සිනේමාහි විශ්වකීර්ති කියන්නේ මම කැමැත්තෙන්ම කරපු චරිතයක්

0
72

නිරූපණය කරන කුමන චරිතයක් තුළ වුවද රංගන ප්‍රතිභාව විදහා දක්වමින්, රිදී තිරය සහ පුංචි තිරය තුළ සිය අනන්‍යතාව සලකුණු කළ ආකර්ෂණීය රංගන පෞරුෂයකට හිමිකම් කියන ඔහු නම කියූ සැණින් කවුරුත් හ¾දුනන බිමල් ජයකොඩියි. මේ දිනවල සිනේමා තුළින් රිදී තිරය මත පෙනී සිටින ඔහුගෙන් අලුත් තොරතුරු විමසන්නට හදගැස්ම අපේ කතාබහට සමීප කර ගැනීමට අප සිතුවා.

මේ දවස්වල වැඩකටයුතු මොනවාද?

මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරලා තිබෙන්නේ සිනේමා වෙනුවෙන්. සිනේමා කණ්ඩායමම එකමුතුව එහි ප්‍රවර්ධන කටයුතු සඳහා සම්බන්ධ වෙලා සිටිනවා. ඊට අමතරව රැල්ල වෙරළට ආදරෙයිහි රූගත කිරීම්වලට කඩින් කඩ සහභාගි වෙනවා. ඒ වගේම අලුත් ටෙලි නාට්‍යයක් සම්බන්ධයෙන් සැලසුම් කරමින් සිටිනවා. බොහෝදුරට එහි රූගත කිරීම් ඔක්තෝබර් මැද වන විට ආරම්භ වෙයි.

සිනේමාහි ඔබේ චරිතය ගැන කතා කරමු?

විශ්වකීර්ති කියන්නේ මම නිරූපණය කළ චරිත අතරින් මම ඉතාම කැමැත්තෙන් කරපු චරිතයක්. එය ඇතැම් විට අපේ ක්‍ෂේත්‍රයෙත් අඩුවැඩි වශයෙන් හමුවන, කෛරාටික සූක්ෂ්ම විධියට මිනිසුන්ගේ දක්ෂතාවන් සූරාකන චිත්‍රපට නිෂ්පාදකවරයෙක්ගේ චරිතයක්.  සිනේමා හරිම අලුත් අත්දැකීමක්. මොකද ඒක අපේ විෂයට සම්බන්ධ නිර්මාණයක්. ඒ නිසා අපි සියලු දෙනාම වගේ ඉතාම කැමැත්තෙන් සහ උනන්දුවෙන් මේ නිර්මාණයට සම්බන්ධ වුණා. මේ චිත්‍රපටය පෙන්වන්න තරමක් කාලය ගතවුණා. මීට පෙර පෙන්වන්න තිබුණා නම් තවත් හොඳයි. ඉතින් සියලු දෙනාට ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න එන්න කියලා.

සිනේමා සඳහා සම්බන්ධ වුණේ කොහොමද?

වෛද්‍ය කපිල සූරියාආරච්චි ගැන කතා කළොත් පවුලේ හිතවතෙක් තරමට සමීප, ක්‍ෂේත්‍රයේ ශිල්පීන්ට විටෙක වෛද්‍යවරයෙක්, විටෙක සහෝදරයෙක්, මිත්‍රයෙක්, පියෙක් මෙන් සෑහෙන උදවු උපකාර කරන කෙනෙක්. ඔහු කලාවට බොහෝ සෙයින් ආදරය කරන, වෘත්තීය ක්‍ෂේත්‍ර ගණනාවක දස්කම් පාන කෙනෙක්. මම ඔහුත් සමඟ මීට පෙර වාර්තා වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වී තිබෙනවා. ඔහු ඩිජිටල් ක්‍රමයට මාරු වීමට පෙර දළ සේයාපට සමඟ කටයුතු කළ, සිනමාවේ සිදුවුණු තාක්ෂණික වෙනසට මුහුණ දුන් කෙනෙක්. ඉතින් ඔහුගේ ආරාධනය ලද සැණින් චිත්‍රපටය කුමක්ද කියලාවත් නොඅසා මම මේ සඳහා කැමති වුණා. ඒ වගේම නිෂ්පාදක චම්පික ජයනන්දන සහ සිනේමාහි මගේ සියලුම සහෝදර ශිල්පීන් ශිල්පිනියන්වත් මේ මොහොතේ මතක් කරන්න ඕනෑ.

ඔබ පසුගිය කාලය තුළ එකිනෙකට වෙනස් චරිත නිරූපණයන් සිදු කළා. චරිතයක් සාර්ථක කරගන්න ඔබ භාවිත කරන නිර්ණායක මොනවාද?

මුලින්ම මම බලන්නේ මේක මට කරගන්න පුළුවන්ද කියන එක. පසුගිය කාලයේ තිරගත වූ කවුරුවත් දන්නේ නෑ චිත්‍රපටයේ පොලිස් නිලධාරියාගේ චරිතය ගත්තොත් එය  බොහොම සීරුවෙන් කළ චරිතයක්. ආශාවරී චිත්‍රපටය ලැබුණු විට මේක මට කරගන්න පුළුවන්ද කියලා මම දෙවරක් සිතුවා. එහි චරිතය හාස්‍යමය එකක් නොවෙයි නමුත් ඒ චරිතය දකින පුද්ගලයාට හාස්‍යයක් මතුවෙනවා. රැල්ල වෙරළට ආදරෙයි කියන්නේ දකුණු ඉන්දියානු චිත්‍රපටයක් පාදක කරගත් දීර්ඝ ටෙලිනාට්‍යයක්.

ඒ චරිතයට අදාළ පෙනුම සහ ඒ පරිසරය සකස් කරගත් විට එයට සූදානම් වන්න ලොකු වෙහෙසක් ගන්න සිදුවුණේ නැහැ. මේ වගේ කාලයෙන් කාලයට මාව සොයාගෙන එන චරිත මට කරන්න පුළුවන් මට්ටමේ ඒවා. නමුත් ඒ ලැබෙන චරිත එකිනෙකට වෙනස් කියලා දැනෙන්නේ මම ඒ චරිතවලට එකතු කරන්නේ මොනවද කියන කාරණාව මත. ඒ වගේම චරිතයට අදාළ ස්වරූපය වෙනස් කරගැනීම පිළිබඳව මම මහන්සි වනවා. මේ චරිතවල සාර්ථකත්වයට රචකයා, අධ්‍යක්ෂවරයා ඇතුළු නිර්මාණයට සම්බන්ධ වන සියලුම දෙනාම හේතු වනවා.

දීර්ඝ ටෙලිනාට්‍ය තුළ එකම චරිතයක් ඇතුළේ දීර්ඝ කාලයක් සිටීම රංගන ශිල්පියෙක්ට පීඩාකාරී වනවාද?

පැහැදිලිවම ඔව්. මෙය දෛනික කම්කරු රැකියාවක් විධියට කරනවා නම් ඒ වෙහෙස දැනෙන්නේ නැහැ. ඒ පීඩාව අවම කරගන්න පුළුවන් කාරණා තමයි කොටස් 100කට සැලසුම් කරලා කොටස් 150ක් දක්වා යනවා නම් පිටපත රංගන ශිල්පියාට අලුත් වීමට අමුද්‍රව්‍ය සැපයීම සහ ප්‍රේක්ෂකයාට අලුතෙන් යමක් දෙන එක. එලෙස අලුත් නොවුණු විට එය පීඩනයක්. එහෙම අවස්ථාවල මම නිර්මාණ අත්හැරලා තිබෙනවා.

මට අලුත් වෙන්න බැරි නම් ප්‍රේක්ෂකයාටත් අලුත් යමක් ලැබෙන්නේ නැත්නම් ඒ නිර්මාණයෙන් වැඩක් නැහැ. බොහෝ වෙලාවට සිදුවන්නේ යම් නිර්මාණයක් ජනප්‍රිය මට්ටමට පත් වූ විට එය වෙළෙඳ භාණ්ඩයක් විධියට කටයුතු කරන එක. ඒක තමයි බොහෝ දීර්ඝ ටෙලිනාට්‍යවලට සිදුවන ඛේදවාචකය. හොඳම වෙලාවේදී නිර්මාණයක් ඉවර කරගන්න පුළුවන් නම් තමයි එය සාර්ථක වන්නේ.

ඇතැම් නළු නිළියන් එකවර නිර්මාණ කිහිපයක පෙනී සිටිමින් දක්ෂ ලෙස රඟපානවා. මේ තුළින් පෙනෙන්නේ අපේ නළු නිළියන්ගේ දක්ෂතාවද?

ලෝකයේ රංගනය කියන දේ නිශ්චිත හැදෑරීමක් සහිතව සිදුකරන නිරන්තර පුහුණුවේ යෙදෙන්න අවශ්‍ය මානසික ගනුදෙනුවක්, විද්‍යාවක්. නමුත් අපි මේ විෂය අතපත ගාපු අය. අපි කොහොමත් වැඩ ගොඩක් එකවර කරන්න පුරුදු වුණු අය. ශිල්පියෙක් ජනප්‍රිය වූ විට බොහෝ නිර්මාණ සඳහා ආරාධනා ලැබෙනවා. මේකෙන් හොඳම දෙකක් තෝරා ගන්නේ කොහොමද කියන එක ගැන සවිඥානික වෙන්න ඕනෑ. නමුත් ලෝකයේ කිසිම නළුවකුට බැරුව ඇති දුරකථනයට ඒ මොහොතේ ලැබෙන පිටපත කියවලා රඟපාන්න. අපි එහෙම රඟපානවා ප්‍රේක්ෂකයොත් බලාගෙන සිටිනවා. මේ දෙක හොඳයි කියලා අපි සිතනවා, මොකද අපි එතැනින් එහාට දෙයක් දැකලා නැහැ. නමුත් ලෝකයේ ඇතැම් රංගන ශිල්පීන් එක චරිතයක් වෙනුවෙන් අවුරුද්දක් පමණ කැපවෙනවා. ඉන්දියාවේ මේ දෙකම දකින්න පුළුවන්. නමුත් අපි හරිම දේ දකින්නේ අඩුවෙන් නිසා, දකින දේ හරියි කියලා සිතන්න හුරුවෙලා සහ අපිට හුරු කරලා. අපේ ශිල්පීන්ව අඩු තක්සේරු කරන්න හොඳ නැහැ. මොකද විවිධ දක්ෂතා තිබෙන ශිල්පීන් අපිට සිටිනවා.

තිබෙන පහසුකම්, තාක්ෂණය සහ මූල්‍ය තත්ත්වය සමඟ අන්තර්ජාතික නිර්මාණ සමඟ අපේ නිර්මාණ සන්සන්දනය කිරීම සාධාරණ ද?

මම සිතන්නේ අපට සන්සන්දනය කරන්න බැරිකමක් නැහැ. අතීතයේ නිධානය වගේ චිත්‍රපට ගත්තත්, අද නිර්මාණය කරන චිත්‍රපට ගත්තත් විදෙස් සිනමා උළෙලවල් නියෝජනය කරන්න, ඇගයීම් ලබන්නට සමත් වෙලා තිබෙනවා. නමුත් අපි ලංකාවේ වෙළෙඳපොළ හ¾දුනාගෙන නැහැ කියලායි මම සිතන්නේ. ලෝකය ඇතුළේ අපිට වෙළෙඳපොළක් හදාගන්න බැරිවෙලා තිබෙනවා. රටින් පිට සිටින අපේ මිනිසුන් දිනාගන්න පුළුවන් නිර්මාණයක් බිහි වෙන්නෙත් හරිම කලාතුරකින්.

එක සීමාවක් තිබෙනවා, ඒ සීමාව පසුකර යන්න නොහැකි තත්ත්වයක් අපට තිබෙනවා. අපි රජ කතාවක් නිර්මාණය කරන්නේත් අපේ තිබෙන දුප්පත්කමත් එක්ක. එවිට ලෝකයේ වෙළෙඳපොළත් එක්ක මේකට තරග කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඇතිවනවා. ඒ හිස්කම අපි පුරවා ගන්නේ නැහැ. මේ සීමාව පසු කරන්න හැකියාව තිබෙන නිර්මාණකරුවන් සිටිනවා. මම බලාපොරොත්තු වනවා එක චිත්‍රපටයක් දෙකක් මේක පසු කළොත් අපට වෙළෙඳපොළක් හැදෙයි.

අධ්‍යක්ෂණ කාර්යයට පිවිසෙන්න අදහසක් නැද්ද?

මම නළුවෙක් වෙන්න සිතාගෙන සිටි කෙනෙක් නොවෙයි. මම රූපවාහිනි මාධ්‍යයේ කටයුතු ආරම්භ කළේ තාක්ෂණ ශිල්පියෙක් විධියට. කාලයක් ආසාව තිබුණේ හොඳ කැමරා ශිල්පියෙක් වෙන්න. ඒ තිබෙන අත්දැකීම් සමඟ අධ්‍යක්ෂණයට පිවිසෙන්න අදහසක් තිබෙනවා. මම එහෙම කළ වැඩ දෙක තුනක් මගේ නම නොමැතිව වෙනත් නම්වලින් තිරගත වුණා. එහෙම දේවලුත් තිබෙනවා. කෙසේ වුවත් දැනට මේ තිබෙන ක්‍රමවේදය සමඟ මම සිතමින් සිටිනවා. මම අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයක් සහ මියුසික් වීඩියෝවක් තිබෙනවා. නිෂ්පාදකවරයා අපහසුතාවට පත් නොකර හොඳ නිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා.

බිමල් ජයකොඩි කියන්නේ ප්‍රතිරූපයක් නඩත්තු කරන රංගන ශිල්පියෙක්ද?

මට ප්‍රතිරූපයක් තිබෙනවා. ඒක මට කරදරයක් වන එකක් නොවෙයි. මට කරදරයක් නොවෙනවා කියන්නේ මම දන්නවා ඒක වෙන කෙනෙක්ට කරදරයක් වන්නෙත් නැහැ. මම රංගන ශිල්පියෙක් විධියට මගේ කැපෑසිටි එක දන්නවා. මම මා ගැන අධිතක්සේරුවකින් හෝ අවතක්සේරුවකින් සිතන්නේ නැහැ. මම බොහොම නම්‍යශීලී මිත්‍රශීලී ප්‍රතිරූපයක් සමඟ වැඩ කරන කෙනෙක්. රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් අත්අඩංගුවට ගනිමින් රටේ මේ පවතින දේශපාලන වාතාවරණය ගැන ඔබේ අදහස කුමක්ද?

මේ මොහොත වන විට රටේ සිදුවන සිදුවීම් සම්බන්ධව දැඩි කලකිරීමකින් සිටින්නේ. අපේ ශ්‍රමය, ධනය සහ කාලය කැප කරමින් ජනතාවත් සමඟ සිටගෙන මේ රටේ තිබෙන ප්‍රශ්නය කුමක්ද කියන එක අත්තනෝමතික පාලකයන්ට පෙන්වා දුන්නා. මේ රට ගොඩ ගන්න අවශ්‍යයි කියලා අපි යම් ඉවසීමකින් වැඩ කරන වෙලාවක, අපි නොසිතූ පාලකයො පත්වෙලා, අපරාධකරුවන්ට ඇමැතිකම් දෙමින්, වරප්‍රසාද දෙමින්, රට වෙනුවෙන් කතා කරපු ආදරණීය මිනිසුන්ව අත්අඩංගුවට ගනිමින් සිදුකරන මේ ක්‍රියාවලිය පිළිබඳව කලකිරීමක් තිබෙන්නේ. යම් සාධනීය ලක්ෂණ තිබෙනවා. නමුත් පාලකයො ඒ කාරණා භාවිත කරලා අත්තනෝමතික ලෙස ක්‍රියා කරනවා නම් පාලකයන්ට මතක් කරන්න සිදුවෙනවා ඔවුන් සිටින්නේ කොතැනද ජනතාව සිටින්නේ කොතැනද කියන කාරණාව.

කුශාන්ති අනුරාධා බණ්ඩාර