විශ්ව ඉම සොයා දුර යන Voyager 1

0
600

වර්ෂ 1977 සැප්තැම්බර් 5 වැනදා ඇමරිකාවේ, ෆ්ලොරිඩා ජනපදයේ කැනවරල් තුඩුවේ ගුවන් හමුදා මූලස්ථානයේ Space Launch Complex 41 දියත් පුවරුව මත 7 වැනි සහ අවසන් Titan IIIE රොකට්ටුව දියත් කිරීම සඳහා සූදානම් කර තිබිණි. මීටර් 48.8ක් උස මේ දැවැන්ත රොකට්ටුවේ ඝන ඉන්ධන බූස්ටර් දෙක ශ්‍රී ලංකාවේ වේලාවෙන් හවස 06.26ට ක්‍රියාත්මක කරන ලදී. නිව්ටන් මිලියන 10කටත් වඩා තෙරපුම් බලයක් සමඟ මේ රොකට්ටුව තමන්ගේ ගමන් මාර්ගයට අවතීර්ණ විය. දියත් කිරීමෙන් මිනිත්තු 1 තත්පර 52කට පසු රොකට්ටුවේ පළමු අදියර එන්ජිම ක්‍රියාත්මක කරන අතර ඝන ඉන්ධන බූස්ටර් දෙකේ දහනය තවත් තත්පර කිහිපයකින් අවසන් විය.

සියලුදෙනා භීතියට පත් කරමින් Titan රොකට්ටුවේ දෙවැනි අදියර නියමිත වේලාවට වඩා තත්පර කිහිපයක් කලින් ක්‍රියාවිරහිත වූයේ තෙවැනි අදියරට ලබා දීමට නියමිතව තිබූ ප්‍රවේගය ලබා දීමට අසමත් වෙමිනි. නමුත් Titan IIIE රොකට්ටුවේ තෙවැනි අදියර ලෙස ක්‍රියා කරන Centaur අදියරේ පරිගණකය විසින් මෙම ගැටලුව නිසි ආකාරයෙන් හඳුනාගත් අතර නියමිත කාලයට වඩා වැඩිපුර දහනය වෙමින් දෙවැනි අදියරේ අඩුව පිරවීමට කටයුතු කරන ලදී, මේ නිසා රොකට්ටුව සාර්ථකව පහළ පෘථිවි කක්ෂයකට ඇතුළුවිය.

පසුව නැවත වරක් එන්ජින් ක්‍රියාත්මක කළ තෙවන අදියර පෘථිවියේ වියෝග ප්‍රවේගය ඉක්මවා යමින් ත්වරණය කරන ලදී. අවසාන වශයෙන් රොකට්ටුවේ සිවුවන අදියර ක්‍රියාත්මක කළ අතර අභ්‍යවකාශ යානය සූර්යයාගේ සිට කිලෝමීටර් බිලියන 1.33ක් තරම් අෑතට ගමන් කරන ඉලිප්සාකර සූර්ය කක්ෂයකට ඇතුළු කරන ලදී. තමන්ගේ කාර්යය සාර්ථකව අවසන් කළ Titan IIIE රොකට්ටුවේ සිවුවන අදියර මෙපමණ වේලාවක් එයට සම්බන්ධව තිබූ අති විශේෂ අභ්‍යවකාශ යානය මුදා හරිනු ලැබුවේ අති සුවිශේෂී මෙහෙයුම් 6ක් දියත් කළ Titan IIIE රොකට්ටුව ඉතිහාසයට එක් කරමිනි.

මේ අභ්‍යවකාශ යානය කිසිවක් නොව නාසා ආයතනයේ Voyager 1 යානයයි. තම සහෝදර Voyager 2 යානයට සති දෙකක් පසුව දියත් කරනු ලැබුවත් මෙම යානාව ඇතුළු කළ කක්ෂය අනුව මාස 3කින් සහෝදරයාව පසු කිරීමට Voyager 1 යානාව සමත් විය. දශක ගණනාවක් පුරා බාහිර සෞරග්‍රහ මණ්ඩලය සහ සෞරග්‍රහ මණ්ඩලයේ සීමාව අධ්‍යයනය කිරීමට යැවූ මේ යානයේ විද්‍යාත්මක උපකරණ 11ක් අන්තර්ගත විය.

Imaging Science System (ISS) පුළුල් පරාස හා කුඩා පරාස කැමරා දෙකකින් සමන්විත වන ප්‍රධාන ඡායාරූප ගැනීමේ පද්ධතියයි. දෘශ්‍යාලෝකයේ සිට පාරජම්බුල කිරණ දක්වා පරාසයක නිරීක්ෂණ සිදු කළ හැකිය.

 Radio Science System (RSS) රේඩියෝ සන්නිවේදන උපකරණ භාවිත කරමින් ග්‍රහලෝකවල හා උපග්‍රයන්ගේ ස්කන්ධය, ඝනත්වය, ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය, වායුගෝලය, අයනගෝලය වැනි භෞතික ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කිරීමට භාවිත කරන පද්ධතියකි.

Infrared Interferometer Spectrometer (IRIS) අධෝරක්ත කිරණ මඟින් ග්‍රහලෝකවල හා උපග්‍රහයන්ගේ වායුගෝලීය සංයුතිය, උෂ්ණත්ව ව්‍යාප්තිය හා සෙනසුරුගේ වළලු සෑදී ඇති කොටස්වල ප්‍රමාණය පිළිබඳ අධ්‍යයනය කරන වර්ණාවලීමානයකි.

Ultraviolet Spectrometer (UVS) – පාරජම්බුල කිරණ මඟින් ග්‍රහලෝකවල හා උපග්‍රහයන්ගේ වායුගෝලීය ගතිගුණ හා විකිරණ ප්‍රමාණය පිළිබඳ අධ්‍යයනය කරන වර්ණාවලීමානයකි.

 Triaxial Fluxgate Magnetometer (MAG) ග්‍රහලෝකවල චුම්බක ක්ෂේත්‍රය, ඒවා සූර්ය සුළඟ සමඟිින් ප්‍රතික්‍රියා කරන ආකාරය හා ග්‍රහලෝක අතර අභ්‍යවකාශයේ සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත චුම්බක බලපෑම් පිළිබඳ අධ්‍යයනය කරන චුම්බකමානයකි.

Plasma Spectrometer (PLS) ‐ ප්ලාස්මා අයන සහ ඉලෙක්ට්‍රෝන පිළිබඳ අධ්‍යයනය කරන පාරජම්බුල කිරණ මඟින් ග්‍රහලෝකවල හා උපග්‍රහයන්ගේ වායුගෝලීය ගතිගුණ හා විකිරණ ප්‍රමාණය පිළිබඳ අධ්‍යයනය කරන වර්ණාවලීමානයකි.

Low Energy Charged Particle Instrument (LECP) – අඩු ශක්තියක් ඇති ආරෝපිත අංශු පිළිබඳ අධ්‍යයනය කරන උපකරණයකි.

Cosmic Ray System (CRS) – අන්තරීක්ෂ කිරණ පිළිබඳ අධ්‍යයනය කරන උපකරණයකි.

 Planetary Radio Astronomy Investigation (PRA) ‐ බ්‍රහස්පති හා සෙනසුරුගෙන් පිටවන රේඩියෝ තරංග පිළිබඳ අධ්‍යයනය කරන උපකරණයකි.

Photopolarimeter System (PPS) – දුරේක්ෂයක් හා ආලෝක කිරණ ධ්‍රැවණය (Polorize) කරන උපකරණයකින් සමන්විත මේ මඟින් බ්‍රහස්පති හා සෙනසුරුගේ සංයුතිය, වායුගෝලීය ප්‍රකීරණය (Scattering) හා ඝනත්වය පිළිබඳ අධ්‍යයනය කරන පද්ධතියකි.

Plasma Wave Subsystem (PWS) – චුම්බක ක්ෂේත්‍රයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ග්‍රහලෝක අසල අභ්‍යවකාශයේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය පිළිබඳ මිනුම් ලබා දෙන පද්ධතියකි.

මෙම උපකරණ සියල්ලන්ගෙන්ම සමන්විත වන කිලෝග්‍රෑම් 825.5ක ස්කන්ධයක් ඇති Voyager 1 යානයේ මීටර් 3.7ක විෂ්කම්භය ඇති පරාවලයික ඇන්ටනාවක් තිබූ අතර 2.3 GHz හා 8.4 GHz රේඩියෝ තරංග ඔස්සේ යානය පෘථිවිය වෙත පණිවුඩ එවයි. යානයේ විදුලි බලය උත්පාදනය සඳහා විකිරණශීලී-සමස්ථානික තාප-විද්‍යුත් උත්පාදක (RTG) 3ක් අන්තර්ගත විය. ඒවා මඟින් එහි තිබූ ප්ලූටෝනියම්-238 ඔක්සයිඩ් මඟින් පිටවන තාපය, විදුලිය බවට පරිවර්තනය කරනු ලබයි.

දියත් කිරීමෙන් වසර දෙකකට පමණ පසු යානය බ්‍රහස්පති ග්‍රහයාට ආසන්න විය. 1979 ජනවාරි මස යානය බ්‍රහස්පතිගේ ඡායාරූප ගැනීම ආරම්භ කරන අතර 1979 මාර්තු 05 වැනිදා Voyager 1 යානය බ්‍රහස්පති ග්‍රහයාගේ මධ්‍යයේ සිට කිලෝමීටර් 348,890ක් ඉහළින් ඇදී යයි. Voyager 1 යානය මඟින් බ්‍රහස්පතිගේ සහ උපග්‍රහයන්ගේ ඡායාරූප විශාල ප්‍රමාණයක් ලබා ගත් අතර පළමුවරට පෘථිවියෙන් පිටත ගිනිකඳු ක්‍රියාකරන ස්ථානයක් ලෙසින් අයෝගේ ගිනිකඳු විදාරණය වීමක් ඡායාරූප ගත කරන ලදී. එමෙන්ම බ්‍රහස්පතිගේ වළලු සොයාගනු ලැබුවේත් Voyager 1 යානය විසිනි. මේ අතරම යුරෝපාගේ ඡායාරූපවල එහි පෘෂ්ඨයේ අඳුරු රේඛා ඇති බව නිරීක්ෂණය කළ අතර ඒ අනුව යුරෝපාගේ සක්‍රිය භූගෝලීය ක්‍රියාකාරකම් සිදුවන බව සොයා ගන්නා ලදී.

මේ නිරීක්ෂණ සියල්ල අතරතුර බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණය නිසා යානයේ සූර්යයාට සාපේක්ෂ ප්‍රවේගය තත්පරයට කිලෝමීටර් 11කින් පමණ වැඩිවිය. එමඟින් යානයට සෞරග්‍රහ මණ්ඩලයේ වියෝග ප්‍රවේගය ලැබුණු අතර යානයේ කක්ෂය ඉලිප්සයක සිට සූර්යයා හැර යන බහුවලයික කක්ෂයක් බවට වෙනස් විය. මේ සියල්ල ඉන්ජිනේරුවන් විසින් සූක්ෂ්ම ලෙස ගණනය කර තිබූ අතර ගණනය කිරීම්වල ලෙසින්ම යානයේ ගමන් දිශාව සෙනසුරු වෙතට යොමු විය.

තවත් වසර දෙකකට පසු 1980 නොවැම්බර් 13 වැනිදා Voyager 1 යානය සෙනසුරු අසලින් ගමන් කරන ලදී. ග්‍රහලෝකයේ වලාකුළු ස්ථරවලට කිලෝමීටර් 124,000ක් ඉහළින් ගමන් කළ අතර යානයේ උපකරණවලින් නව තොරතුරු බොහෝමයක් සොයා ගන්නා ලදී. සෙනසුරු‌ගේ වායුගෝලයෙන් 7%ක් පමණක් හීලියම්වලින් සමන්විත වන අතර ඉතිරිය සම්පූර්ණයෙන්ම පාහේ හයිඩ්‍රජන්වලින් සමන්විත වේ. සෙනසුරුගේ සමකාසන්න ප්‍රදේශවල සුළඟේ වේගය තත්පරයට මීටර් 500ක් පමණ වන අතර මධ්‍යම අක්ෂාංශවල පාරජම්බුල විමෝචනයන් දැක ගැනීමට හැකි විය. සෙනසුරුගේ භ්‍රමණ කාලය පැය 10 මිනිත්තු 39 තත්පර 24ක් ලෙස ගණනය කරන ලදී.

Pioneer 11 යානයෙන් ලැබුණු තොරතුරු අනුව ටයිටන් උපග්‍රහයාගේ ඝනකම් වායුගෝලයක් ඇති බව සොයා ගත් අතර මේ නිසා Voyager 1 යානයේ ගමන් මාර්ගය සකස් කර තිබුණේ සෙනසුරුගේ දක්ෂිණ ධ්‍රැවයට පහළින් ගමන් කරමින් ටයිටන් අසලින් ගමන් කිරීමටයි. මේ නිසා යානයට ලැබුණු ගුරුත්වජ ආධාරයෙන් යානය ක්‍රාන්තිවලයෙන් (සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ‌ලෝක ගමන් කරන තලය) ඉහළට යොමු වූ අතර මෙහිදී ලැබුණු ඉහළ චාලක ශක්තිය නිසා මිනිසා විසින් යැවූ වස්තුවක් ලබා ගත් ඉහළම විශිෂ්ට කක්ෂීය ශක්තිය (Specific orbital energy) මේ යානයට ලැබිණි. ඒ නිසා වර්තමානයේ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට යමින් සිටින යානා අතරින් ඉහළම ප්‍රවේගය ඇත්තේ Voyager 1 යානයටයි.

ටයිටන්ට කිලෝමීටර් 6,400ක් දුරින් ගමන් කරමින් ටයිටන් පිළිබඳ අධ්‍යයනය කළ Voyager 1 යානය එවූ තොරතුරු අනුව ටයිටන් මතුපිට ද්‍රව හයිඩේ‍රා්කාබන් ජලාශ පැවතිය හැකි බවට ඉඟි ලැබිණි. ක්‍රාන්තිවලයෙන් ඉවතට ගමන් කරන යානයට තවදුරටත් ග්‍රහලෝක හමුවන්නේ නැත. හුදකලා අභ්‍යවකාශය හරහා ගමන් කරමින් තිබූ යානය 1990දී තවත් කාර්යයක් සිදු කිරීමට විය. ඒ 1990 පෙබරවාරි 14 වැනිදා තාරකා විද්‍යාඥ Carl Segan ගේ ඉල්ලීමකට අනුව නාසා ආයතනය විසින් පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 6ක් දුරින් තිබූ මේ යානය මඟින් සෞරග්‍රහ මණ්ඩලයේ ඡායාරූපයක් ගැනීමයි. එම ඡායාරූපයේ එක පික්සල් එකක කුඩා සුදුමැලි නිල් පැහැති තිතක් ලෙස දිස්වුණු පෘථිවිය Pale Blue Dot ලෙස Segan  හ¾දුන්වන ලදී. මේ පිළිබඳව ඔහු විශේෂ ප්‍රරකාශයක් නිකුත් කරන ලදී.

“නැවත එම තිත දෙස බලන්න. ඒක මෙතන. ඒ අපේ ගෙදර. ඒ අපි. එය මත ඔබ ආදරය කරන සෑම කෙනෙක්ම, ඔබ දන්නා සෑම කෙනෙක්ම, ඔබ අසා ඇති සෑම කෙනෙක්ම, මෙතෙක් සිටි සෑම මනුෂ්‍යයෙක්ම ඔවුන්ගේ ජීවිත ගත කළා. අපගේ පී්‍රතිය හා දුක් වේදනා, දහස් ගණන් විශ්වාසදායී ආගම්, දෘෂ්ටිවාදයන් සහ ආර්ථික මූලධර්ම, සෑම දඩයක්කාරයෙක්ම සහ ආහාර සොයන්නෙක්ම, සෑම වීරයෙක්ම සහ බියගුල්ලෙක්ම, ශිෂ්ටාචාරවල සෑම නිර්මාතෘවරයෙක්ම සහ විනාශ කරන්නෙක්ම, සෑම රජෙක්ම සහ ගොවියෙක්ම, සෑම තරුණ යුවළක්ම, සෑම මවක් සහ පියෙක්ම, සෑම දරුවෙක්ම, සෑම නව නිපැයුම්කරුවෙක්ම සහ ගවේෂකයෙක්ම, සෑම සදාචාරී ගුරුවරයෙක්ම, සෑම දූෂිත දේශපාලකයෙක්ම, සෑම “සුපිරි තරුවක්ම”, සෑම “උත්තරීතර නායකයෙක්ම”, අපේ ඉතිහාසයේ සෑම සාන්තුවරයෙක්ම සහ පව්කාරයෙක්ම එහි වාසය කරන ලදී.

පෘථිවිය යනු විශාල විශ්වීය රඟහලක ඉතා කුඩා වේදිකාවකි. එහි සියලු පාලකයන් සහ අධිරාජ්‍යයන් විසින් වැගිරෙන රුධිර ගංගා ගැන සිතන්න. එවිට ඔවුන් තේජසින් හා ජයග්‍රහණයෙන්, කුඩා තිතක කොටසක තාවකාලික ස්වාමිවරුන් බවට පත්විය හැකිය. මෙම කුඩා තිතේ එක් පැත්තක සිටින වැසියන් නිසා අනිත් පැත්තේ සිටින වැසියන් වෙත එල්ල වූ හිරිහැර පීඩා ගැන සිතා බලන්න. ඔවුන්ගේ වැරදි වැටහීම්, එකිනෙකා මරා දැමීමට දක්වන උනන්දුව, ඔවුන්ගේ වෛරය කෙතරම් උදේ‍යාගිමත්ද යන්න ගැන සිතා බලන්න.

අපගේ ඇදහිලි, අප සිතා ඉන්නා ස්වයං වැදගත්කම, විශ්වයේ අපට යම් වරප්‍රසාදිත ස්ථානයක් ඇති බවට ඇති මිථ්‍යාව, මෙම සුදුමැලි තිතෙන් අභියෝගයට ලක් වේ. අපේ පෘථිවිය මහා අ¾දුරු විශ්වයේ හුදකලා ලක්‍ෂයක්. අපගේ අපැහැදිලිභාවය තුළ, මේ සියලු දැවැන්තකම තුළ, අපව අපෙන් ගලවා ගැනීමට වෙනත් තැනකින් උපකාර ලැබෙන බවට ඉඟියක් නොමැත.

ජීවය රඳවා ගැනීමට මෙතෙක් දන්නා එකම ලෝකය පෘථිවියයි. අවම වශයෙන් නුදුරු අනාගතයේදී අපේ විශේෂයට සංක්‍රමණය විය හැකි වෙනත් තැනක් නොමැත. බලන්න, ඔව්. තේරුම් ගන්න. තවම නැත. එයට කැමැති වුවත් නැතත්, මේ මොහොතේ අපට ඇති එකම තැන පෘථිවියයි. තාරකා විද්‍යාව නිහතමානී චරිත ගොඩනැංවීමේ විෂයක් බව පැවසේ. අපේ කුඩා ලෝකයේ මෙම ඡායාරූපයේ ප්‍රතිරූපයට වඩා මිනිස් සංකල්පවල මෝඩකම පිළිබඳ හොඳ නිරූපණයක් තවත් නැත. මට නම්, එය අවධාරණය කරන්නේ එකිනෙකා සමඟ වඩාත් කාරුණිකව කටයුතු කිරීම සහ අප මෙතෙක් දන්නා එකම නිවස වන සුදුමැලි නිල් පැහැති තිත ආරක්ෂා කර ගැනීම සහ රැකබලා ගැනීමය.”

1998 පෙබරවාරි 17 වනිදා Voyager යානය සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 69.419ක් දුරින් සිටියදී Pioneer 10 යානය පසු කරන ලදී.

2004 දෙසැම්බර් 17 වැනිදා සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 94ක් දුරින් තිබූ යානයට සූර්යයාගේ සිට තත්පරයට කිලෝමීටර් 400ක වේගයෙන් එන සූර්ය සුළඟ ශබ්දයේ වේගයටත් වඩා අඩුවන බව සොයා ගැනීමට හැකි විය. එනම් Voyager 1 යානය සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවරට ආසන්න වෙමින් පවතින බව පැහැදිලි විය. පිටත විශ්වයේ සිට එන අන්තරීක්ෂ කිරණ හා සූර්යයාගේ සූර්ය සුළඟ එකිනෙක ගැටෙන මේ සීමාවේදී සූර්ය සුළඟ මන්දගාමී වේ.

මේ සමඟම ප්ලූටෝනියම්වල ස්වාභාවික විකිරණශීලී ක්ෂය වීම Voyager 1 නිසා යානයේ විදුලි බල උත්පාදනය කෙමෙන් අඩු වෙමින් පැවතුණි. ඒ නිසා යානයේ අත්‍යවශ්‍ය නොවන උපකරණ එකින් එක ක්‍රියාවිරහිත කිරීම ආරම්භ කරන ලදී. 2012 අගෝස්තු 25 වැනිදා යානයේ උපකරණවල සටහන් වූ සූර්ය සුළඟේ තීව්‍රතාව එක්වරම පහත වැටුණු අතර අන්තරීක්ෂ කිරණ තීව්‍රතාව ඉහළ යන ලදී. ඒ අනුව Voyager 1 යානය නිල වශයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ සූර්ය සුළඟෙන් ඉවත් වෙමින් අන්තරීක්ෂ කලාපයට ඇතුළු විය.

මේ මොහොත වනවිට තත්පරයට කිලෝමීටර් 17ක වේගයෙන් සූර්යයාගෙන් ඉවතට ඇදී යමින් පවතින යානය 2021 අගෝස්තු 18 වනදා සූර්යයාගේ සිට කිලෝමීටර් බිලියන 23 සීමාව පසු කිරීමට සමත් විය. අද වනවිට පෘථිවියෙන් දියත් කර වසර 44ක් වන මේ යානයේ බල සැපයුම පහළ මට්ටමක පවතින අතර කැමරා ආදිය සියල්ල අක්‍රිය කර චුම්බකමානය (MAG), අඩු ශක්තියක් ඇති ආරෝපිත අංශු පිළිබද අධ්‍යයනය කරන උපකරණය (LECP), අන්තරීක්ෂ කිරණ පිළිබඳ අධ්‍යයනය කරන උපකරණය CRS) හා ඉලෙක්ට්‍රෝන ඝනත්වය පිළිබඳ මිනුම් ලබා දෙන පද්ධතිය (PWS) පමණක් ක්‍රියාකරවයි.

මේ තරම් දුරින් පැවැතියත් යානය මඟින් එවන දුර්වල සංඥා ග්‍රහණය කරගැනීමට නාසා ආයතනයේ Deep Space Network හි මීටර් 70 ඇන්ටනාවලට තවමත් හැකි වේ. තවත් වසර කිහිපයක් යනතුරු යානය ක්‍රියා කිරීමට විදුලි බලය සැපයීමට එහි න්‍යෂ්ටික බල සැපයුමට හැකියාවක් ඇත.

ළහිරු උදාර