බඩු නැතිව අලි ගමට

0
394

ගම් වදින අලි පළවා හැරීමේ කටයුතු පවා භාණ්ඩ රාශියකට පනවා ඇති තහනමත් සමග ඇනහිට ඇතැයි ‘ඉරිදා මව්බිම’ට වාර්තා වේ.

අලි වෙඩි හා අලි වැටවල් ඉදිකිරීම සඳහා අවශ්‍ය උපකරණ ගෙන්වීමට පවා මේ තහනම බලපා ඇති නිසා ආහාර සොයා ගම්වදින අලි පළවා හැරීමට නොහැකි තත්ත්වයක් මතු වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

වන අලි ගම්වැදීම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ට පැමිණිලි ලැබුණද උන් පලවා හැරීමට භාවිත කරන අලි වෙඩිවල හිඟයක් පවතින බව ද එම ප්‍රකාශකයා කීය.

භාණ්ඩ ආනයනයට පනවා ඇති තහනම සමග ඒවා ගෙන්වීම පවා දුෂ්කර වී ඇතැයි ඔහු පැවැසීය.

වන අලි ගම් වැදීම වැළැක්වීම සඳහා ඉදිකරන අලි වැට ඉදිකිරීම පවා උපකරණ හිඟය හේතුවෙන් ඇන හිට තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය. පසුගිය කාලයේද ඉන්ධන හිඟය හේතුවෙන් වන අලි පළවා හැරීමේදී නිලධාරීන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වූ බව ද ඔහු කීය.

මේ වන විටත් අලි වැටවල් බොහෝ ප්‍රමාණයක් අක්‍රිය තත්ත්වයේ පවතින බව හෙතෙම පැවසීය.

වනාන්තර තුළ ආහාර හිඟවීම මෙන් ම වෙනත් හේතු නිසා දිගින් දිගට ම ගම් වදින අලි හා ගැමියන් අතර ඇති වන ගැටුම් දිනෙන් දින ම ඉහළ අගයක් ගැනීමත් අලි හා මිනිස් මරණ සංඛ්‍යාව වැඩි වීමත් හේතුවෙන් එම ගැටුමට ස්ථීරසාර විසඳුමක් ලබා දීම කෙරෙහි ද වනජීවී අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි ද එම ප්‍රකාශකයා කීය.