චීනයෙන් පළමු monkeypox ආසාදිතයා වාර්තා වෙයි

0
531

චීනයෙන් පළමු වරට මන්කිපොක්ස් ආසාදිතයෙකු වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ චොංකිං නගරයෙන් ඊයේ (සැප්. 16) හඳුනා ගෙන ඇති එම ආසදිතයා විදෙස් රටක සිට පැමිණි පුද්ගලයෙකු බව ය.

චොංකිං වෙත පැමිණීමෙන් පසු එම පුද්ගලයා නිරෝධායනය සඳහා යොමු ඇති බැවින්, රෝගය වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩු බව එහි නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ සියලු ම පුද්ගලයින් හුදෙකලා කර ඇති අතර ඔවුන් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව බලධාරීන් සඳහන් කර තිබේ.

අදාළ පුද්ගලයා විදෙස් රටක සිට පැමිණ ඇති හෙයින් චොංකිං නගරයට ඇතුළු වීමෙන් පසු ඔහු කොවිඩ්-19 සඳහා වූ නිරෝධායනයට ලක් කර ඇති අතර එම කාලය තුළ සමේ කුෂ්ඨ ඇති වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව චොංකිං නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.

නිතිපතා හමු නොවුණ ද ලොව පුරා රටවල් 90කින් පමණ මන්කිපොක්ස් ආසාදිතයින් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය එය ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ද මීට පෙර ප්‍රකාශයට පත් කළේ ය.

ආසාදිත පුද්ගලයින්, සතුන් හෝ වෛරසය ඇති ද්‍රව්‍ය සමග පවත්වන සමීප සම්බන්ධතා හරහා සම්ප්‍රේෂණය වන මන්කිපොක්ස් වෛරසය සාමාන්‍යයෙන් උණ, හිසරදය සහ කුෂ්ඨ වැනි වසූරිය රෝග ලක්ෂවලට සමාන, නමුත් මෘදු රෝග ලක්ෂණ ඇති කරන බව මේ වන විට හඳුනා ගෙන ඇත.