ශ්‍රී ලංකා නායක දසුන් ශානක ළඟ තියාගෙන ජනපති රට ගැන කී දේ

0
388

ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් ලෙස සිතනවා නම්, රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

කණ්ඩායමක් ලෙස සාමූහිකව කටයුතු කිරීම ඔවුන්ගේ ජයග්‍රහණයට ඉවහල් වු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩාවලියේ පදක්කම්ලාභින් ඇගයීම වෙනුවෙන් ඊයේ (සැප්. 16) පස්වරුවේ කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති උත්සවය අමතමිනි.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගය සංකේතවත් කරමින් ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සඳහා එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 2 බැගින් සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 2ක බැගින් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පසුගිය දා පැවැති 22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදි ශ්‍රී ලංකාව පදක්කම් 4ක් දිනා ගත්තේ ය. පැරා ක්‍රීඩා අංශයේ කවපෙත්ත විසි කිරීමේ තරගයෙන් පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගත් අතර මීටර් 100 ඉසව්වෙන් යුපුන් අබේකෝන්, කිලෝ ග්‍රෑම් 57 කාන්තා මල්ලවපොර තරගයෙන් නෙත්මි අහිංසා පෝරුතොට හා බර ඉසිලීමේ කිලෝ ග්‍රෑම් 55 බර පන්තියෙන් දිලංක ඉසුරු කුමාර ලෝකඩ පදක්කම් දිනා ගනු ලැබීය.

එම රිදී පදක්කම් ලාභියාට ක්‍රිඩා අරමුදලින් රුපියල් මිලියන 10ක් ද, ලෝකඩ පදක්කම්ලාභියෙකුට රුපියල් මිලියන 5ක් ද මෙහිදී පිරිනැමූණු අතර ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා එම මුදලින් 25%ක වටිනාකමකින් යුත් ත්‍යාග මුදලක් පිරිනැමිණි.

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංගම්වල මැදිහත්විමෙන්, ඩයලොග් ආසියාටා නිල අනුග්‍රාහකත්වයෙන් සිනමන් හොටෙල් ඇන්ඩ් රිසෝට් සත්කාරක අනුග්‍රාහකත්වයෙන් මෙම ඇගයීම් උළෙල සංවිධානය කෙරිණි.

මාතෘ භූමිය ආසියාවේ ඉහළින් ම ඔසවා තැබු සියලු ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට සිය ප්‍රණාමය පුද කළ ජනාධිපතිවරයා ක්‍රීඩාවේ ජයග්‍රහණයේ කොටසක් දේශපාලනයට ලබාගත් යුගය තමන් නිමා කළ බව ත් මෙවර 200% ක් ම ජයග්‍රහණය ඊට කැපවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලු දෙනා හිමි වන බව ත් සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ.

“අද අපි තරගවලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන ලබා දී උපහාර පුද කරනවා. පළමුවෙන් ම නෙට්බෝල් කණ්ඩායම. ගයන්ජලී අමරවංශ සමග ඒ නෙට්බෝල් කණ්ඩායම ආසියාවේ ශූරතාවය දිනා ගෙන තිබෙනවා. මම ඒ සියලු දෙනාට ස්තුතිය පුද කරන්න කැමතියි. ඔබට තිබෙන අඩුපාඩු ගැන මට දැනගන්න ලැබුණා. නැවත එසේ නොවන ලෙස අපේ යුතුකම් ඉටු කරන බව ප්‍රකාශ කරන අතර ඒ සඳහා මම ඉදිරියේ දී වගබලා ගන්නවා. යම් කිසි ක්‍රීඩාවක් සංවර්ධනය කරනවා නම් සම්පූර්ණයෙන් ම ඊට කැපවිය යුතුයි.

මීළඟට තිබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව. දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායමට මම ස්තූතිවන්ත වෙනවා. ඔවුන් මෙවර ආසියානු තරගාවලියේ ඉදිරියට පැමිණ තිබෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත ඉතිහාසය දෙස බැලූ විට මේ ජයග්‍රහණය අපට ඉතා වටිනා ජයග්‍රහණයක්.

අපේ මලල ක්‍රීඩා අංශයෙන් මේ වගේ ම අපේ ක්‍රීඩකයෝ හතර දෙනෙක් ජයග්‍රහණ සනිටුහන් කර තිබෙනවා. ඒ සියලු දෙනාට ම මම ප්‍රශංසා කරනවා.

මේ දෙස බැලූවිට අපිට කරුණු දෙකක් සඳහන් කළ හැකියි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපි පැරදුණේ ඇෆ්ගනිස්ථානයට. ඇෆ්ගනිස්තානයට පැරදුණා කියලා අපි ක්‍රීඩාවෙන් අයින් වුණේ නෑ. දසුන් එම පරාජයෙන් ප්‍රයෝජන ගත්තා. ඉදිරියට යාමට එය ශක්තියක් කරගත්තා. මෙය ක්‍රිකට් කණ්ඩායමට විතරක් නෙවෙයි, දසුන් ශ්‍රී ලංකාවට ම හොඳ උදාහරණයක් දීලා තියෙනවා.

දෙවනුව නෙට්බෝල් ක්‍රීඩාව. අපිට ලෝක ශූරතා දිනාගත හැකි බව ඔබ පෙන්වා තිබෙනවා. අපිට කිසිදු බියක් නැතිව ලෝකය සමග තරග කළ හැකියි. අපි පුරුදු වී තිබෙන්නේ ලෝකය සමග තරග කරන්න නෙවෙයි. ලෝකයේ තිබෙන නීති අපේ වාසියට වෙනස් කර ගන්න. ක්‍රිකට් නෙට්බෝල් කුමන ක්‍රීඩාවට ගියත් ලෝකයේ තියෙන ඒ නීති රීති අනුව තරග කළොත් අපට ලෝකය දිනා ගත හැකියි. ඒ විශ්වාසය ඔබ සියලු දෙනා ම ලබා දී තිබෙනවා. ඒ නිසා රට වෙනුවෙන් සියලු දෙනාට ම මම ස්තුති කරනවා. විශේෂයෙන් ම මේ ජයග්‍රහණ ඔබ සියලු දෙනාට ම හිමියි.

ඔබ සියලු දෙනා ඔබේ වගකීම උපරිමයෙන් ඉටු කර තිබෙනවා. ඔබ මේ රටින් ලැබූ අධ්‍යාපනය වැනි වරප්‍රසාද වෙනුවෙන් ණය ගෙවා ඇති බව කිව්වොත් නිවැරදියි. ඔබ මේ රට දාල ගියේ නැහැ නෑ. විශ්වාසය නැති කරගත්තේ නෑ. ඔබට අදාළ කාර්ය නිසි ලෙස ඉටු කර ගෞරවය රැගෙන නැවත මේ මේ රටට ආවා. අද වගේ අර්බුදකාරී අවස්ථාවක අපට රටෙන් ගන්න තියෙන්නෙ මොනව ද කියල හිතන්න නරකයි. අප සිතිය යුත්තේ අපෙන් රටට නැවත මොනව ද දෙන්න පුළුවන් කියලයි. එම පාඩම තමයි ඔබ මේ රටට උගන්වා තිබෙන්නේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි පෙරේරා, දැල්පන්දු සංගමයේ සභාපති වික්ටෝරියා ලක්ෂ්මි යන මහත් මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.