ස්වර්ග රාජ්‍යයද නරකාදියද ඔබම තීරණය කරන්න

0
54

ශුද්ධ වූ බයිබලයේ නව ගිවිසුම තුළ මතෙව් තුමන්ගේ සුවිශේෂයේ 5/3-12 සහ ලූක් තුමන්ගේ සුවිශේෂයේ 6/20 – 23 දක්වා ක්‍රිස්තුස් දේශනය මෙය හඳුන්වනු ලබයි. ඒ අනුව මෙම භාග්‍ය 8ම පහත සඳහන් ආකාරයට අපට ගෙනහැර දැක්විය හැකිය.

1. බැති සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය.

මෙයින් අදහස් කරනුයේ මුළු හදවතින්ද මුළු ධෛර්යයෙන්ද මුළු විශ්වාසයෙන්ද දෙවියන් වහන්සේගේ ආදරය ප්‍රාර්ථනා කිරීමයි. දෙවියන් වහන්සේ යන සංකල්පය තුළ ආදරය දීම සහ ආදරය ලබා ගැනීම අප ජීවිතයේ ලබන වාසනාවන්ත අවස්ථාවකි. එම වාසනාව අප සංකේතවත් කරන්නේ ස්වර්ග රාජ්‍ය වශයෙනි.

යාථාර්ථය තුළ නරකාදිය සහ ස්වර්ග රාජ්‍ය යන සංකල්පය අප තේරුම් ගනු ලබන්නේ ස්වර්ග රාජ්‍ය සියලු සැප සම්පත්වලින් පිරි ස්ථානයක් බවත් නරකාදිය යනු සියලුම දුක් වේදනාවන්ගෙන් හෙබි ස්ථානයක් බවත් ය. ස්වර්ග රාජ්‍ය හෝ නරකාදිය අත්පත් කර ගැනීමේ අයිතිය, නිදහස අපට ලැබී තිබේ. ඒ අනුව සිතේ සතුට, සහනය, සමාදානය, කරුණාව, සෙනෙහස, සමඟිය, සාමය ඇත්තේ කොතැනද එතැන ස්වර්ග රාජ්‍යය නිර්මාණය වී ඇති බවයි. මේ අනුව අපට පැහැදිලි වන්නේ ඇත්ත වශයෙන්ම ස්වර්ග රාජ්‍යයේ උරුමක්කාරයෝ වන්නේ සැබැවින්ම ගැඹුරු ආධ්‍යාත්මික පදනමක් ඇති අයට පමණි.

02. ශෝක වන්නේ භාග්‍යවන්තයෝය. ඔවුහු සැනසීම ලබන්නෝය.

ශෝකය යනු වේදනාවයි. දුක – වේදනාව වාසනාවක් වන්නේ කෙසේද? යුක්තිය, සාධාරණත්වය, සාමය, සමඟිය මෙන් අන් අයගේ යහපත සඳහා ජීවිතය කැප කරන අයට බොහෝවිට කඳුළු සලන්නට සිදුවීම නොරහසකි. නමුත් යම් දිනකදී තමුන්ට සැනසීමෙන් මැරෙන්න මෙන්ම ජීවිතයේ සතුට ලබා ගන්නට පුළුවන් වන්නේ නිර්භීතව පිටකොන්දක් ඇතිව ක්‍රියා කරන අයට පමණයි. මේ සඳහා දේවමාතාවන්ගේ ජීවිතය මෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයත් සියලුම ශුද්ධවන්තයන්ගේ හා ප්‍රාණ පරිත්‍යාගිවරුන්ගේ ජීවිතය අපට අභියෝගයකි. ඒ අනුව ඉතා පැහැදිලි වන්නේ ජීවිතය තුළ යම් ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා සෑම මොහොතකදීම සතුට පමණක් නොව වේදනාව විඳින්නටද අප සූදානම් විය යුතු බවයි.

03. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔහු දේශය උරුම කර ගන්නෝය.

බොහෝ නායකයන් තම රට තුළ බලය තහවුරු කර ගන්නේ ජනතාව රවටමින්, නොමඟ යවමින්, බොරු පොරොන්දු දීමෙන්, රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කිරීම තුළිනි. ඔවුන් මේ සියලුම දේ කරනු ලබන්නේ කෙටි කාලීන රාජ්‍යක් උරුම කරගනු සඳහාය. ඔවුන්ගේ පාලන කාලය ඉතා කෙටි වන අතර ඔවුන්ගේ පැවැත්මද ඉතාමත් කෙටි වේ. නමුත් නිහතමානී නායකත්වය තුළින් සහ ආදර්ශවත් නායකත්වයක් තුළින් ජනතාවගේ හදවත් දිනාගත හැකිය.

මෙම කාරණා කිස්තූස් වහන්සේගේ නායකත්වය තුළින් අපහට ඉතාමත් පැහැදිලි කර ගත හැකි එමෙන්ම උන්වහන්සේගේ මිය යෑමෙන් පසුවත් උන්වහන්සේ ගොඩනැඟූ දේව රාජ්‍ය තවමත් ජීවමානව ලෝකය තුළ පවතී. උන්වහන්සේ තුළ තිබුණු සරල භාවය, චාම් ගති ගුණ, සමාව දීම, අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් කතා කිරීම වැනි ගුණාංග තුළින් උන්වහන්සේ දේව රාජ්‍ය ගොඩනැග මෙලොව තුළ ප්‍රචලිත කරන ලදී. නමුත් දේශපාලන නායකයන් ගොඩනඟන රාජ්‍යන් ඉතා ඉක්මනින් කඩා වැටෙන බව නොරහසකි.

04. යුක්තිය උදෙසා සාපිපාස වන්නෝ භාග්‍යවන්තයෝය. ඔවුන් තෘප්තිමත් වන්නේය.

ලෝකයේ සිටින කිසිම දෙයකින් සැනසීමට පත් නොවන සත්ත්වයා වන්නේ මිනිසාය. මිනිසා තුළ තණ්හාව හට ගැනීමත් ඔහු ඉතාමත්ම කෑදරකමින් ජීවත් වෙනවා පමණක් නොව ආත්මාර්ථකාමී පුද්ගලයන් බවට පත්වීම නොරහසකි. අද සමාජය තුළ අයුක්තිය රජ කරවන්නට බොහෝ පාලකයන් තමුන්ගේ යැපීම සඳහා උත්සාහ දරන විටදී යුක්තිය රජකරවන්නට තවත් කණ්ඩායමක් ජීවිතය තුළ හඬනඟනු ලබයි. එම හඬ යම් දිනකදී පල දැරීම තුළින් ඔවුන් ගෙවා ගිය එම රජ අරගලයේ ක්‍රියා කලාපය ගැන අතිශයින් සතුටු වනු ඇත.

05. දයාවන්තයෝ භාග්‍යවන්තයෝය. ඔවුහු දයාව ලබන්නෝය.

යම් අයෙක් යමක් දිමට මෙන්ම ලබා ගැනීමටද අප පොහොසත් විය යුතුය. යම් අයකුට දයාව අප දැක්වුවහොත් පෙරළා අපට බොහෝ විට දයාව ලැබෙන්නට ඉඩ ඇත. වපුරන තරමට අපට පල නෙළා ගත හැකිය.

දයාව යනු කරුණාව දැක්වීමයි. දයාව දක්වන්නට ඔහු තුළ කාරුණික චරිතයක් තිබිය යුතුය. එම කාරුණික භාවය අප ඉගෙන ගන්නේ අප එ‍ෙ¾ඩ්රාණන් වන ක්‍රිස්තුස් වහන්සේ තුළිනි. අන් අයගේ දයාව ලබා ගැනීමට අප අපොහොසත් නම් ඊට ප්‍රධාන හේතුව උඩගුවයි. පොළොව මත පය ගසා අන් අයගේ දුක, වේදනාව දැනෙන අයට පමණයි දයාවන්තයෙක් විය හැක්කේ. දේව දයාව, දේව ආදරය ලබා ගැනීමේ ප්‍රධාන ක්‍රියාදාමයකි.

06. නිර්මල සිත් ඇත්තෝ භාග්‍ය වන්තයෝය. – ඔවුහු දෙවියන් වහන්සේ දකින්නෝය.

ශු. බයිබලයේ 1 ජොහාන් 4/16-21 දක්වා ඇති පරිච්ඡේදයේ සඳහන් වනුයේ දෙවියන් වහන්සේ යනු ආදරය යන ප්‍රකාශයයි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකි බවයි.

ඒ අනුව අපට පැහැදිලි වනුයේ ජීවමාන මිනිසාට ආදරය කිරීමෙන් පමණයි නොපෙනෙන දෙවියන් වහන්සේට ආදරය කළ හැක්කේ යන්නයි. එමෙන්ම එයින් අදහස් කරනුයේ නිර්මල සිතක් ඇති අයට පමණයි දේව ආදරය, කරුණාව, සෙනෙහස උදා කර ගත හැකි වන්නේ.

දෙවියන් වහන්සේ දකිනවා යනු ආදරය, අත්දැකීමයි. දේව ආදරය අපට පළමුව ලැබුණේ දිවැස්වරුන්ගෙන් සහ මොසෙස්තුමා වැනි නායකයන්ගෙනි. ඊශ්‍රායල් ජනතාව ඉදිරියේ මෙසෙස්තුමා දේව ආදරය, තම ජීවිතය කැප කිරීම තුළින් ප්‍රකාශ කළත් පාරාවෝ රජතුමා දේව ආදරයට පිටුපාමින් ඔහුගේ බලය රඳවා ගැනීම සඳහා ජනතාව විනාශ කිරීමට ක්‍රියා කරන ලදී. මෙම චරිත දෙක තුළින් අපට පැහැදිලි වන්නේ එක් අයෙක් තම කම නසා කුරුසිය දරාගෙන ජීවිත ගමනක් යන්නට උත්සාහ කළත් අනෙකා ධනය, බලය ඉදිරියේ දණ ගසා තම පෞද්ගලික උන්නතිය උදෙසා ජනතාව විනාශ මුඛයට ඇද දැමීමයි.

07. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය – ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නෝය.

ක්‍රිස්තූස් වහන්සේ අප හඳුන්වනු ලබන විශේෂ නමක් වනුයේ සාමයේ කුමරු වශයෙනි. දේව ස්වභාවය තුළ ජීවත් වන අයකුට පමණයි සාමය, සමඟිය, සමාදානය තම පවුල තුළත් ගම තුළත් රට තුළත් නිර්මාණය කළ හැක්කේ පළමුවෙන් තිබිය යුතු ප්‍රධාන සාධකය වනුයේ තට මෙන් තගේ අසල්වැසියාට ප්‍රේම කිරීම මෙන්ම හැම අයෙක්ම තමාගේ, සහෝදර, සහෝදරියන් ලෙස පිළිගැනීමයි. එමෙන්ම  සෑම ආගමකම මෙන්ම ජාතියකටම ගෞරව කිරීමයි. එහෙත් අපට පැහැදිලිව ප්‍රකාශ කළ හැකි දෙයක් වනුයේ ලෝකය තුළ ජනතාව ධනවත් සහ බලවත් වශයෙන් මෙන්ම ආගම් වශයෙනුත් බෙදී එකනෙකා තමා උසස් යන චේතනාව මත ජීවත් විමයි.

එයට පැහැදිලිම උදාහරණය වනුයේ ලෝකය තුළ තවමත් පවතින කළු – සුදු භේදය හෙවත් වර්ණ භේදයයි. මෑත කාලයේදී මූලධර්මවාදී වශයෙන් බිහි වූ යෝහෝවා සාක්‍ෂිකරුවන්, මුරටැඹ, කල්වාරි, ජේසු ජීවමානයි, ගැලවීමේ හමුදාව වැනි ක්‍රිස්තුස් වහන්සේ විසින් ගොඩනැඟූ ඒකීය සභාව කෑලිවලට කඩා කතෝලිකයන්ගේ පමණක් මිථ්‍යා මත ඇති කරමින් පවුල් තුළත්, ගම තුළත් රට තුළත් මිනිසුන්ගේ සිත් තුළත් සාමය වෙනුවට අසමඟිය ඇති කිරීමයි. එයින් අපට ඉතා පැහැදිලි වනුයේ යම් තැනැක තිබෙන සාමය සමඟිය නැති කරන අයෙක් වේද ඔවුන් තුළ දෙවියන් වහන්සේ වැඩ නොසිටින බවයි.

ඒ අය අයත් වන්නේ දේව පුත්‍ර භාවයට නොව සාතන්ගේ දරුවන් බවටයි. එමෙන්ම රට තුළ මෙන්ම ලෝකය තුළද දේශපාලනඥයන් විසින් කරනු ලබන්නේ ජනතාව බෙදීමක් බැවින් ඔවුන් තුළද දෙවියන් වහන්සේ වැඩ නොසිටන බවත් දේව පුත්‍ර භාවයට නොව සාතන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියා කරන බවයි. එබැවින් බැටළු හම් පුරවා ගත් වෘකයන් අප අතර සිටින බව අප අමතක නොකළ යුතුයි.

08. යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය – ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේය.

අසාධාරණය උදෙසා නැඟී සිටින යුක්තිය උදෙසා හඬ නඟන සාධාරණත්වය උදෙසා පෙනී සිටින්නට ඇත. ආත්ම ශක්තිය ඇත්ත වශයෙන්ම ජීවිතය තුළ ලබන උතුම්ම දායාදයකි. ක්‍රිස්තුස් වහන්සේ ජීවිතය තුළින් ඉගෙන ගැනීමට හැකි උතුම්ම පාඩම වනුයේ හඬක් නැති ජනතාවට ඔවුන් වහන්සේ හඬක් මෙන්ම ධනය, බලය ඉදිරියේ අසරණ වූ ජනතාවට සරණය වුණා පමණක් නොව ජන හදගැස්ම හඳුනාගෙන අපේ දුක – වේදනා උන්වහන්සේ භාරගෙන අප වෙනුවෙන් ජීවිතය පූජා කිරීම තුළින් ලෞකික රාජ්‍යක් නොව දේව රාජ්‍යයක් උදා කර ගනු ලැබීමයි.

අප සියලු දෙනාම ජීවත්ව ඉන්නේ ඉතා කෙටි කාලයයි. මෙලොවට අප පැමිණෙන විටදී කිසිම දෙයක් රැගෙන ආවේ නැත. එමෙන්ම කිසිම දෙයක් රැගෙන යන්නේ නැත. අපට ගෙනියන්නට ඉතිරිව ඇත්තේ අප කළ යහපත් දේ පමණයි. එම නිසා ජීවිතය අප ලැබූ භාග්‍යක් වන නමුත් මේ ලෝකයේ එකතු කරගත් ලෞකික වස්තූන් තුළ නොව තමුන් මෙලොව තුළ කළ යහපත් ක්‍රියාවන් තුළ පමණයි.

මිනිසකු ලෙස මෙලොව ඉපදීම භාග්‍යයක් වන අතර දෙවියෙක් ලෙස මොලොව ජීවත් වීම අප ලබන උතුම් භාග්‍යයකි. එමෙන්ම ශුද්ධවන්ත භාවයට පත් වීමට පෙර අප භාග්‍යවන්තයකු ලෙස ජීවත් විය යුතුය. කෙනකුගේ ශුද්ධවන්ත භාවය ර¼දා පවතින්නේ ඔහු ජීවත් වන කාලය තුළ දෙවියන් වහන්සේව නියෝජනය කරමින් ජීවත් විම තුළයි.

ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති

සැපට වැඩුණු කය පොළොවට දිරා යති

අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති

පිනට දුන්න දේ පමණක් ඉතුරු වෙති

මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම

ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම

ගඟේ මහිම නැතිවෙයි දිය හිඳුණාම

දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම

බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම

දීමෙන් හොඳ දීම දුගියාට දන් දීම

යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

කන බොන කෑම තනියම වළඳන්න එපා

අසරණ කෙනෙක් ආ විට එළවන්න එපා

අනුවණකමින් පව් සිදු කර ගන්න එපා

නොමැරෙන කෙනකු ලෙස ජීවත් වන්න එපා

ජයන්ත නිමල් විදානාරච්චි පියතුමා

මීසම් සේවක

සා. නිකුලා දෙව්මැඳුර – බෝපිටිය