ලෝකයම විස්මිත කර ආසියානු කුසලාන දිනූ ක්‍රිකට්-නෙට්බෝල් රස කතා

0
49

ශ්‍රී ලංකාවේ සංවිධායකත්වයෙන් ඩුබායි දේශයේදී නිමාව දුටු 16 වැනි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් අතරින් මෙවර ආසියානු කුසලානය හිමි කරගන්නා කණ්ඩායම පිළිබඳව සංගණනයක් තරගාවලිය ආරම්භයට පෙරම ඉන්දීය මාධ්‍ය අරඹා තිබිණි.

සෑම පිළිගත් අයිසීසී ක්‍රිකට් තරගාවලියකම ආධිපත්‍යය නතුකරගෙන සිටින මෙම ඉන්දීය මාධ්‍ය සංගණනයේදී ශ්‍රී ලංකා පිල සම්බන්ධයෙන් නිහඬ දියාරු පිළිවෙතක් අනුගමනය කළ ඔවුන් පුන පුනා ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව සහ පාකිස්තානය අවසන් මහා තරගයට පිවිසෙනු ඇති බවත් ඉන්දියාව පහසුවෙන්ම ආසියානු කුසලානය ඩැහැගනු ඇති බවත්ය.

එය තවදුරටත් සාක්ෂාත් කරමින් මූලික වටයේ තරගයකදී ශ්‍රී ලංකා පිල විස්සයි – 20 ශේ්‍රණිගත කිරීමෙහි 10 වැනි ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 8ක දැවැන්ත පරාජයක් ලබා ගත්තා සේම එම වටයේ තරගයකදී ඉන්දියාව විසින් පහසුවෙන්ම පාකිස්තානය පරාජය කිරීමද ඔවුන්ගේ මෙම ‘මඩ’ ව්‍යාපාරයට අත්වැලක් සපයා තිබිණි.

එහෙත් සියල්ල කණපිට පෙරළී යෑමට වැඩි වේලාවක් ගත නොවිණි. මූලික වටයේ අවසන් තරගයේදී බංග්ලාදේශය එළවා දැමූ ශ්‍රී ලංකා පිල එතැන් සිට ඔවුන්ටම ආවේණික “ශක්තිමත්” ලෝකයක් ගොඩනඟා ගත්තේ අයිසීසී ක්‍රිකට් වර්ගීකරණයේ පතාකයන්ව සිටින ඉන්දීය පිලද බින්දුවටම ඇද දමමිනි.

පාකිස්තානය හැර සෙසු සියලුම රටවල්හි ක්‍රීඩකයන් දඩයම් කර ගනිමින් ඔවුන්ගේ තරුණ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර පිටිය අත්පත් කර දීමේ යටි අරමුණක් ඇතිව ඩොලර් මිලියන ගණනින් ආදායම් උපයන තරගාවලි පවත්වන (අයිපීඑල් වැනි) ඉන්දියාවට අත්වූ ඉරණම සුළුකොට තැකිය නොහැකිය.

ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයෙන් වියරු වැටුණු ඉන්දීය හිටපු ක්‍රිකට් විරුවන් ඉන්දීය ක්‍රීඩාලෝලීන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව හමුවේ ලද පරාජයෙන් අනතුරුව ඉන්දියාව හිස් අතින්ම ගෙදර යද්දී ඉන්දීය හිටපු ක්‍රිකට් විරුවන් ඔවුන්ගේ ක්‍රිකට් බලධරයන් පතුරු ගැසූහ.

කිසිවකුගේ අවධානයට ලක් නොවූ තරුණ ජවයෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පිලට වඩා පියවර 6ක් එනම් විස්සයි – 20 ශේ්‍රණි සටහනේ දෙවැනි ස්ථානයේ (ශ්‍රී ලංකාවෙන් ලද පරාජයට පෙර) සිටි පාකිස්තානයද පහළට ඇද දැමූ ශ්‍රී ලංකා පිල ඔවුන් පාකිස්තානුවන් මූලික වටයේදී පහසුවෙන්ම පරාජය කරමින් අවසන් තරගයේදී ද ඔවුන්ගේ බලපරාක්‍රමය බිඳ දැමීය. මේ නිසාම දෙවැනි ස්ථානයේ සිටි පාකිස්තානයට සිවුවැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමටද සිදුවිය.

තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමටවත් මැළි වූ ඉන්දියානුවන් ආසියානු කුසලානය ජය ගන්නා කණ්ඩායම පිළිබඳව අනාවැකි පළ කළේය. ඉන්දියාව නොවරදවාම ආසියානු කුසලානය හිමි කරගන්නා බව 69ක ප්‍රතිශතයක් ස්ථිර කරද්දී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ ප්‍රතිශතය වූයේ 0කි.

ශ්‍රී ලංකා පිල පහත් කොට සැලකීමට ප්‍රධානතම දායකත්වයක් ලබා දුන් ගෞතම් ගම්භීර් ශ්‍රී ලංකා පිල දෙකේ කොළයට ඇද දමා  ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකා පිල 5ක් වතාවක් ආසියානු කිරුළ දිනා ගැනීම පිළිබඳව තමන් පුදුමයට පත්වන බවය. (Sri Lanka has won the Asia cup 5 times Which is quite a surprise.)

මුල සිටම ශ්‍රී ලංකාව පිළිබඳව අවතක්සේරුවක සිටි ගම්භීර් ශ්‍රී ලංකාව අවසන් තරගයට පැමිණියද පාකිස්තානය ආසියානු කුසලානය ජයගනු ඇති බව එකහෙළාම පැවැසීම හාස්‍යයට තුඩු දුන්නේය. අවසානයේදී ශ්‍රී ලංකාවේ තරුණ ජවයට හිස නැමූ ගම්භීර් ක්‍රීඩාංගණයට පැමිණ ශ්‍රී ලංකා ධජය ඔසවා තමන් කළ වැරැද්ද නිවැරදි කර ගැනීමට වෙර දැරීම දෛවයේ සරදමක් බව කිව යුතුය.

තමන් දේශපාලනයට මනා සුදුස්සකු බව පෙන්වා දුන් ගම්භීර් ඔහුගේ ටිවුටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සුපිරි කණ්ඩායමක් බවත් ආසියානු කුසලානයේ නියම සුදුස්සා ශ්‍රී ලංකාව බවත්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිල ලැබූ මෙම ඓතිහාසික ජයග්‍රහණය සැමරූ පාකිස්තානු රාජ්‍යට අයත් බලුකිස්තාන ප්‍රාන්ත වැසියන් කිහිප දෙනකු අත්අඩංගුවට පත්වූ බව පැවැසෙන අතර ඔවුන් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් මෙම ජය සමරා ඇති බවද වාර්තා වේ. එසේම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය පිළිබඳව අපමණ සතුටට පත්වූ ඇෆ්ගනිස්තානයේ කාබූල් නුවර වැසියන්ද වීදි පුරා නොයෙකුත් උත්සව පවත්වා තිබේ ඇෆ්ගනිස්තානය පාලනය කරනු ලබන තලෙයිබාන් රජය විසින් මහජනතාව ඒකරාශී වීම් හා වීදි බැස ජය ඝෝෂා පැවැත්වීම් තහනම් කර ඇති වටපිටාවක කාබූල් නුවර වීදියේදී රතිඤ්ඤා දල්වමින් “ශ්‍රී ලංකාව දිනේවා” යනුවෙන් ජයඝෝෂා නඟමින් මෙම පී්‍රතිමත් අවස්ථාව සමරා ඇති බව පැවැසේ.

පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණය නිසා තලෙයිබාන් හමුදාවද ඔවුන්ගේ අවි ආයුධ ක්‍රිකට් පිත්තක් ලෙස විදහා දක්වමින් අතිශය සතුටක් ලබා ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබූ අතර රූපවාහිනිය ඔස්සේ මෙම තරගය නැරඹූ එරට ඇතැමුන් චාමික කරුණාරත්න අවසන් කඩුල්ල ලබා ගැනීමෙන් පසු දක්වන ප්‍රතිචාරයම දක්වා ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබිණි

අතීතය පුරාම ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින විරසකය නිසාම කුමන කණ්ඩායමක් හමුවේ වුවද ඉන්දියාව පරාජය වූ අවස්ථාවක පාකිස්තානයත් පාකිස්තානය පරාජය වූ අවස්ථාවක ඉන්දියාවත් අපමණ සතුටක් විඳ ඇති බව ඉතිහාසය සාක්‍ෂි දරා ඇත එහෙත් මෙවර පාකිස්තාන පිල ශ්‍රී ලංකාව හමුවේ පරාජය ලැබුවද එහිදී ඉන්දියානුවන් නිහඬ පිළිවෙතක් අනුගමනය කර තිබුණේ ඔවුන් ශ්‍රී ලංකාව වෙතින් ලැබූ අවමන් සහගත පරාජය හේතුවෙන් ඔවුන්ගේ විසින් සපයා ඇති ඉඟිවලින් මනාව පෙනී යයි.

අවසන් තරගයෙන් පසු “පාකිස්තානය පරාජය වීම සතුටක් දැයි” සමාජ මාධ්‍යයක් විසින් ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගෙන් විමසූ අවස්ථාවේදී ඇතැම් අයගේ පිළිතුරු වී තිබුණේ “අපට කිසිම සතුටක් නැහැ අපට කේන්ති අපි ශ්‍රී ලංකාවට පරාජය වූ නිසයි” යනුවෙනි.

සියල්ල නිම වී ශ්‍රී ලංකා පිල ඩුබායි ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඉතිහාසයේ පළමු වරට ගුවන් තොටුපළට පැමිණ සිටි දහස් ගණනක පිරිසකගෙන් උණුසුම් පිළිගැනීමක් ශ්‍රී ලංකා පිලට ලැබී තිබිණි 

ශ්‍රී ලංකා පිලෙහි ජයග්‍රහණය පිළිබඳව විදෙස් විචාරකයන්ගේද දැඩි පැසසුමට ලක්වෙද්දී එක් විචාරකයකු පවසා ඇත්තේ මෙවැන්නකි “වත්මන් ශ්‍රී ලංකා පිල 1996 වසරේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා පිලට බොහෝ සමානයි 96 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා පිල හරිම ශක්තිමත් කණ්ඩායමක්. ලෝකයේ ඕනෑම කණ්ඩායමක් ලෙහෙසියෙන්ම පරද්දන්න ඔවුන්ට පුළුවන්. මෙවර ආසියානු කුසලානය දිනූ ශ්‍රී ලංකා පිලත් බොහෝ දුරට ඒ පිලට සමාන කරන්න පුළුවන්. කුමන කණ්ඩායම ආවත් ගහනවා කියන හැඟීම මේ තරුණ ජවය තුළ තිබූ බව ඔවුන්ගේ ඉරියව්වලින් පැහැදිලිව දකිනවා. ඒක අනෙක් කණ්ඩායම්වලට අනතුරු ඇඟවීමක්.”

කරුණු කාරණා එසේ තිබියදී අර්බුද හමුවේ බැට කන අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් මෙවැනි සුවිශේෂී ජයග්‍රහණයක් ලබා දීම අගය කළ යුත්තකි. එළැඹෙන විස්සයි – 20 ලෝක කුසලානයේදීත් මෙවැනිම විශිෂ්ට දක්‍ෂතා අතරට පැමිණේවි යැයි සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්‍ෂාව වී ඇතිවාට සැක නැත. එහෙත් ක්‍රිකට් යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි එය තේරුම් ගෙන ශ්‍රී ලංකා පිලට සහයෝගය සහ ශක්තිය ලබාදීම අප සියලු දෙනාගේම වගකීම හා යුතුකම වන්නේය.

විචිත්‍ර වීරසිංහ