සක්විතිලාගෙන් බැට කෑ මිනිස්සු ආයෙත් අන්දන ඔන්මැක්ස් පිරමීඩ මාෆියාව

0
1672

සල්ලිවලින් සල්ලි හොයන වාසි වැස්සක තෙමෙන්න අකැමැති අයෙක් සොයාගැනීම අපහසු ය. එම සරල මානසික කාරණය මූලික කරගෙන බොහෝ සේවා ආයතන ද ගොඩනැගී ඇත. ඒවායින් ප්‍රතිලාභ ලබන්නන් ද නොලබන්නෝ ද වෙති. ඒවාට අසුවී තිබ්බ සබ්බ සකලමනාව ම නැති කරගත්තෝ ද වෙති.

අද අප ඔබට කියන්නේ ද එවැන්නකි. කලින් කල කරළියට එන විධිමත්, අවිධිමත් සේම නීත්‍යනුකූල හෝ නීති විරෝධි මූල්‍ය පහසුකම් සලසන්නන් සහ ගනුදෙනුකරුවෝ බොහෝ වෙති. Onmax DT යනු අද ඒ ආකාරයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන තවත් එක් ආයතනයකි.

නූතන තාක්ෂණයේ බල මහිමයෙන් මූල්‍ය ගනුදෙනුවල නිරත වන මෙවන් ආයතන බොහෝමයක් මෙරට ඇත. මීට පෙර අවස්ථාවන්හි පැනෝරා, සක්විති, දඬුවම්, දැඩි දඬුවම් ආදිය මෙම ආයෝජන ක්‍රමවේදයේ නිරතව සිටි ආයතනයන් ය. එම ආයතන සහ නිධාරීහු භෞතික වශයෙන් ආයෝජකයන් මුණගැසුණහ. ඔවුන් ගනුදෙනු කළේ මෙරට සම්මත මුදල් එකකයන්ගෙනි. එහෙත් වර්තමානයේ සිදුවන අන්තර්ජාලයෙන් මුදල් උපයන Onmax DT වැනි ආයතනයන්හි සියලු ගනුදෙනු සිදුවන්නේ විද්‍යුත් මුදල් ඒකකවලින් අන්තර්ජාලය හරහා පමණි.

මෙවන් නූතන ක්‍රමවේද ජාත්‍යන්තරයේ පවතී. බැලූබැල්මට එය ඉතා පහසුය. ප්‍රතිලාභ ද අධිකය. නමුත් මේ ඔස්සේ විවිධ මාෆියාවන් ද ක්‍රියාත්මක විය හැකිය. එසේ වූ කල අපට අසන්නට ලැබෙන්නේ ඊට වඩා හාත්පසින් ම වෙනස් වූ කතාවකි. එම කතාව කුමක් විය හැකි ද යන්න සරලව තේරුම් ගැනීමට ඔබේ බුද්ධිය ප්‍රමාණවත් ය. තැනින් තැන ඇසෙන්නට වූ එම කතා නිසා ද වරින්වර මහ බැංකුවට ලැබුණු ඇමතුම් ඔස්සේ කියැවුණු දුක් සන්තාපයන් නිසා ද මෙරට මූල්‍ය පද්ධතියේ ප්‍රධානියා සහ පරිපාලකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ආයතනය විමර්ශනයට ලක්කරමින් සිටී.

මෙවන් ආයතනයන්හි මුදල් ආයෝජනයට පෙර ආයෝජකයා විසින් කරනු ලබන විමසීම්හිදි එම ආයතන නිලධාරීහු සිය ආයතනයේ ඉතිහාසය ඉතා ආකර්ෂණීයව ඉදිරිපත් කරති. තමන්ට ජාත්‍යන්තරය සමඟ ඇති සබඳතා හුවාදක්වති. ඔවුන්ගේ මවු සමාගම් විදේශීයව ඇති බව පවසති. ඒ අනුව ඔවුන් හුවාදැක්වෙන්නේ ඔවුන් ජාත්‍යන්තරව පිළිගත් ආයතනයක් වන බව ය. තරු පන්තියේ හෝටලවල ඔවුන්ගේ දේශන, සැසි, පන්ති පැවැත්වෙයි. නම, ලිපිනය, දුරකතන අංක, ලියාපදිංචි අංකය සහිතව මුද්‍රණය කළ පොත්, පත්‍රිකා බෙදාහැරෙයි. එහෙත් ගනුදෙනුවකදී තර්කානුකූල බුද්ධියට මුල්තැන දීම වඩා වටී.

Onmax DT ආයතනයටද වසර 15ක කීර්තිමත් ඉතිහාසයක් ඇති බව ත් එය අමෙරිකන් ආයතනයක් බව ත් එහි ප්‍රධාන විධායක නිලධාරියා හෙවත් CEO ඔස්ට්‍රේලියානු ජාතික මයිකල් හියුමන් නම් තැනැත්තෙකු බ වත් සභාපති සෑම් බස්නායක වන බව ත් එතැනින් පහළ සේවක පිරිස ධනංජය, ගයෂාන්, සම්පත්, අතුල යන ශ්‍රී ලංකිකයන් සේවය කරන බව ත් එම ආයතනය පිළිබඳව කරනු ලබන හඳුන්වා දීමකදී එහි සේවකයෙක් සඳහන් කළේ ය. එහෙත් එම ආයතනයේ විද්‍යුත් අඩවියට පිවිසෙන අපට අසන්නට ලැබෙන්නේ එය ඔස්ට්‍රේලියානු රජයේ ලියාපදිංචි ආයතනයක් වන බවයි.

හිටි හැටියේ මතුවී හිටි හැටියේ ම වියැකී යන මෙවන් ආයතන සහ සමාගම් තමන්ට කොකා පෙන්වා ඇති බව ඇතැම් ආයෝජකයන් දැනගන්නේ ඒ පිළිබඳ මාධ්‍ය ආයතනයන්ගෙන් සිදු කරනු ලබන හෙළිදරව් කිරීම්වලදී ය. එවන් අවස්ථාවන්හිදී ඇතැමුන්ට තමන් කළ ගනුදෙනු පිළිබඳ හෙළිකිරීම සඳහා වූ ප්‍රමාණවත් කිසිදු සාක්ෂියක් ද නැත. එවිට නීතියේ සරණ පැතුව ද සාධාරණයක් ඉටුකර ගැනීම අපහසු ය.

මෙවන් ආයතන සිය ප්‍රචාරක මාධ්‍ය කරගන්නේ නූතන තාක්ෂණයි. ඒ ඒ අය විසින් පවත්වාගෙන යනු ලබන සංගම් හෙවත් ගෲප් මගින් ඔවුහු තොරතුරු බෙදා හරිති. දැනුවත් කරති. සූම් මගින් දේශන පවත්වති. එය මෙවන් ව්‍යාපාර සඳහා ආශීර්වාදයකි. එකිනෙකා මුණ නොගැසීම නිසා තොරතුරු හුවමාරුවක් ද දැන හඳුනා ගැනීමක් ද සිදුනොවීම ආයතනයේ පැවැත්මට වාසියකි. එමෙන් ම තාක්ෂණය ඔස්සේ සිදුවන මෙම දැනුවත් කිරීම්වලදී ආයෝජකයන්ගෙන් ගැටලු ඉදිරිපත් වන්නේ ද ඉතා සුළු වශයෙනි. අද ඔබ දකින සිහිනය හෙට සැබෑවන අයුරින් සකස් කරනු ලබන රූපමය මායාවට වශීවන ඔබට ඒ පිළිබඳ තව දුරටත් ප්‍රශ්න නැගීමේ අවශ්‍යතාවක් ඇති නොවීම පුදුමයක් ද නොවේ.

මෙම ආයතන කතා කරනුයේ ඔබේ හදවතට ය. දුප්පතුන් වීමේ දුක වැනි මානසික කාරණා මූලික කරගෙන ධනාත්මක චින්තනය අවදිකරමින් ඔවුහු ඔබ ආමන්ත්‍රණය කරති. වෙහෙස වීමකින් තොරව ආදායම් ඉපැයිය හැකි සරල ක්‍රමයක් පෙන්වා දී ඔබ ඒ කෙරෙහි ආකර්ෂණය කරවති. සාමාජිකයන් වැඩිවන තරමට ඔබේ ආදායමත් දීමනාත් වැඩිවන නිසා සාමාජික සංඛ්‍යාව වැඩිකර ගැනීමට ඔබේ සිත ඔබට බල කරයි. ඉක්මනින් පොහොසතෙක් වන්නට විශාල මුදලක් ආයෝජනය කිරීමට ඔබ පෙලඹෙයි. පොහොසතෙක් පෙන්වා ඔවුන් වෙත ඔබේ ඊර්ෂ්‍යාව අවදිකරවමින් ඔවුහු ඔබ මනස සූක්ෂමව පාලනය කරති. ඔවුහු කිසිදු අවස්ථාවක විමසා බලා තීරණයක් ගන්නැයි ඔබට නොකියති.

අපි මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සමග කතා කළෙමු. ඔහු අදාළ ආයතනය පිළිබඳ දැක්වූ අදහස මෙසේ ය.

“මම Onmax DT කියන ආයතනයේ මේ අරමුදල සම්බන්ධයෙන් මෑතකාලීනව යම් මට්ටමක අධ්‍යයනයක් කළා. ඊට හේතුව යම් යම් පාර්ශ්වයන් මේ අරමුදල කුමක් ද එය නීත්‍යනුකූල ද යන්න මගෙන් විමසා සිටි නිසයි. එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන එක් ආකාරයක අරමුදලක් විදිහට පෙනී සිටින බව මට තේරුම් ගියා. ඒ මගින් ඔවුන් අරමුදල් රැස්කරගෙන මාස 18 – 20 වන කාලසීමාවන්ට අදාළව ආයෝජනය කරනවා. ඒ මුදලට අදාළ පොළියත් ඔවුන් ගෙවනවා කියනවා. ඔවුන් ලංකාවෙ පළාත් කිහිපයක් මූලික කරගෙන මෙම කටයුත්තේ නිරත වන බවත් පෙනී ගියා. ඒ දකුණ, ඌව සහ මධ්‍යම යන පළාත් ය. ඔවුන් මූලික වශයෙන් මෙම ක්‍රියාවේ නිරත වෙන්නේ cryptocurrency (විද්‍යුත් මුදල් ඒකකයකි) වලට අදාළව නොවෙන බව ත් මා හඳුනාගත්තා.

මෙය මීට වර්ෂ 10කට පමණ පෙර සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරන්තරයෙන් ම මහ ජනතාව දැනුවත් කරනු ලබන, අනතුරු අඟවනු ලබන පිරමීඩ ක්‍රමය මත ගොඩනැගුණු අරමුදලක් වන බවත් මට පෙනී ගියා. මෙම ක්‍රමවේදයට අනුකූලව තමයි ලංකාවෙ ජාවාරම් මූලික වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ. මෙහිදී ඔවුන් එම අරමුදල් ක්‍රියාත්මක වෙන්නෙ cryptocurrency ගනයෙන් වන බවත් ඒවා පිරමීඩ කියන අරමුදල් ගනයට නොවැටෙන ජාත්‍යන්තරිකව සිදුවන ගනුදෙනු ආකාරයට හුවා දක්වනවා.

ආයෝජකයෙක් ලෙස යම් මුදලක් ආයෝජනය කරන විට එම මුදල් ආයෝජනය කරන්නේ කුමනාකාර ආයතනයක ද යන්න සොයා බැලිය යුතුයි. තමන්ට ලැබෙන්නේ ඉතා ඉහළ පොළියක් නම් එවැනි ප්‍රතිලාභයක් එම ආයතනයට ලබා දිය හැකි ද යන්න පිළිබඳ සොයා බැලීමක් කළ යුතුයි. තමන් මහන්සි වී හරි හම්බ කරගත් මුදල මෙවැනි වංචාවලට හසුවී නැති කරගත යුතු නැහැ. easy come easy go වගේ ලෙහෙසියෙන් එන දේවල් ලෙහෙසියෙන් යනවා. ඉක්මනින් මුදල් උපයන්න ගොස් ඉක්මනින් මුදල් නැති කර නොගෙන තමන් ආයෝජනය කරන ස්ථානය පිළිබඳ ඉතා හොඳින් සොයා බලන්න කියලා මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

මෙකී ආයතනය පිළිබඳ සොයාබලා අනාවරණය කරගන්නා ලද තොරතුරු අනන්‍යයන්ගේ දැනුවත් බව උදෙසා ඇතැමුන් විසින් YouTube හි පළකර ඇත. ඒ මෙම ආයතනට කියන තරම් දීර්ඝ ඉතිහාසයක් නොමැති බව ත් ඔවුන් පෙන්නුම් කරන ලිපිනයෙහි ඇති ආයතනය ස්ථිර වශයෙන්ම වසා දමා ඇති බවත් ඔස්ට්‍රේලියාවේ ලියාපදිංවි ආයතනයක් වුවත් එහි ඔස්ට්‍රේලියානු ගනුදෙනුකරුවන් කිසිවෙකු නොවන බව ත් ආයතනයෙහි ඡායාරූප කිසිවක් ඔවුන්ගේ වෙබ් අඩවියෙහි පළ කර නොමැති බව ත් එහි සඳහන් වන්නේ ජංගම දුරකතන අංකයන් වන බවත් dilshan im academy චැනලය කියයි.

මෙවැනි ආයතනයන්හි ආයෝජනය කිරීමට ඔබ ද අදහස් කරන්නේ නම් ඉහත සඳහන් කරුණු පිළිබඳ විමර්ශනය කිරීම ඔබට ද අපහසු නැත. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ඥානය ඔබ සතු නොවන්නේ නම් දැනුමැත් තෙකුගේ සහාය ගත හැකිය. මන්දයත් මෙවැනි පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳ පසුගිය කාලය පුරා අප බොහෝ අමිහිරි අත්දැකීම් ලබා ඇති නිසා ය.

මෙවන් සමාගම් හිමිකරුවෝ නිතරගයෙන් ම ජයග්‍රාහකයෝ වෙති. මෙහි ප්‍රතිලාභ බෙදීයන ක්‍රමවේදය අනුව වැඩියෙන් ම අසරණ වන්නේ මෙහි පහළ ම ස්ථරය යි. මෙම ක්‍රමය තුළ ලාභාංශ බෙදීයන්නේ තව තවත් සිදුකරන බඳවා ගැනීමේ ක්‍රමවේදය මත ය. ඒ ඒ ස්ථරයන්ට පහසුවෙන් ආයෝජනය කළ හැකිවන පරිදි අයෝජන ස්ථරයන් ද එම ආයතන විසින් හඳුන්වාදෙන අතර ඒ ඒ ආයෝජනයේ ප්‍රමාණය මත ලාභාංශය ද තීරණය වේ. එය මාසික ආයෝජනය මෙන් කිහිප ගුණයෙන් වර්ධනය වූ ප්‍රමාණයකි. විශේෂයෙන් ම, සාමාන්‍ය පුද්ගලයෙකුට සිතාගත නොහැකි තරමේ වාසියකි. එනිසා වඩා වැඩි වාසි සලසන සේවාවන් පිළිබඳ සවිඥානික වීම ඔබේ වගකීමයි.

මෙය ලොව පුරා ක්‍රියාත්මක වන සංවිධාන ජාලයකි. මුල් මාස කිහිපය තුළ පොරොන්දු වූ පරිදි මුදල් ලැබෙයි. එමඟින් ගනුදෙනුකරු තුළ විශ්වාසය තහවුරු කෙරෙයි. නමුත් නොසිතූ අවස්ථාවක ඔබ වෙත ලබාදී ඇති දුරකථන අංක ක්‍රියා විරහිතව යයි. ඔබට ලබාදී ඇති ලිපිනයේ එවන් ආයතනයක් කිසිදා නොතිබුණු අවස්ථා ද දී ඇති ලිපිනයේ සිට කලකට පෙර ඉවත්ව ගොස් ඇති අවස්ථාවන් ද ඕනෑ තරම් පොලිස් පොතේ ලියැවී ඇත.

මෙවන් ව්‍යාපාර පවත්වාගෙන යෑම මෙන් ම, ඒවාට සම්බන්ධ වීම ද දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් තවමත් ජනතාව නොදැනුවත් ය. එනිසා මෙවැනි ව්‍යාපාරයන්ට සිය ව්‍යාපාරික දැළ එළීම ද ඒ සඳහා ඔබ ගොදුරු කරගැනීම ද පහසු ය. එබැවින් විවිධ මුහුණුවරයන් ඔස්සේ කලඑළිබසින්නේ එකම රකුසෙක් බව ඔබ අවබෝධ කොටගෙන ජීවත්වන්නේ නම් මෙවන් කූට ව්‍යාපාරිකයන්ට හෝ ව්‍යාපාරයන්ට මෙරට තුළ තව දුරටත් අවකාශ නොලැබෙනු නියත ය.

  • තනූජා සූරියබණ්ඩාර