KGF හදපු ප්‍රශාන්ත් Salaar හරහා සිනමා විශ්වයකට පාර කපයිද?

0
154

ඉන්දියාව කියන්නේ විනෝදාස්වාදයෙන් පිරුණු දේශයක්. තමන්ගේ මහපොළොවේ යථාර්ථය මොනතරම් කටුක වුවත් ඒ සියල්ල අමතක කරවන තරමේ ප්‍රබල මායාවන් ඉන්දියානුවන් සතුව තිබෙනවා. ඉන්දියානු සිනමාවට වගේම ක්‍රිකට්වලට පුළුවන් ඔවුන්ව අතිශය සුන්දර ෆැන්ටසියක වටයක් රැගෙන යන්න.

ඒ අතරිනුත් සිනමාව කියන්නේ සමස්ත ඉන්දියාවටම එකවර එන්නත් කරන වේදනා නාශකයක්! ඉන්දියානු සිනමාවේ ආධිපත්‍යය මෙතුවක් කල් හිමි කරගෙන තිබුණේ බොලිවුඩය සහ කොලිවුඩය විසිනුයි. ඔබට, මට වුවත් ඉන්දියානු සිනමාව කියද්දිම ෂාරුක් ඛාන්ලාව, රැජිනිකාන්ත්ලාව මතකයට නැඟෙන්නේ ඒ නිසයි. නමුත් මිත්‍රවරුනි, මෑතක සිට තත්ත්වය අතිශයින්ම වෙනස් හැඩයක් ගත්තා. බොලිවුඩය, කොලිවුඩය පරදවන මලයාලම්, කන්නඩ, තෙලිඟු නිර්මාණ එළිබසින්නට පටන් ගත්තා. එහි කූටප්‍රාප්තිය ලෙස ‘KGF- 2’ සිනමා සිත්තම ලෝකය ආක්‍රමණය කළා. ඉතින් අද අප කතා කරන්නට යන්නෙ ‘KGF’ චිත්‍රපට මාලාවේ අධ්‍යක්ෂ ‘Prashanth Neel’ ගේ අලුත්ම පිම්ම ගැනයි. මේ 2023 වසරේදී රිදී තිරය ආක්‍රමණයට සැරසෙන තෙලිඟු මායාව, ‘Salaar’!

මෙම චිත්‍රපටය තිරගත වීමට තවත් වසරකට ආසන්න කාලයක් තිබුණත් මේ වනවිටත් මෙය සිනමාලෝලීන් අතර මාතෘකා මවන්නට පටන් ගෙන තිබෙනවා. ‘KGF’ සමඟ කරට කර මට්ටමේ ක්‍රියාදාම ගණයේ චිත්‍රපටයක් විය හැකි බවට මත පළවන මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සුපිරි නළු ‘Prabhas’ විසිනුයි. මීට අමතරව ප්‍රධාන නිළියගේ භූමිකාව ‘Shruti Haasan’ විසින් පණ පොවන අතර මලයාලම් සුපිරි තරුව ‘Prithviraj Sukumaran’ වද මෙහිදී අපට හමුවේවි.

මෑතකදී අතිශය සාර්ථකව තිරගත වූ ‘Vikram’ චිත්‍රපටය ඔබට මතක නම් එය ‘Kaithi’ චිත්‍රපටය සමඟ තිබූ සම්බන්ධය ඔබට අමතක වන්නට ‘Lokesh Kanagaraj’ සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස තමාගේ සිනමා විශ්වයක් නිර්මාණය කරමින් පවතින බව දැන් ප්‍රේක්ෂකයන්ට නොරහසක්. ඉතින් මේ ඔස්සේ ‘Salaar’ පිළිබඳවත් ගොඩනැඟුණු අතිශයින්ම සිත්ගන්නාසුලු fan theories බොහොමයක් මේ වෙද්දී අන්තර්ජාලය හරහා හුවමාරු වෙනවා. ඇතැම් මතයන්ට අනුව ‘Salaar’ දිගහැරෙන්නේ ‘KGF’ චිත්‍රපටයට අදාළ කාල රාමුවේමයි. ඔවුන් කියනා ආකාරය ‘Prashanth Neel’ මේ අඩිය තබන්නේ තමන්ගේ සිනමා විශ්වයකටයි. ඉතින් මිත්‍රවරුනි ඔබ මොකද හිතන්නේ? මේ නිර්මාණය වෙමින් පවතින්නේ ඉන්දියානු සිනමාව ලෝකයට ගෙන යා හැකි සිනමා විශ්වයද? නැතිනම් මෙය රසික සිත් තුළ ඇති වූ තවත් එක් මතයක් පමණක්මද?

චිත්‍රපටයක් තිරගත වීමටත් බොහෝ කාලයකට පෙර සිට මෙලෙස කතාබහට ලක්වීම සිනමාව පැත්තෙන් සුබ ලකුණක්. ඉන්දියානු සිනමාව ලෝක සිනමාලෝලීන්ගේ ඇසට නතු කළ ‘Prashanth Neel’ ලබන වසරේදී නැවතත් එයම සිදු කරාවි. සමහරවිට ඔහු ප්‍රේක්ෂකයන්ගේ සියලු මත පොඩිපට්ටම් කරමින් වෙනස්ම ආකාරයේ නිර්මාණයක් එළිදක්වයි. නමුත් ඔහු කිසිවිටෙකත් ප්‍රේක්ෂකාගාරයේ බලාපොරොත්තු සුන් කරවන එකක් නම් නැහැ. ඉතින් සිනමාලෝලී හිත මිතුරනි, ඉන්දියාවෙන් සිනමා ලෝකයට දායාද කරවන මීළඟ මායාව දෙස අපි දෑස් දල්වා බලා හිඳිමු!

ඉෂාන් ජනිත් දිසානායක