E.T. කියන්නෙ Star Wars විශ්වයේ Jedi knight කෙනෙක්ද?

0
297

Star Wars සිනමාපට සහ 1982 වර්ෂයේ ආව E.T. the Extra-Terrestrial සිනමාපටය සම්බන්ධයෙන් නිර්මාණය වෙලා තිබෙන අපූරු ෆෑන් තියරියක් තමයි මම අද අරගෙන ආවේ. මේ සිනමාපට අතර දකින්න ලැබුණු සුවිශේෂී සිදුවීම් කිහිපයක් පාදක කරගෙන තමයි මේ ෆෑන් තියරිය නිර්මාණය වෙලා තිබෙන්නෙ. මේ ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයන් කියන විදිහට E.T චිත්‍රපටයේ ඉන්න E.Tකියන පිටසක්වළයා කියන්නේ සාමාන්‍ය පිටසක්වළ ජීවියෙක් නෙවෙයි.

Star Wars සිනමා විශ්වයේ ඉන්න විශ්ව ආරක්ෂකයෙක් නැත්නම් Jedi knight කෙනෙක්. E.T Jedi knight කෙනෙක් කියන ෆෑන් තියරිය නිර්මාණය වෙන්න ප්‍රධාන වශයෙන් හේතු පාදක වෙලා තිබෙන්නේ E.T සිනමාපටයේදී Star wars සිනමාපටවල දකින්න ලැබුණු සුවිශේෂී චරිතයක් වෙන Master yoda වගේ ඇ¾දුමක් ඇඳගත්ත ළමයෙක්ව දකින

E.Tගෙ හැසිරීමේ සිදුවුණු සුවිශේෂී වෙනස්කම. ඒ සිදුවීමේදී විවිධාකාර වෙස්මූණු දාගෙන ඉන්න පිරිසක් මැද්දෙන් E.T ගමන් කළත් පැහැදිලි ලෙසම E.T ගෙ අවධානය දිනා ගන්නේ  Star wars විශ්වයේ Master yoda විදිහට ඇඳගත්ත කෙනා විතරයි. එතැනදී E.T විසින් Home , Home කියමින් එයාගේ පස්සෙන් යන්නත් උත්සාහ කරනවා. මේ සම්බන්ධයෙන් ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයන් කියන්නේ E.T පෘථිවියට එන්න කලින් master yodaව හ¾දුනාගෙන හිටපු නිසා, මේ කෙනා master yoda කියල වරදවා වටහා ගන්න ඇති කියලයි.

ඊළඟට 1999 වර්ෂයේ ආව Star Wars Episode I: The Phantom Menace කියන චිත්‍රපටය අවධානයෙන් බැලුවොත් අපිට ඒකෙ තිබෙන Galactic Senate එකේ E.T ගෙ පෙනුම තිබෙන පිටසක්වළයන් පිරිසක් ඉන්නව දැකබලා ගන්න පුළුවන්. මෙතැනදී E.T ගෙ වර්ගයා Star wars විශ්වය තුළ ඉන්න බව පැහැදිලි වුණා කියල තමයි ෆෑන් තියරිය ඉදිරිපත් කරන අය කියන්නේ.

E.T සිනමාපටය බැලුවම අපිට දැකබලා ගන්න පුළුවන් E.T හට යම්කිසි අධි ස්වාභාවික හැකියාවක් පවතින බව. E.T මේ හැකියාව යොදාගෙන මියගිය ශාකයක් නැවතත් ප්‍රාණවත් කළා වගේම ළමයින්ව එයාලගේ බයිසිකල් එක්කම අහසේ පාකිරීමත් සිදු කළා. ඔයා Star wars රසිකයෙක් නම් ඔයා දන්නව ඇති

Jediවරුන් සතුවත් මෙවැනිම අධි ස්වාභාවික හැකියාවක් පවතින බව. විශ්වයේ පවතින ශක්ති ප්‍රභවයක් වෙන Force එක යහපත් විදිහට හසුරුවන එක තමයි ඔවුන් එතැනදී කරන්නේ. මේකෙන් ජෙඩායිවරුන්ට භෞතික වස්තු

පාකිරීමේ ඉඳල තවත් බොහෝ දේවල් කරන්න හැකියාව ලැබෙනවා. මේ ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයන් E.T සතුව තියෙන ඒ අසාමාන්‍ය හැකියාව Star wars විශ්වයේ ණඥඤඪවරුන් සතුව තිබෙන Force එක පාලනය කිරීමේ හැකියාවම වෙන්න බැරිද කියල ප්‍රශ්න කරනවා.

ඒ වගේම E.T සිනමාපටයේ අවසාන හරියෙදී E.T විසින් පෘථිවියේ තිබෙන උපකරණ කිහිපයක් යොදාගෙන සංඥා සම්ප්‍රේක්ෂණ උපකරණයක් නිර්මාණය කරල ඒකෙන් තමන්ගේ පිරිසට සංඥා යවනවා දැකබලා ගන්න පුළුවන්. මේ ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයන්ට අනුව නම් පෘථිවියේ තිබෙන දේවල්වලින් හදපු මේ පුංචි උපකරණය හරහා E.Tට එයාගෙ පිරිසට සංඥාවක් යවන එක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්..! ඉතින් E.T මේ විදිහට තමන්ගේ පිරිසට සංඥාවක් යැව්වේ ඒ පුංචි උපකරණයෙන් නිකුත් වෙන දුර්වල සංඥා Force එක හරහා වැඩිදියුණු කරල වෙන්න පුළුවන් කියලයි එයාල කියන්නේ….

ඒ වගේම E.T චිත්‍රපටය බලපු අපිට පේනවා E.T ගෙ වර්ගයේ අය ආලෝක වර්ෂ ගණනාවක් දුර ගෙවාගෙන එයාව ආපහු අරගෙන යන්න ආව බව. සාමාන්‍යයෙන් අභ්‍යවකාශ මෙහෙයුමකට ආව පිරිසක් තමන්ගේ එකම එක  සාමාජිකයෙක් වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරයිද කියන ප්‍රශ්නයත් මෙතැනදී මතු වෙනවා. එයාල ඒ විදිහට E.T වෙනුවෙන් ආපහු ආවේ ඇයි..? ෆෑන් තියරිය ඉදිරිපත් කරන රසිකයෝ කියන්නේ E.T එයාගෙ වර්ගයේ අය අතර සුවිශේෂී කෙනෙක් වෙන නිසා කට්ටිය එයාව ගෙනියන්න එන්න ඇති කියලයි. ඒ වගේම එයාල කියන්නේ මේ සුවිශේෂීත්වය jedi knight කෙනෙක් වීම වෙන්නත් පුළුවන් කියලයි.

ඔයාල දන්නව ඇති මුල්කාලීන Star wars සිනමාපට ත්‍රිත්වය සහ E.T චිත්‍රපටය ආවේ එකම කාල වකවානුවක බව. ඒ වගේම මේ සිනමාපටවල අධ්‍යක්ෂකවරු දෙදෙනා වුණු George Lucas සහ Steven Spielberg කියන දෙදෙනා හොඳ මිත්‍රයන් දෙදෙනෙක්. ඉතින් මේ මේ ෆෑන් තියරිය හදපු රසිකයෝ මේ මිත්‍රයෝ දෙන්න හදපු සිනමාපට එකම විශ්වයකට අයිති වෙන්නත් පුංචි ඉඩක් තිබෙන්න පුළුවන් කියල විශ්වාස කරනවා.

ඔන්න ඕක තමයි Star wars / E.T ෆෑන් තියරියේ කතන්දරේ. කොහොම වුණත් මේ ෆෑන් තියරියේ ලොකුම ලොකු අඩුපාඩුවකුත් තිබෙනවත්  අපිට දැකබලා ගන්න පුළුවන්. ඒ තමයි ෆෑන් තියරියෙදී E.T jedi knight කෙනෙක් කියල කිව්වට සිනමාපටයේ කොහෙවත් E.T සතුව jedi knight කෙනෙක්ගේ අතේ තිබෙන Lightsaber එකක් දකින්න ලැබුණේ නෑ. සමහර විට එදා E.T තමන්ගේ Lightsaber එක යානයේ තියල ආවද දන්නේ නෑ. ඒක ඉතින් දන්නේ E.T විතරමයි.

තරිඳු ලක්‍ෂාන්