සැබෑ ඉස්ලාමය යනු කුමක්ද?

0
18

“ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්,

1. අවනත වීම

2. සාමය

සර්ව බලධාරි ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත්වීම ලොව ඇති එකම යහමඟයි. මෙම ඉස්ලාම් නමැති යහමඟ සර්ව බලධාරී දෙවියන් වහන්සේ තම බලපරාක්‍රමයෙන් විශ්වයේ ඇති ජීවී හා අජීවී සියලු වස්තූන් කෙරෙහි යොදවා ඇති ස්වභාවධර්මය නම් න්‍යාය ධර්මයයි. මෙම ඉස්ලාම් නමැති න්‍යාය ධර්මය අභිභවා කිසිවකුට හෝ කිසිවකට ගමන් කළ නොහැකිය.

අප ජීවත් වන මෙම විශ්වය ගැන මඳක් විමසා බලමු. විශ්වයේ ඇති සියලු දෑ නිසි පිළිවෙළකට අනුව ක්‍රියාත්මක වීම දැකිය හැකිය. ඉර සඳ ඇතුලු ග්‍රහවස්තු සියල්ල යම් කිසි දිව්‍යම න්‍යායකට අනුව ක්‍රියාත්මක වේ. මේවා සියල්ල නොවෙනස් කළ හැකි න්‍යාය ධර්මයකට අනුව ක්‍රියාත්මක වේ. ඉස්ලාමීය පරිභාෂිතයෙන් කියනවා නම් ඒවා සියල්ල ඒකක දෙවියන් වහන්සේගේ අණ අල්පමාත්‍රයකින් හෝ කඩ නොකර සහමුලින්ම උන්වහන්සේට අවනත වී ක්‍රියාත්මක වෙයි.

මේ ආකාරයටම විශ්වයේ ඇති කුඩාම වස්තුව වන පරමාණුවක් ගැන සලකා බලන කල එහි න්‍යෂ්ටිය වටා කුඩා අංශුවක් වන ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. මේ කරුණු අධ්‍යයනය කිරීමේදී අපට වටහාගත හැකි කරුණ නම් විශ්වයේ විශාලම අංශය වන ග්‍රහ වස්තූන්ගේ සිට කුඩාම අංශුව වන පරමාණුවෙනුත් කොටසක් වූ ඉලෙක්ට්‍රෝනය දක්වාම ඒවායේ මැවුම්කරුවාණන් වන සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඒවාට ලැබී ඇති අණට කීකරු වී ඒවා අල්පමාත්‍රයකින් හෝ කඩ නොකර ක්‍රියාත්මක වන බවයි.

මේ මිහිතලය මත ඇති ගස් කොළන්, සත්ත්වයන්, පක්ෂීන් ඇතුලු ජීවී හා අජීවී සියල්ල මේ ආකාරයටම ස්වභාවධර්මය නම් දිව්‍යම න්‍යායට (ඉස්ලාමයට) අනුව, නියතියකට අනුව ජීවත් වේ. එනම් මේවා සියල්ල ඒවායේ මැවුම්කරුවාණන් මෙන්ම පාලකයාණන්ද වන සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට මුළුමනින්ම අවනත වී ජීවත් වෙති.

මනුෂ්‍යයාගේ ජෛව විද්‍යාත්මක පැත්ත ගැන සලකා බලන විටත් අපට වටහාගත හැක්කේ කුඩා සෛලයේ සිට හෘද වස්තුව, මොළය ඇතුළු සියලු කායික ඉන්ද්‍රියයන්ද දෙවියන් වහන්සේගේ නියමයට යටත් වී අවනත වී ක්‍රියාත්මක වන අතර සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නියම අල්පමාත්‍රයකින් හෝ කඩ නොකරන බවයි.

ඉහත කරුණුවලින් පැහැදිලි වන්නේ මේ මිහිතලය මත ඇති ඉතාම කුඩා අංශුව වන පරමාණුවේ සිට අෑත අහසේ දිළිසෙන මන්දාකිණි, ඉර, සඳ, ග්‍රහ වස්තූන් අහස, පොළොව ඇතුළු සියලු අභ්‍යවකාශ වස්තූන් සර්වබලධාරියාද සියල්ල දන්නාද වන ඒකක දෙවියන් වහන්සේගේ නියමයට සහමුලින්ම අවනත වී සිටින නිසා ඒවා සියල්ල ඉස්ලාම් වන බවයි. මේ අයුරින්ම මෙලොව ඇති ජලය, තාපය, කඳු, ගස්, වැල්, සිවුපාවුන් ඇතුලු (මිනිසුන් හැර) ජීවී හා අජීවී සියල්ල ඒකක දෙවියන් වහන්සේගේ නියමයට අල්පමාත්‍රයකින් හෝ පිටුපා නොයමින් මුළුමනින්ම අවනත වන නිසා ඒවා සියල්ල ඉස්ලාම් වේ.

මෙසේ මිනිසා හැර මේ පෘථිවිය මත ඇති ජීව අජීව සියල්ල තම බල මහිමයෙන්ම ඉස්ලාම් බවට (දෙවියන් වහන්සේට යටත් වන තත්ත්වයට) පත් කළ සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේ මිනිසාට පමණක් විචාර බුද්ධියත් ඥානයත් දායාද කර, යහමඟ හෝ අයහමඟ තෝරා ගැනීමේ නිදහසද ලබාදී තම විචාර බුද්ධිය භාවිත කර අයහමඟෙන් අෑත් වී යහමඟ තෝරාගෙන සර්බලධාරී ඒකක දෙවියන් වහන්සේට මුළුමනින්ම අවනත වන ඉස්ලාමය නම් යහමඟෙහි ජීවත් වන මෙන් අණ කළ සේක.

මෙලොව ප්‍රථම මිනිස් යුවළ වන “ආදම්” හා “ඒව“ව මවා මෙලොවට යැවූදා සිට ඒ දෙදෙනාට හා ඔවුන්ගෙන් ව්‍යාප්ත වූ මෙම මුළු මහත් මිනිස් සංහතියටම විශ්වයාධිපති ඒකක දෙවියන් වහන්සේ ලබාදුන් පණිවුඩය වන්නේ ඒකක දෙවියන් වහන්සේ වන ඔහුට පමණක් නැමදුම් කර ඔහු විසින් ලබාදුන් දිව්‍යම නීතියට පමණක් අවනත වන ලෙසයි.

මෙම දිව්‍යම නීතිය මිනිසාට දැනුම් දීම සඳහා මිනිසුන් අතරින්ම යහපත් පුද්ගලයන්ව දෙවියන් වහන්සේ විසින් අනාගත වක්තෘවරුන් (නබිවරුන්) වශයෙන් තෝරා පත්කර එතුමන්ලාට දේව පුස්තකය ද පිරිනමන ලදී. මෙම අනාගත වක්තෘවරුන්ගේ මඟ පෙන්වීමට අනුව දෙවියන් වහන්සේට සහමුලින්ම අවනත වී දේව පුස්තකය මඟින් අණ කරනු ලැබූ දිව්‍යම නීතිය පිළිපඳිමින් ජීවත් වීමට “ඉස්ලාම්” යැයි කියනු ලැබේ. මෙසේ ජීවත් වන්නා “මුස්ලිම්” (ඉස්ලාම් නමැති කාර්ය ඉටුකරන්නා) යැයි හඳුන්වනු ලැබේ. මෙසේ දිව්‍යම නීතියට අවනත වීම තුළින් සාමය උදාකර ගැනීම ඉස්ලාම් වේ.

ලොව ඇති අනෙකුත් ආගම් හා දර්ශන ගැන මඳක් විමසා බැලූ විට අපට වටහාගත හැකි කරුණක් නම් ඒවා සියල්ල යම්කිසි පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක සමාජයක නාමයෙන් ව්‍යවහාරය වීමයි. නිදසුනක් ලෙස ක්‍රිස්තියානි ආගම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්ද, බෞද්ධාගම ගෞතම බුදුන් වහන්සේගේ නාමයෙන්ද ව්‍යවහාරය වේ. හින්දු ආගම ඉන්දියාවේ හින්දු සමාජයෙන් බිහිවූ නිසා හින්දු යන නමින්ද යුදෙව් ආගම යූදියා නමැති රටේ යූදා නම් ගෝත්‍රයේ බිහි වූ නිසා ඒ නමින්ද හඳුන්වනු ලැබේ. නමුත් ඉස්ලාම් දහම කිසිදු පුද්ගලයකුගේ හෝ රටක, සමාජයක නමින් ව්‍යවහාරය නොවේ.

දේව නීතියට සහමුලින්ම යටත් වී ජීවත් වන මෙන් අණ කරන මෙම දිව්‍යම දහමට ඉස්ලාම් යන අර්ථවත් නම තබන ලද්දේ සර්වබලධාරී දෙවියන් වහන්සේ වන අල්ලාහ් විසින්මයි. මේ ගැන අවසාන දේව පුස්තකයද කිසිදු විකෘති කිරීම්වලට ලක් නොවූ එකම දේව පුස්තකයද වන අල්-කුර්ආනයේ සර්වබලධාරී දෙවියන් වහන්සේ මෙසේ පවසයි. “අද දින ඔබලා වෙනුවෙන් ඔබලාගේ ආගම මම සම්පූර්ණ කළෙමි, ඔබලා වෙත මාගේ අනුග්‍රහයන්ද සම්පූර්ණ කළෙමි. තවද ඉස්ලාමය ඔබලා සඳහා ආගම වශයෙන් තෝරාගෙන ඇත්තෙමි, (අල්-කුර්ආන් 5-3).

මෝසෙස් තුමා හෝ ඊශ්‍රායලවරුන් වෙත පැමිණි කිසිදු අනාගත වක්තෘවරයෙක් තම වක්තෘ මෙහෙය ඉටුකරන විට යුදෙව් ආගම යන නම භාවිත කළ බව යුදෙව් ආගමික ග්‍රන්ථයන් වන තෝරා (කිතුනු බයිබලය පැරණි තෙස්තමෙන්තුවයි), ටැල්මුඩ් හෝ මික්නාෂ්වල කොතැනකවත් සඳහන් නොවන අතර යුදෙව් ආගම නමැති පදය බයිබල් ශබ්දකෝෂයේද නොමැත. එසේම යේසුස් වහන්සේද තම ආගම ක්‍රිස්තියානි කියා හෝ තම අනුග්‍රාමිකයන්ව ක්‍රිස්තියානියන් කියා හැඳින් වූ බවද බයිබලයේ කිසිම තැනක සඳහන් නොවේ. ක්‍රිස්තියානීන් යන වචනය ප්‍රථමයෙන්ම භාවිත කළේ අන්තියෝක් නම් ස්ථානයේ බවයි පහත බයිබල් වාක්‍යයෙන් පැහැදිලි වන්නේ.

“ගෝලයන්ව ක්‍රිස්තියානීන් ලෙස පළමු වරට හැඳින් වූයේ අන්තියෝකියේදීය.” (අලුත් ගිවිසුම – ක්‍රියා 11-26)

ඉහත බයිබල් වාක්‍යයට අනුව ක්‍රිස්තියානි නමැති පදය යේසුස් වහන්සේට බොහෝ කලකට පසු ව්‍යවහාරයට ආ වචනයක් බව පැහැදිලිය. මෙම තත්ත්වය කිතුනු දහම පදනම් කරගෙන හුවා දැක්වූවද ඉස්ලාම් හැර අනෙකුත් සියලු දහම්වලට අත් වූ ඉරණම මෙයයි. ඒ අනුව පැහැදිලි වන කරුණ නම් අනාගත වක්තෘවරු දේශනා කර ඇත්තේ දෙවියන් වහන්සේට අවනත වී උන්වහන්සේට පමණක් නැමැදුම් කර උන්වහන්සේගේ අණ පනත් හා නීති නියෝග අනුව ජීවත් වන ලෙසයි. එනම් ඉස්ලාමයට අනුව ජීවත් වන ලෙසයි. මෙහිදී ඉතාමත් වැදගත් කරුණක් දෙස අපි අවධානය යොමු කළ යුතුයි.

එනම් මුස්ලිම් නොවන බොහෝ දෙනෙක් සිතා සිටින්නේ සත් වන ශත වර්ෂයේ සෞදි අරාබියේ මක්කා නගරයේ ජීවත් වූ මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා වන බවයි. නමුත් සත්‍ය නම් මුහම්මද් නබි තුමාණෝ ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයාණන් නොව එම පිවිතුරු දහම ලොවට දේශනා කළ අනාගත වක්තෘ දම්වැලේ අවසන් පුරුකය යන්නයි.

ඇත්ත වශයෙන්ම විශ්වයේ අධිපති ඒකක දෙවියන් වහන්සේ වන සර්වබලධාරී අල්ලාහ් විසින් ඉස්ලාම් දහම මුලින්ම දෙනු ලැබුවේ මෙලොවේ ප්‍රථම මිනිසා ද ප්‍රථම අනාගත වක්තෘවරයාද වූ ආදම් (අලෛ) තුමාටයි. එතුමාගෙන් පටන් ගෙන මෙලොවට ආ නෝවා (නූහ්) එබ්‍රහම් (ඉබ්රාහීම්) දාවිත් (දාවූද්) මෝසෙස් (මූසා) යේසුස් (ඊසා) ඇතුළු සියලු අනාගත වක්තෘවරුන්ගේ ආගම වූයේද ඉස්ලාම යයි.

මේ ආකාරයට මේ මිහිතලය මත ඉස්ලාම් නමැති විශ්වයාධිපති ඒකක දෙවියන් වහන්සේට අවනත වීමේ පිවිතුරු දහම ස්ථාපිත කිරීම සඳහා උන්වහන්සේ විසින් ලක්ෂයකටත් අධික අනාගත වක්තෘවරුන්ව තෝරා පත්කර ඔවුන්ට පුස්තකයද ලබාදෙන ලදී. නමුත් එක් අනාගත වක්තෘවරයෙක් ඉස්ලාමය නිවැරදිව ස්ථාපිත කර පුස්තකයද ජනතාව අතරට පත්තොට මියගිය පසු එම අනාගත වක්තෘවරයාව දෙවියන් වහන්සේගේ තත්ත්වයට සමාන කර එතුමාට වැඳුම් පිඳුම් කිරීමත් එතුමා විසින් දෙවියන් වහන්සේගෙන් ලබාදුන් දේව පුස්තකයට මිනිසාගේ අදහස් ඇතුළුකොට එහි දිව්‍යම භාවය කෙලසීමටත් එම සමාජය ඉදිරිපත් වූහ. ඉන්පසු නැවතත් තවත් අනාගත වක්තෘවරයකුගේ අවශ්‍යතාව පැන නැඟිණි.

ඉබ්නු ජෙමීල් මහත්මයා විසින් රචිත “ඉස්ලාම් යනු කුමක්ද?” නම් ලිපියෙන් උපුටා ගත්තකි.

ඉතිරිය ලබන සතියට…