සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැඟිටියව්!

0
40

“සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැඟිටියව්” යනුවෙන් පිලිප්ලා, ඇන්. ඇම්. ලා, 40 දශකයේ ඉදිරිපත් කළ සටන් පාඨයට අනුගත වෙමින් එදා මේ රටේ කම්කරු පන්තිය යටත්විජිත ආණ්ඩුවට එරෙහිව නැඟී සිටියහ. එහෙත් කම්කරු පන්තියට නායකත්වය දීමේ වගකීම සේනානායකලාට, බණ්ඩාරනායකලාට භාරදී වාමාංශික ව්‍යාපාරය පසුපසින් සිට ගත්තේය. 21 සියවසේ දෙවැනි දශකයේදී එයම නැවතත් සිදු වෙමින් තිබේ. සාදුකින් පෙළෙන උන් නැඟිටින විට සාම්ප්‍රදායික වමේ ව්‍යාපාරය තරුණයන්ගේ අරගලයේ කේන්දරය බලමින් සිටී. 1947 සමස්ත මහා වැඩ වර්ජනයේදී වැඩ වරා වීදි බට කම්කරු ජන සමූහයා උද්වේගයෙන් ගෝල්ෆේස් පිටියට ඒකරාශි වූ විට වමේ නායකයෝ  ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වඩම්මවාගෙන පැමිණ රැස්වීමේ මුලසුන භාර දුන්හ.

1952 අගෝස්තු 13 හර්තාලයේදී සාදුකින් පෙළෙන ජනතාව වීදි බැස නගරයේ පාලනය තමන් අතට ගත්විට ලසසප කොල්වින් ආර්. ද සිල්වා එක්දින හර්තාලය මෙතෙකින් සමාප්ත යැයි පස්වරු 3.00ට නිවේදනයක් නිකුත් කළේය. කොළඹ වරායෙන් පිටත නවතා තිබූ නිව් ෆවුන්ඩ්ලන්ඩ් නෞකාවේ සැඟවී සිටි අගමැති ඩඩ්ලි සේනානායක ප්‍රමුඛ කැබිනට්ටුව නැවත රටට ගොඩ බැස්සේ කොල්වින්ගේ නිවේදනයෙන් පසුවය.

ඩී.ඇස්. සේනානායක, බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන ඇතුළු ධනපති පන්තිය කළු සුද්දන් ලෙස හැඳින්වූයේ ලංකා සමසමාජ පක්ෂය විසිනි. සුද්දන්ගෙන් පසු කළු සුද්දන් අතට බලය මාරුවන විට වාමාංශික ව්‍යාපාරය සැබෑ නින්දේ සිටියා ද හොර නින්දේ සිටියාද යන ප්‍රශ්නයට මේ වනතුරු විස¾දුම් සොයා ගැනීමට  නොහැකිවී තිබේ.

ලංකා සමසමාජ පක්ෂය අවුරුදු 87ක් දේශපාලනය කර තිබේ. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය අවුරුදු 78ක් දේශපාලනය කර තිබේ. 1964 වෙසක් පෝයදා ආරම්භ කළ ජනතා විමුක්ති පෙරමුණට වයස අවුරුදු 58කි.

දැන් නැවතත් රටේ ජනතාවට සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැඟිටියව් කියන්නට සිදුව තිබේ. සියවසකට ආසන්න කාලයක් තිස්සේ මෙරට පාලන බලය ඉසිලූ දේශපාලන පක්ෂ රටේ ජනතාවගේ සාගින්දර නිවන්නට අසමත් වී තිබේ. තිස්ස විතාරණලා, ඩීව් ගුණසේකරලා, වාසුදේව නානායක්කාරලා අන්ත ජාතිවාදීන් සමඟ එක්ව සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැඟිටියව් කියනවිට මතකයට එන්නේ ඉතිහාසයේ සරදම සියල්ල කණපිට පෙරළයි කියන ලතින් කියමනය.

ඉතිහාසයේ එකම දෙය දෙවතාවක් සිදු නොවන බවත් එසේ සිදුවන්නේ නම් එය විගඩමක ස්වරූපය ගන්නා බවත් කාල්මාක්ස් කියා තිබේ. එසේ නම් අප මේ දකින්නේ ඒ විගඩම විය        හැකිය. මන්ද මේ පිරිස පසුගිය ආණ්ඩු බොහොමයක ඇමැති තනතුරු දරමින් මේ රටට ප්‍රතිපත්ති සම්පාදනය කළ නිසාය. රාජපක්ෂ රෙජීමයේ දේශද්‍රෝහී ක්‍රියා සියල්ල අනුමත කළ නිසාය. ශ්‍රී ලංකාව අසාර්ථක මාවතක අගාධය කරා ගෙන යෑමට ඉහළින්ම දායක වූ නිසාය. රට හරි මඟට ගන්නට මේ පිරිසට මතක් වී තිබෙන්නේ වීණා වයන්නට බැරි මහලු වයසට ඔවුන් ළඟා වූ පසුය.

මොවුන් නැවතත් සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැඟිටියව් කියන්නේ

“මේ ගසේ බොහෝ පැණි ‍ෙදාඩම් තිබේ. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී. වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී” කිව්වා වගේ ළමා ගීතයක් ලෙස සලකා විය යුතුය.

තමන්ගේ දායකත්වයද ඇතිව නිර්මාණය කළ අර්බුදය හේතුවෙන් රට බංකොලොත් වූ විට ඔවුන්ට කියන්නට ඉතිරිව ඇත්තේ කුමක්ද? ජාතික ධනය හොරා කෑ පිරිසට එරෙහිව කැබිනට් මණ්ඩලවල වචනයක් කතා නොකළ මොවුන් ජනතාව සාදුකින් පෙළෙන විට අද මොනවා කිව්වත් ඇති ඵලය කුමක්ද?

තරුණ පරපුර අයිතීන් ඉල්ලා පාරට බැස්සේ දේශපාලකයන් ඔවුන්ගේ වගකීම් ඉටු නොකරන බව  ඉ¾දුරාම  වැටහුණු නිසාය. අරගලය අල වී නම් එයට වගකිව යුත්තේද මොවුන්ය. ජේ.ආර්. ජයවර්ධන එදා නීත්‍යනුකූල දේශපාලනයේ නියැළෙමින් සිටි ජ.වි.පෙ. තහනම් කළ විට ජ.වි.පෙ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් වචනයක් කතා නොකළ පිරිස්, උතුරේත් දකුණේත් දහස් ගණන් මිනිසුන් මරා දමද්දදී ඔවුන්ගේ මානව හිමිකම් ගැන වචනයක් කතා නොකළ උදවිය, වර්තමාන ආණ්ඩුව අරගලය අනීතිකව මර්දනය කරන විටද නිහඬව සිටිති. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය තෝරන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුවය.

ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, රොබට්  ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, පීටර් කේනමන්, ‍ෙදාස්තර වික්‍රමසිංහ, එඩ්මන් සමරක්කොඩි, වෛත්‍යලිංගම්, එන්. ෂන්මුගනාදන් ආදී වාමාංශික නායකයෝ 1930 සිටම ජාතික දේශපාලන කරළියේ සිටියෝය. ලංකා ජාතික සංගමයේ අති දක්ෂිණාංශික පිරිස වූ ඩී. එස්. ලාට මුල් පුටුව දී ඇන්. ඇම්. ලා පස්සට තල්ලු වූයේ ඔවුන්ගේ පන්ති පදනම නිසාද එසේ නැතිනම් දේශපාලන උපාය මාර්ග හරියාකාර ග්‍රහණය කරගැනීමට අසමත් වූ නිසාද යන්න වෙනම විභාග කළ යුතුය. ලංකාව මේ ගොඩ වෙදුන් සියලු දෙනාගේම පිහිටෙන් ලෝකයේ බංකොලොත්ම රාජ්‍යයක් බවට පත් වී තිබේ.

1931දී සූරියමල් ව්‍යාපාරය විසින් නිකුත් කළ පත්‍රිකාවක මෙසේ සඳහන්ව තිබිණි.

“ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දුරදිගට සලකා බැලුවහොත් ඔබ පමණක් නොව මුළු රටම මීට කලින් නො වූ විරූ අන්දමින් දුක් විඳින බව ඔබට පෙනී යනු ඇත. ඉහත දී සශ්‍රීකව පැවති ගම්මාන අද සාගින්නෙන් පෙළෙන තත්ත්වයට පත්වී ඇති බව දැක ඔබ පුදුමයට පත්වනු ඇත. වඩාත්ම සෝබර කරුණ නම් ගැමියන්ගේ දිරිය සිඳී ගොස් තිබීමය. ඔවුන්ගේ කර්මාන්ත අභාවයට යමින් පවතී. පෙරදිග විශාලතම ධාන්‍යාගාරය අද ස්වකීය ගම්මානවලට පවා අවශ්‍ය ආහාර සපයා ගැනීමට නොහැකිව තරමට බංකොලොත් වී ඇත.

මේ රටේ නිෂ්පාදන ශක්තිය බින්දුවට බැස ඇත. මුදල් ණයට දෙන්නන් සහ යුරෝපීය ධනපතියන් එහි සාරය අන්තිම බින්දුව තෙක් උරා ගෙන ඇත.  ඒ පැරණි සශ්‍රීක ලංකාව අද අනාථය. අපට සිදු වී ඇති මේ අභාග්‍යසම්පන්න ඉරණම ගැන ඔබ තවත් කොතෙක් කල් ඇස් කන් පියාගෙන සිටිනවාද? අද අපි වහල්ලුය. මේ වහල්භාවය අපට තවදුරටත් ඉවසා ගෙන සිටියහොත් අපට සදහටම වහලුන් ලෙස ජීවත් වීමට සිදු වෙනු ඇත. අප නොවැටිය යුතුය. මේ වයන්නේ පුද්ගල නිදහසේ මළබෙරයයි. අපේ මුළු රටම විනාශ මුඛයට පත්කර ඇත. එබැවින් අපි පිබිදී අපගේ නිදහස සඳහා පෙළගැසිය යුතුය. නරිනාටක සහ විගඩම්  වර්ජනය කරන්න. ඔබේ ආත්මයත්, ඔබේම ඔබේ ගෞරවයත් විකුණා දැමීමට තරම් මෝඩ වන්න එපා. මේ රුධිරය උරා බොන පිසාචයන්ගෙන් ආරක්ෂා වන්න නැඟිටින්න නිදහස සඳහා කෙරෙන සටනට සෑම දෙනාම එකමුතු කරන්න.”

(Left movement – v k Jayawardena 1971, p. 212-14)

සූරිය මල් ව්‍යාපාරය  වසර 91කට පෙර කියූ කතාවම අද යළිත් කියන්නට සිදුව තිබේ. ආසියාවේ වෙනත් කිසිදු රාජ්‍යයක මෙවැනි නස්පැත්තියක් සිදු වී නැත.

ඉන්දීය නිදහස් සටනේ නායකයෝ ඇරඹූ තැන සිට ඉදිරියට අදත් ඉන්දියාව ගමන් කරමින් සිටී. ඔවුන් ලෝක බලවතුන්ට බයත් නැත. ණයත් නැත. අපේ රට වර්තමාන විනාශය කරා ඇදගෙන ගියේ ශෝක ගීත ගායනය කරමින් නොවේ. ඓශ්චර්ය කරා, රට පෙරට, සුබ අනාගතයක්, පුබුදමු ලංකා, ඉතින් හදමු අපි අලුත් රටක් ආදී මෝඩ චූන්වලින් ජනතාව අන්දවමිනි.

වාසුදේවලා ගැටව් කාලයේ කියූ සටන් පාඨ දැන් නැවතත් කියන්නට පටන් ගෙන තිබේ. වාසු පමණක් නොව, ජේ. ආර්. ජයවර්ධන ද ඉලන්දාරියා කාලයේ හොඳ විප්ලවකාරයෙකි.

1939 මාර්තු 4 පැවැති ලංකා ජාතික සංගමයේ රැස්වීමකදී ජේ. ආර්. ජයවර්ධන  මෙසේ ප්‍රකාශ කර තිබේ.

“අපගේ කැමැත්තකින් තොරව බලෙන් අප පිට පටවන කවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වුව ද කඩාබිඳ දැමීමට අප පසුබට නොවන බව කිව යුතුය. හිඟන පොල්කටු අතින් ගත් අපේ දේශපාලනඥයන්ගේ පිළිවෙත අප සදහටම ඉවත් කර ඇති බව මේ මොහොතේ කියා සිටිමු. පෙස්සම් සන්දේශ සහ නියෝජිත පිරිස් එංගලන්තයට යැවීමේ දේශපාලන උපක්‍රම ගැන අපේ නායකයන්ට කොතරම් පළපුරුද්දක් තිබුණත් ජාතික සංගමය තුළ සිටින තරුණ පිරිස් ඉදින් අවශ්‍ය වුවහොත් නිදහස ලබා ගැනීම සඳහා වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සූදානමින් හා අධිෂ්ඨානයෙන් සිටින බවද මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නෙමි.

ලංකාවේ ජීවත් වන අප යටත් රටක ජීවත්වන වහල් ජනතාවක් බවත් මේ රටට එන සෑම ආණ්ඩුකාරයෙක්ම මිනිසකු වශයෙන් කොතරම් හොඳ වුවත් අධිරාජ්‍යවාදය නමැති දුෂ්ට ක්‍රමයේ අවයවයන් බවත් එබැවින් ආණ්ඩුකාරවරයාගේ යහපත් චේතනා ගැන විශ්වාසය තැබිය නොහැකි බවත්  ප්‍රකාශ කරනු කැමැත්තෙමි.”

(Amarasingha-Trotskyism 1974 P.35.)

සබරගමුවේ ජනප්‍රවාදවල එන මහ බඹාට මුහුණු දෙකකි. මෙරට දේශපාලකයන්ටද එසේය. මුහුණු දෙකකි. බලය ලැබුණු විට උන්ගේ මුහුණ එකකි. බලය නැති විට තවත් මුහුණකි. ඒ නිසා ජනතාව මොවුන්ගෙන් පරිස්සම් විය යුතුය. දවල් මිගෙල් රෑ දනියෙල් ජඩ දේශපාලනය තවදුරටත් ගෙන යන්නට ඔවුන්ට ඉඩ නොදිය යුතුය. ඉතිහාසය විසින් සියලු ජනතාද්‍රෝහී බලවේග එකම වේදිකාවකට නංවා තිබේ. රට මුහුණ දී ඇති එකදු ප්‍රශ්නයකට හෝ විස¾දුමක් නැති මේ පිරිස ඉල්ලන්නේ ලේ සහ ක¾දුළුය. යන යක්කු කොරහත් බිඳගෙනම යනු ඇත. තරුණ පරපුර ඉතාමත් ඉවසිලිවන්තව මේ තීරණාත්මක නිමේෂය පසු කළ යුතුය.

උදේනි සමන් කුමාර