සමාව දෙන අයට ඇත්තේ එක් ‍ෙදා්ෂයකි‍

0
20

දිනක් සියලු ඍෂිවරු රැස්වී භගවාන්ගේ ශ්‍රේෂ්ඨතම ස්වරූපය කුමක්ද යන්න තීරණය කිරීමට කතිකා කරගත්හ. ‘මට යන්න දෙන්න. බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන මොවුන් තිදෙනා පරීක්‍ෂා කරලා මේ තුන්දෙනාගෙන් ශ්‍රේෂ්ඨ කවුද කියලා සොයා ගන්නම්’  භෘගු ඍෂිවරයා කීවේය. මුලින්ම භෘගු ඍෂිවරයා ගියේ ධර්ම ග්‍රන්ථ කියවමින් සිටි බ්‍රහ්මයා බැලීමටය.

බ්‍රහ්ම යනු භෘගුගේ පියාය. නමුත් භෘගු තම පියාට නමස්කාර කළේ නැත. බ්‍රහ්මයා හොඳටම තරහ වෙලා භෘගුට කිව්වා, ‘ඔයා මෝඩ මිනිහෙක්. මගේම පුතා වුණාට ඔයාට හොඳ ගතිගුණවත් නෑ’ කියලා. නමුත් බ්‍රහ්මගේ භාර්යාව වූ සරස්වතී තම සැමියාට සන්සුන් වන ලෙස ඉල්ලා සිටියාය. ඉන්පසු භෘගු භගවාන් ශිව බැලීමට කෛලාෂ කන්දට ගියේය.

ශිව භෘගු පැමිණෙන බව දුටු විට, ඔහු භෘගුව වැලඳ ගැනීමට ඉක්මන් විය. නමුත් භෘගු ශිවට කිව්වා, ‘නවත්තන්න, මාව බදාගන්න එපා. ඔයාගෙ ඇඟේ අළු තියෙනවා, ගොඩක් අපිරිසුදුයි. මට ඔයාව වැලඳගන්න ඕන නෑ.’ ශිව කොතරම් කෝපයට පත්වූවාද කිවහොත් ඔහු භෘගුව ඝාතනය කිරීමට ආයුධය එසවීය. නමුත් පාර්වතී දේවිය ශිවගෙන් ඉල්ලා සිටියේ සන්සුන් වන ලෙසයි.

එවිට භෘගු ඍෂිවරයා වෛකුණ්ඨයට ගියේ භගවාන් විෂ්ණු නිදා සිටින විටය. භෘගු විෂ්ණු ළඟට ගොස් කිසිම හේතුවක් නොමැතිව හදිසියේම ඔහුගේ පපුවට පයින් පහර දුන්නේය. භගවාන් විෂ්ණු වහා අවදි විය. නමුත් භෘගු කෙරෙහි තරහා යනවා වෙනුවට ඔහු සිනාසෙමින් පැවසුවේ ‘ගෞරවනීය භෘගු, ඔබට රිදවීම ගැන මට සමාවෙන්න. මගේ පපුව ඉතා ශක්තිමත් සහ දැඩිය.

ඔබේ පාදයට හානියක් නොවේවා යැයි මම බලාපොරොත්තු වෙමි. මට ඔබේ පාදය සම්බාහනය කිරීමට ඉඩ දෙන්න.’ භගවාන් විෂ්ණුගේ හැසිරීම ගැන භෘගු ඍෂිවරයා බෙහෙවින් පැහැදුණේය. ඔහු ගොස් අනෙක් සියලුම ශාස්තෘවරුන්ට පැවසුවේ භගවාන් විෂ්ණු ශ්‍රේෂ්ඨ වන්නේ ඔහු කෝපයට පත් නොවන නිසා බවත් තමාට රිදවන අයට පවා සමාව දෙන බැවිනි.

මෙම කතාවෙන් අදහස් කරන්නේ විෂ්ණු ශිවට වඩා උසස් බව නොවේ. භගවාන්ගේ විවිධ ස්වරූපයන් හුදෙක් හොඳ ආදර්ශයක් තැබීමට සහ අපට යහපත් දේ ඉගැන්වීමට ඉදිරිපත් කරන ලද හින්දු කතාවකි.

හැමෝම වැරදි කරනවා. තමා අතිනුත් වැරැදි වෙනවා. එම නිසා, අප අන් අයට සමාව දිය යුතුය. මන්ද අපද අතීතයේ එම වැරැද්දම කර ඇති හෝ අනාගතයේදී එය කළ හැකි බැවිනි. සමාව නොදෙන්නේ පහත් මානසිකත්වයක් ඇති පුද්ගලයන් වන අතර, උසස් මානසිකත්වයකින් යුත් පුද්ගලයන් අන් අයගේ වැරැදිවලට සමාව දෙනු ඇත. එය දේව ගතියකි.

‘ඒක– ක්ෂමාවතාං ‍ෙදා්ෂෝ ද්විතීයෝ නෝපලභ්‍යතේ

යදේනම් ක්ෂමයා යුක්තම් අශක්තම් මන්‍යතේ ජනා– ’ (මහාභාරත – උදේ‍යා්ගපර්ව – 33 අධ්‍යාය)

සමාව දෙන අයට ඇත්තේ එක් ‍ෙදා්ෂයකි. ඔවුන් තුළ දෙවැනි වරදක් නැත. එම ‍ෙදා්ෂය නම් සාමාන්‍ය මිනිසුන් සමාව දීම දුර්වලකමක් ලෙස සැලකීමයි.

සමාව දීම, ඉවසීම, නිහඬව සිටීම බොහෝ අවස්ථාවලදී නිවටකමක් ලෙස සැලකීමට බොහෝ දෙනා පෙලඹෙති. දීන, හීන, කොන්ද පණ නැති ක්‍රියාවක් ලෙස සලකා සමච්චලයට ලක් කරති. නමුත් සමාව දීම ‍ෙදා්ෂයක් ලෙස නොසිතිය යුතුය. මොකද සමාව දීම ශක්තියකි, ගුණයකි, ආභරණයකි.

‘සෝස්‍ය ‍ෙදා්ෂෝ න මන්තව්‍ය– ක්ෂමා හි පරමං බලම්

ක්ෂමාගුණෝ හ්‍යශක්තානාං ශක්තානා– භූෂණං ක්ෂමා’ (ම/උ – 33 අධ්‍යාය)

නමුත් බුද්ධිමත්හු සමාව දීම ජීවිතයට වටිනාකමක්, සැමදා පුහුණු කළ යුතු ගුණාංගයක් ලෙස සිතති. සමාව දීම මිනිස් ජීවිත රාශියක රැකවරණයට හේතු වේ. ධනය, ශ්‍රමය, කාලය ඉතිරි කරන්නක් වේ. මානසික උදේ‍යාගයට, නිදහසට හේතුවක් වේ. තවෙකකුගේ දුක, ක¾දුළ, සන්තාපය දුරු කරන්නක්ද වේ. එබැවින් සමාව දීමේ පුරුද්ද ආත්මාර්ථය පරාර්ථය යන දෙපක්ෂයම බබළවන ආභරණයකි.

‘ක්ෂමා වශීකෘතිර්ලෝකේ ක්ෂමයා කිං න සාධ්‍යතේ

ශාන්තිකඩ්ග– කරේ යස්‍ය කිං කරිෂ්‍යත් දුර්ජන–’(ම/උ – 33 අධ්‍යාය)

සමාව දීමේ ගුණාංගය මේ ලෝකයේ සෑම කෙනකුම පාලනයට ගෙන එයි. සමාව දීමෙන් සාක්ෂාත් කරගත නොහැක්කේ කුමක්ද? සාමයේ කඩුව අල්ලාගෙන සිටින අයකුට නපුරු මිනිසෙක් කුමක් කළ හැකිද?

ඇත්තෙන්ම සමාව දීම ලොවක් වසඟ කළ හැකි ගුණාංගයකි. ලොවම තමා කෙරෙහි ඇස් දල්වා බලා සිටින වශී බන්ධනයකි. සමාව දීම තුළින් පැතිරෙන මෛත්‍රියේ, ඉවසීමේ රැස් දහරාවෙන් ඕනෑම දුර්ජනයකුගේ, ආයුධ ගත් තැනැත්තකුගේ බලය හීන වේ. ඇතැම් විට ඔබ ඉතාම වෛරයෙන්, තරහෙන් ‘අද හොඳ පාඩමක් උගන්වන්නම්කෝ’ යැයි සිතා කෙනකු වෙත ගිය අවස්ථාවක ඔබ ඔවුන් ඉදිරියට යන විට, ඔවුන්ගේ දෘෂ්ටිපථය ඔබගේ නෙතෙහි ගැටෙන විට ඉබේම හික්මෙන, නිවෙන ස්වභාව අත්විඳ ඇති. එය සෑම පුද්ගලයකු කෙරෙහිම ඇති නොවේ. ඒ ඔවුන්ගේ මානසික ශක්තිය, ගුණාංග, සිතිවිලි නිසා ඇතිවුණ බලයකි, ශක්තියකි.

‘අතෘණේ පතිතෝ වහ්නි– ස්වයමේවෝපශාම්‍යති

අක්ෂමාවාන්පරං ‍ෙදා්ෂෛ– ආත්මානං චෛව යෝජයේත්’ (ම/උ – 33 අධ්‍යාය)

පිදුරු නැති තැනකකට ගින්නක් වැටෙනවා සේම ඉබේම එය නිවී යයි. එලෙසම දුෂ්ටයකුද සමාව දෙන පුද්ගලයකු ළඟ සන්සුන්ව නිවී යයි. හානියක් කළ නොහැකිය. අනෙක් අතට සමාව නොදෙන පුද්ගලයකුගේ ආත්මය වරදකරුවකු බවට පත් වේ. කිසිවිටකත් අනුන්ට සමාව නොදෙන තැනැත්තා තමා තුළම විශාල අඩුපාඩුකම් ඇතිකර ගනී. සමාව දීම තුළ තව තව ගුණාංගද අපේ ජීවිතයේ වර්ධන වන බව කිව යුතුමය.

ඉවසීම, කරුණාව, දයාව, පරිත්‍යාගය, ආදී අමතර ගුණාංගද අප තුළ වර්ධනය වේ. අපි මෙතෙක් ගෙවූ කාලය තුළ ඇතැම් අවස්ථාවන්හි ක්‍රියා කළ අන්දම, ගත් තීරණ පිළිබඳ අදටත් කනස්සල්ලෙන් සිහිකරන අවස්ථාවන් එමටය. තව ටිකක් ඉවසන්න තිබුණා, ඕනෑ දෙයක් කරගන්න කියලා පැත්තකට වෙලා ඉන්න තිබුණා, මෙවැනි මතකයන් අප කාටත් ඇත. නමුත් ඔබ ඉවසීමෙන් කටයුතු කළ අවස්ථාවන්, සමාව දුන් අවස්ථාවන්, පිළිබඳ සිහිකරන විට එවැනි පසුතැවීමක් ඇති වෙන්නේම නැති තරම්ය. එවැනි මතකයන් මනසට පුදුම නිදහසක්, සැනසීමක් ගෙනෙන බව නම් නොඅනුමානය.

‘ඒකෝ ධර්ම– පරම් ශ්‍රේය– ක්ෂමෛකා ශාන්තිරුත්තමා

විදෛ්‍යකා පරමා දෘෂ්ටි– අහිංසෛකා සුඛාවහා’(ම/උ – 33 අධ්‍යාය)

කෙනකුගේ ශ්‍රේෂ්ඨතම සත්පුරුෂයා වන්නේ ධර්මයයි. සමාව දීමෙන් පමණක් අවසාන සාමය ලැබේ. ඔබට ඔබේ ඇස් ඉදිරියේම සාමය අත්විඳින්නට අවශ්‍ය නම් සමාව දීම එයට හොඳම ක්‍රමයයි. දැනුම තරම් උත්තරීතර තෘප්තියක් ගෙනෙන අන් කිසිවක් නැති තරම්ය. අහිංසාවෙන් ලබන සතුට අන් කිසිවකින්වත් ළගාකරගත නොහැකිය. අවසාන සතුට පවතින්නේ අවිහිංසාව තුළය.

‘ක්ෂමා ධර්ම– ක්ෂමා සත්‍යං ක්ෂමා ශෞචං ක්ෂමා බලං

ක්ෂමා ය‍ඥා ක්ෂමා දානං ක්ෂමා ච පරමං තප– ’ (විෂ්ණුධර්මෝත්තර පුරාණය- ඛණ්ඩ 3)

සමාව දීම ලෝක ධර්මයයි, සත්‍යයි, පිරිසුදුකමයි, බලයයි, යාගයයි, දානයයි, පරම  තපසයි. අපේ ජීවිතයේ සුබසිද්ධිය රඳා පවතින්නේ ඉහත ස‍ඳ‍‍‍‍‍‍‍‍‍‍‍හන් කළ ධර්මතා, ගුණාංග මතය. ඒ සෑම ගුණාංගයක්ම සමාව දීම තුළින් ඇති කරගත හැකිය. යහපත, අභිවෘද්ධිය සොයායන සෑම කෙනෙක්ම තම ජීවිතයේ ඇති කරගත යුතුම වටිනා ගුණාංගයකි සමාවදීමේ ගුණය.

සමාව දීමෙන් සදාකාලික මිතුරන් ඇතිකර ගත හැකිය.

බොහෝ විට සමාව ලබන්නා සමාව දෙන්නා මිතුරකු ලෙස හෝ තමාට වඩා උසස් කෙනකු ලෙස දැකීමට පටන් ගනී. එය දෙදෙනාගේම ජීවිතවලට වටිනාකමක් එක් කරයි. බොහෝ දෙනාගේ සුබසිද්ධියට හේතුවක් වෙයි.

වෛරී ක්‍රියාවන් මඟින් නිරවද්‍ය පුද්ගලයන්ද අගතියට පත්විය හැකිය

තවත් පැත්තකින් සමාව නොදී පළිගැනීමට උත්සාහ කරන වාරයක් පාසා ඒ අවට ඇති ජීවී අජීවී දේවලටද හානි සිදුවේ. වෙනත් වචනවලින් කිවහොත්, අපට දඬුවම් කිරීමට අවශ්‍ය පුද්ගලයාට අමතරව සමහර අහිංසක මිනිසුන්ද වෛරයේ වෙඩි පහරින් තුවාල විය හැකිය. වෛරයේ ආවේගයෙන් සිටින විට බොහෝ දේවල් අමතකය. සිතන පතන ක්‍රියාකරන හැම ඉරියව්වම වෙනස්ය. විනාශකාරීය.

සමාව දීමට සිදුවන සිදුවීම් අපේ ජීවිතයට ප්‍රයෝජනවත් බලපෑමක් ද විය හැකිය.

පොදුවේ ගත් කල, අපට රිදවන, අපව කොල්ලකන, අපව රවටා ගන්නා, අපට නරක ලෙස සලකන යනාදී පුද්ගලයන් කෙරෙහි අපි කලකිරීමටත්, කෝපයටත් පත්වෙමු. නමුත් බොහෝ විට, අපගේ දුක්ඛිත තත්ත්වයේ අ¾දුරු වලාවේ රිදී රේඛාවක් දැකීමට අපට අවස්ථාවක් තිබේ. ඔවුන්ගේ ක්‍රියාවන් ඇතැම් විට අපගේ ජීවිතයට ඉතා ප්‍රයෝජනවත් බලපෑමක්ද ලබා දෙයි. ඇතැම් ප්‍රශ්න ගැටලු වෙස්වළාගත්ත ආශීර්වාද ලෙසින්ද අප වෙත එන අවස්ථා දැක ඇත, අත්විඳ ඇත. එබැවින් මෙම අවස්ථාවලදී, අපි අමනාපයක් ඇතිකර ගැනීම වෙනුවට ඔවුන්ට සමාව දී ස්තුති කර ඉදිරියට යා යුතුය. අප සමාව නොදී අමතක කළහොත් අපගේ සිතේ ඇති කෝපය හා වෛරය අන් අයට වඩා අපව රිදවයි. අන් අයට සමාව දීම බොහෝ විට අන් අයට වඩා අපට ප්‍රයෝජනවත් වේ. අප සමාව නොදුන්නේ නම්, වෛරයේ සහ ප්‍රචණ්ඩත්වයේ චක්‍රය නිමක් නැතිව ඉදිරියට යන අතර එයින් කිසිවකුට ප්‍රයෝජනයක් නැත.

සමාව දීම ශක්තිමත් පුද්ගලයකුගේ සැබෑ ශක්තියයි

සමාව දීම සෑම පුද්ගලයකුට කළහැකි දෙයක් නොවේ. එයට වෙනම මානසික ශක්තියක්, බලයක් තිබිය යුතුය. එමෙන්ම දුර දිග බලා කටයුතු කරන, සාමාන්‍ය මිනිස් ඇවතුම් පැවතුම් තේරුම් ගත්, පරාර්ථකාමී හැඟීම් ඇති අය තුළ පමණක් ඇති ශක්තියකි.

සමාව දීම යහපත් කර්මයකි

අපි හැමෝම අපේ කර්මයේ ඵල නෙලා ගන්නවා. අපිට රිද්දන කෙනෙක් අකුසල කර්මයක් උපයා ගන්නකොට, එයාට සමාව දීලා හොඳ කර්මයක් උපයා ගන්නත්, එහෙමත් නැතිනම් පළිගැනීමෙන් නරක කර්මයක් උපයාගන්නත් පුළුවන්.

අප සමාව දිය යුත්තේ කවදාද, සමාව නොදිය යුත්තේ කවදාද?

ඇතැම් අපරාධවලට සමාව දිය හැකිය. ඇතැම් ඒවාට සමාව දිය නොහැක. ඇතැමුන්ට සමාව දිය හැකි අතර තවෙකකුට සමාව නොදිය හැකිය. මේ සම්බන්ධයෙන් මහා භාරතයේ එන පහත සඳහන් වචන අපට ඉතා සාධාරණ උපදෙස් ලබා දෙයි.

‘ඔබට නරකක් කළ අය සමඟ ඔබ ඉවසිය යුත්තේ කවදාදැයි මම ඔබට කියමි. කලින් ඔබට යහපත කළ යමෙක් දැන් ඔබට හානියක් කරන්නේ නම්, ඔහුගේ පෙර කරුණාව සලකා ඔහුට සමාව දෙන්න. නමුත් ඔහු ඔබට විශාල හානියක් කරයි නම්, එවිට ඔහුට සමාව නොදෙන්න.’

‘තමන්ගේ ක්‍රියාව නරක බව නොතේරුණු නිසා වැරදි කරන වැරදිකරුවන්ට සමාව දිය යුතුය, මන්ද වැරදි දේ සහ නිවැරදි දේ පිළිබඳව මඟ පෙන්වීම සැමවිටම පහසු නොවන බැවිනි. නමුත් සම්පූර්ණ දැනුමෙන් සහ අවබෝධයෙන් වරදක් කරන නමුත් නොදැනුවත්වම එය කළා සේ පෙනී සිටින වැරදිකරුවන් කුහකයන් නිසා තමන් කරන වරද කුඩා වුවද දඬුවම් ලැබිය යුතුය.’

‘වැරදි කළ තැනැත්තාගේ පළමු වරදට සමාව දිය යුතුය. නමුත් දෙවැනි වරදට, පොඩි වුණත් දඬුවම් දිය යුතුයි. යමෙක් නොදැනුවත්කමින් වරදක් කළොත් ඔහුට සමාව දිය යුතු නමුත් වැරදි කළ පුද්ගලයා නොදැනුවත්කම නිසා එය කළ බව නිශ්චය කළ පසුවය.’

සමාව දීම, සුවහසක් සිත් සනහාලන මෛත්‍රිය පැතිරවීමයි.

සමාව දීම, සෑම හදවතක්ම සුවපත් කරන කරුණාවේ සලකුණයි.

සමාව දීම, වෛරයේ ගිනි දැල් නිවා දමා සාමයේ හඬ පැතිරවීමයි.

සමාව දීම, ආත්මාර්ථය පරාර්ථය යන දෙකම සුවපත් කිරීමයි.

සමාව දීම, උවදුරුවලින් තොර ජීවිතයකට මඟ පාදයි.

සමාව දීම, ජීවිතයම බබළවන ආභරණයකි.

සමාව දීම, ගතට සිතට සුවය ගෙන එන, මෙලොව පරලොව දෙලොව සනසන, දැවුණු සිත් නිවා සනහන, සෑම මුවකම සිනහ පුබුදන උතුම් ගුණධර්මයකි.

රාජකීය පණ්ඩිත

මාවෙල

සීලරතන හිමි