යුක්‍රේනයේ මාස 6ක් සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් බේරා ගත් බව එරට ජනපති කියයි (VIDEO)

0
246

යුක්‍රේනයේ කාර්කිව්හි මුදාගත් ප්‍රදේශවල, මාර්තු මාසයේ සිට ආක්‍රමණිකයින් විසින් රඳවා ගනු ලැබ සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් හත් දෙනෙකු බේරා ගත් බව යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි පවසයි.

වීඩියෝවක් ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශයකදී යුක්‍රේන ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

“කාර්කිව් කලාපයේ, රුසියානු ආක්‍රමණයෙන් නිදහස් වූ ප්‍රදේශවල විමර්ශන ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුවෙමින් පවතී. රුසිස්ට්වාදීන්ගේ සියලු ම අපරාධ ගැන සටහන් කර ගනිමින් ඉන්නේ. ඔවුන්ගේ වැරදි පිළිබඳ සාක්ෂි එකතු වෙමින් පවතී. ඔවුන් අල්ලාගෙන සිටි නගරවල සිවිල් වැසියන්ට හිරිහැර කළ වධකාගාර සහ පරිශ්‍රයන් මිනිසුන්, විදේශිකයන් පවා රඳවා සිටි ස්ථාන සොයාගෙන ඇත,” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.

සෙලෙන්ස්කි ජනාධිපතිවරයා සඳහන් කළේ, යුක්‍රේනයේ කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ (Kupyansk Medical College) සිසුන් 7 දෙනෙකු එලෙසෙ ගලවා ගත් බව ය.

එම පිරිස මාර්තු මාසයේදී රුසියානු සොල්දාදුවන්ගේ ග්‍රහණයට ලක්ව පසුව ගොඩනැගිල්ලක පහළ ම මාලයක රඳවා තබා ගෙන ඇතැයි ඔහු පැවසීය.

ඒ අනුව, එම පිරිස මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇතැයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි වැඩිදුරට ත් සඳහන් කළේ ය.