එන්නේ නැහැ. ඒක අමූලික බොරුවක්. තවත් අයෙක් ඊට විරුද්ධ දෙයක් පවසාවි. ඔව්. සමහර විට එහෙම දෙයක් වෙන්නත් බැරි කමක් නැහැ. දැන් මොකද කරන්නේ? මම කොයි ප්‍රශ්නයටද උත්තර දෙන්නේ.

හොඳයි මම මෙහෙම කරන්නම් සොම්බි කියන්නේ මිථ්‍යාවක්, එය බොරුවක් නම් අපිට ඒ ගැන වදවෙන්න දෙයක් නැහැනේ. එය කොහොමත් සිද්ධ නොවෙන දෙයක් නිසා විසඳුමක් අවශ්‍ය නැහැ. නමුත් සොම්බි ඇටෑක් එකක් එන්න පුළුවන් කියලා හිතන අයට එහෙම එකක් ආවොත් ඒ සඳහා ඇමරිකාව සූදානම් වෙලා සිටින්නේ කොහොමද කියලා අදහසක් ලබාදෙන්නම්. ඇත්තටම මෙය මම ලබාදෙන අදහස් නම් නෙවෙයි. මේවා පවසන්නේ CONPLAN 8888 වාර්තාවයි.

Strategic command ආයතන විසින් නිකුත් කළ ඉහත වාර්තාවට අනුව සොම්බි ඇටෑක් එකකදී ක්‍රියා කළ යුතු අදියර හයක් තිබෙනවා. ඉන් පළමුවැන්න,

අදියර 0 – මූලික දෙය නැතහොත් දැන් තත්ත්වය හඳුනා ගැනීම. මේ අදියරේදී ඇමරිකාවේ සියලු හමුදා සොම්බින්ට විරුද්ධව පුහුණු කරනු ලබනවා.

අදියර 01 – මෙය හඳුනා ගන්නේ Gitter අවස්ථාව නමිනුයි. රටෙන් පළමු සොම්බියා වාර්තා වුණු පළමු අවස්ථාවේදීම එයට විරුද්ධව ක්‍රියාමාර්ග දැමීමයි. හරියට පළමු කොවිඩ් රෝගියා වාර්තා වුණාම අපි ක්‍රියා කළ ආකාරය වගෙයි.

මෙම අවස්ථාවේදී තත්ත්වය යම්තාක් දුරකට පාලනය කරන්නට පුළුවන්. නමුත් විශ්වාස කරන්න බැහැ.

අදියර 02 – දැන් තත්ත්වය නම් ටිකක් දරුණුයි. මෙම අවස්ථාවේදී ඇමරිකානු මුළු හමුදා බලයම යොදවලා දින 35ක් තුළ මෙහෙයුම අවසාන කරන්න ඕනෑ. මෙහිදී නිරෝගී මිනිසුන් දැඩි ආරක්ෂාවක් යටතේ කඳවුරුවල රඳවා තබන අතර ඔවුන්ට එළියට යන්න හෝ එළියෙන් ඇතුළට එන්න බැහැ. කඳවුර තුළදී හදිසියේ හෝ සොම්බියෙක් සපා කාපු පුද්ගලයෙක් හමුවුණොත් ඔහුට හෝ ඇයට බූම්… ඔව්. ඔව්. ඔබ අනුමාන කරන දෙය තමයි. චිත්‍රපටවල වගේ ඒ අයව ඒ මොහොතේදීම වෙඩි තබා මරා දමනවා.

අදියර 03 – මෙය මිනිසාට මුහුණ දීමට සිදුවන ශෝචනීයම තත්ත්වයක්. මෙහිදී සිදු කරන්නේ ගම් නියම් ගම් නගර සියල්ලක්ම බෝම්බ දමා විනාශ කිරීම. මේ සඳහා සියලු යුද ශක්තිය භාවිත කිරීමට ඇමරිකාව ක්‍රියා කරනවා. මෙහිදී අවම දින 40කටවත් සෑහෙන්න කෑම සහ වතුර කඳවුරුවල රැස්කර තබාගන්න ඕනෑ.

අදියර 04 – මෙහිදී සිදුකරන්නේ අදියර 02 සහ අදියර 03හි ක්‍රියා කළ ආකාරය නැවත නැවතත් සිදු කිරීම. ඒ කියන්නේ ඉතිරි වෙලා සිටින සොම්බි කුඩා කණ්ඩායම් හඹා ගොස් ඔවුන්ව විනාශ කිරීම.

අදියර 05 _ ජන ජීවිතය යථාවත් කිරීම.

දැන් ඇමරිකාවේ තිබෙන්නේ තිබුණු තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක්. සියල්ල විනාශ වී ඇති නිසා ඒ සියල්ල නැවතත් ගොඩනඟන්න සිද්ධ වෙනවා. ඉතිරි වෙලා සිටින අයගෙන් අලුත් ලෝකයක් ගොඩනඟා ජන ජීවිතය යථාවත් කිරීම තමයි මේ අදියරේදී සිද්ධ වෙන්නේ.

මෙන්න මේ විධියට තමයි සොම්බි ඇටෑක් එකක් ආවොත් ඇමරිකාව ක්‍රියාත්මක වෙන්නේ. ඇමරිකාව කියන්නේ ලොව බලවත්ම රාජ්‍යය කියලා කියන්න අපි දන්නවනේ. එවැනි බලවත් රාජ්‍යයක් නිකන්ම නිකන් ව්‍යාපෘතියකට තම රටේ ජාතික ධනය සහ සම්පත් වැය කරයි කියලා හිතන්නත් බැහැ. ඒ විතරක් නෙවෙයි එම ව්‍යාපෘතිය ලෝකයටත් හෙළි කළා. මෙම ව්‍යාපෘතිය මඟින් සොම්බි ඇටෑක් එකකදී මිනිස්සු හැසිරෙන්න ඕනෑ කොහොමද කියලත් මාර්ගෝපදේශයන් කිහිපයක් දක්වලා තිබෙනවා. සොම්බි ඇටෑක් එකකදි මුළු ලෝකයක්ම අකර්මණ්‍ය වෙනවනේ.

හිතු හිතූ විධියට එළියට යන්නවත්, විනෝද වෙන්නවත්, ආහාර ගන්නවත්, ඔෟෂධ ලබාගන්නවත් බැහැ. ඉතින් ඒ නිසා වෛද්‍ය උපකරණ, ආයුධ, අත්‍යවශ්‍ය ඔෟෂධ වර්ග කිහිපයක්, ටින් කළ ආහාර, කල්තබා ගත හැකි ආහාර, ටෙන්ට් එකක්, ලණු, ඉමේජන්සි විදුලි බල්බ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදිය කල්තියා සූදානම් කරගන්න කියලා ඇමරිකානු ජනතාවට උපදෙස් ලබාදීලා තිබෙනවා. ඒ වගේම ආත්මාර්ථකාමී වෙන්නත් ඕනෑ.

නමුත් මානුෂීය ගුණධර්ම සදහටම නැතිකර ගන්නත් එපා කියලා ඔවුන් කියනවා. ඇත්තටම සොම්බි ඇටෑක් එකක් කියන්නේ හැම පැත්තෙන්ම අති භයංකර දෙයක් විධියට හඳුන්වන්න පුළුවන්. එහිදී මිනිස්සුත් හැසිරෙන්නේ සත්තු වගේ තමයි. මොකද අපි කවුරුත් කැමැතියිනේ තත්පරයක් හරි වැඩියෙන් ජීවත් වෙන්න. ඒ නිසා ළඟම ඉන්නේ කවුරු වුණත් අවදානමක් තියෙනවා නම් ඔහුව මරා දැමීමට සිදුවෙනවා. කෑම හිඟ නිසා තමන්ගේ කුස ගැන පමණක් සිතන්න සිද්ධ වෙනවා. එතැනදී මිනිස්කම කියන්නේ පෙණ පිඬක් වගේ දෙයක් විධියට කියන්නට පුළුවන්. මේ වගේ ජවනිකා අප චිත්‍රපටවලින් ඕනෑ තරම් දැකලා තිබෙනවා. ඒ වගේ දේවල් යථාර්ථවාදී ජීවිතය තුළත් සිද්ධ කරන්න වෙනවා.

සොම්බිව අතපය කපලා, පොලුවලින් ගහලා, ගල්වලින් ගහලා, වෙඩි තියලාවත් මරන්න බැහැ. සොම්බි කෙනෙක්ව මරන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි. ඒ තමයි සොම්බිලගේ මොළය විනාශ කිරීම. ඔව්. ඔබට එහෙම තමයි සොම්බි කෙනෙක්ව මර්දනය කරන්න වෙන්නේ. එහෙම නොකර සොම්බිලට මොන දේවල් කළත් ඔවුන් අතපය කෑලි එල්ලගෙන හරි ඔබ පස්සෙන් එළවන එක නවත්තන්න බැහැ. හරියට පිස්සු බල්ලෝ වගේ. ඇත්තටම පිස්සු බල්ලෙක් කෑවමත් මිනිසෙක් සොම්බි කෙනෙක් වගේ තමයි හැසිරෙන්නේ.

රෝගියා තමන්ගේ පාලනයෙන් මිදිලා වයිරස් එකට අවශ්‍ය විදිහට කටයුතු කරන්න පටන් ගත්තවිට එය හරිම භයානක තත්ත්වයක්. කවුරු හරි සිතන්න පුළුවන් සොම්බි කියන්නේ මිථ්‍යාවක් කියලා. තවත් කෙනෙක් සිතන්න පුළුවන් විද්‍යා ප්‍රබන්ධයක් නිසා වෙන්නත් බැරි නැහැ කියලා. එහෙම තමයි.

ශිෂ්ටාචාරය දියුණු වෙන්නේ ප්‍රතිවිරෝධී අදහස් සහ ක්‍රියා තිබෙන නිසයි. අදහස් අදහස් එකට හප්පලා, එමඟින් ලැබෙන ප්‍රතිඵලය තමයි තවත් එවැනිම අදහස් ඝට්ටනයකට බීජය හදන්නේ. කොහොම වුණත් අපි විශ්වාස කරමු ඒ වගේම ප්‍රාර්ථනා කරමු කවමදාවත් සොම්බි යථාර්ථයක් වෙන්න එපා කියලා. මොකද එය තමයි මිනිහකුට මේ ආත්මයේදී මුහුණදීමට සිද්ධ වෙන ලොකුම ඛේදවාචකය.

දුමිදු ලංකා බණ්ඩාර