ලොකු හාමුදුරුවො මරලා ඩුබායි පෙම්වතී ළඟට පනින්න සීදුවේ පොඩිනම කළ බිහිසුණු අපරාධය

0
58

සීදුව වෑත්තෑව නන්දරාම විහාරාධිපති මැදගමුවේ මහානාම හිමියන් ඝාතනයේ සුලමුල මෙතෙක් පැවැති මූලික පරීක්‍ෂණවලදී හෙළිව තිබුණත් ඊට සම්බන්ධ වූ අඹුසැමි යුවළක් ඇතුළු කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන නොතිබීම නිසා මහානාම හිමි ඝාතනයේ විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි පොලිසිය කියයි. කෙසේ වෙතත් මහානාම හිමි ඝාතනයේ ප්‍රධාන සැකකාර ගෝල හිමිනම පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසන්නේ ලොකු හාමුදුරුවන්ගේ දේපළවලට තිබූ ආශාව නිසා

උන්වහන්සේ ඝාතනයට තමා

සම්බන්ධ වූ බවය.

සැකකාර ගෝල හිමිනම පොලිස් අත්අඩංගුවට පත් වන්නේ උන්වහන්සේගේ 19 වැනි උපන් දිනය යෙදුණු දිනයේදී වීම විශේෂත්වයකි.

මැදගමුවේ හිමියන් සීදුව වෑත්තෑව ශ්‍රී  නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ වාසය කරන්නේ වසර ගණනාවකට පෙර සිටය.

විහාරාධිපති හිමිව වැඩ වාසය කළ උන්වහන්සේ කටාන කලාපයේ ගුරු උපදේශකවරයකු ලෙසද කටයුතු කළහ. ඊට අමතරව උන්වහන්සේ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරික කටුතුවලද නිරතව සිටියහ. ඒ නිසා සතුව ඩිෆෙන්ඩර් රථයක් සහ වැගන් ආර් රථයක්ද තිබිණි. ඊට අමතරව උන්වහන්සේට වටිනා දේපළක්ද උන්වහන්සේ සතුව තිබිණි

ඉකුත් 14 වැනිදා විහාරය අවට පදිංචිකරුවන්ට කිසියම් දුගඳක් හමා එන බව දැනෙන්නට විය. ඔවුහු ඒ දුගඳ ගැන විමසිලිමත් වෙද්දී දුගඳ හමා එන්නේ නන්දාරාම විහාරය දෙසින් බව ඔවුනට වැටහිණි. ප්‍රදේශවාසීහු මේ පිළිබඳව සීදුව පොලිසියට දැනුම් දී ඇත්තේ ඉන් පසුවයි. පසුව පොලිස් කණ්ඩායමක් නන්දාරාම විහාරයට පැමිණ දුගඳ හමා එන ස්ථානය සොයා බලද්දී විහාරස්ථානයේ ආවාසගෙය තුළින් එම දුගඳ හමා එන බව දැනගත්හ.

පසුව කරන ලද සෝදිසි කිරීමේදී ආවාසගෙය තුළ තිබූ මළසිරුරකින් එම දුගඳ හමා එන බවත් එම මළසිරුර විහාරස්ථානයේ මහානාම හිමියන්ගේ බවත් නිලධාරීන් හඳුනාගන්නා ලදී. ඒ වන විටත් මහානාම හිමියන්ගේ සිරුර නරක් වෙමින් තිබූ අතර ඒ නිසා දුගඳ ඒ අවට සිසාරා පැතිර යමින් තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට සොකෝ නිලධාරීන් කැඳවා සිදුකළ විමර්ශනයේදී හෙළි වූයේ උන්වහන්සේ ඝාතනය කර ඇත්තේ මුඛය සහ ගෙල සිර කිරීමෙන් බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙන්නේ ඉන් පසුවය. ඒ අනුව මහානාම හිමියන් ඝාතනය කර ඇත්තේ ඊට දින දෙක තුනකට පමණ පෙර බව නිලධාරීන්ට වැටහිණි.

කෙසේ වෙතත් කරන ලද විමර්ශනයේදී අනාවරණය වන්නේ විහාරස්ථානයේ වැඩ සිටි ගෝලනමක් ඒ වන විට අතුරුදන් වී ඇති බවය. එමෙන්ම අපවත් වූ මහානාම හිමියන්ට අයත් කළු පැහැති ඩිෆෙන්ඩර් ජීප් රියත් වැගන් ආර්. රියකුත් විහාරස්ථානයේ නොමැති බවය.

“ඒ ගෝල හාමුදුරුවෝ උදේත් හිටියා සර්ලා එන්න කලින් තමයි පන්සලෙන් ගියේ….

විහාරස්ථානයේ රැඳී සිටි පුද්ගලයකු පොලිසියට කීවේය. ඒ අනුව නිලධාරීන්ගේ සැකය ගෝල හිමිනම වෙත එල්ල විය. තවදුරටත් සොයා බැලීමේදී හෙළි වූයේ සැකකාර ගෝලනම වසර 10කට පෙර සිට මෙම විහාරස්ථානයේම රැඳුණු හිමිනමක් බවය. මහානාම හාමුදුරුවෝ මෙම ගෝල හිමිනමව දැනහඳුනාගන්නා විට උන්වහන්සේට අවුරුදු පහකි. එදා පටන් නායක හිමියන් උන්වහන්සේ හදා වඩාගෙන තිබිණි. ධර්මය ගැනද හොඳ අවබෝධයක් ඇති ගෝල හිමියන් කවි බණවලට දක්‍ෂකම් දැක්වූ අයෙකි.

කෙසේ වෙතත් නායක හිමියන් විහාරස්ථානයේ දේපළ කිහිපයක්ද ගෝල හිමියන්ට පවරා ඇතැයිද කියන අතර ගෝල හිමිනමගේ කරදඬු උස් මහත් වෙද්දී උන්වහන්සේ නායක හිමියන් සමඟ දේපළ සම්බන්ධයෙන් ආරවුල්ද ඇතිකරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සීදුව පොලිසියට පැමිණිලි ද ලැබී තිබිණි.

මෙවන් හේතූන් නිසා මහානාම හිමියන්ගේ ඝාතනයේ සැකය ගෝල හිමිනම කෙරෙහි එල්ල විණි. පොලිස් අධිකාරි එරික් පෙරේරා මේ සම්බන්ධ විමර්ශන භාරව ක්‍රියා කරමින් අතුරුදන්ව ඇති ගෝල හිමිගේ වතගොත සොයන්නට දැඩි උත්සාහයක් ගත්තද ගෝල හිමිගේ කිසිදු තොරතුරක් විහාරස්ථානය සතුව නොවීම විමර්ශනවලට ගෙන දුන්නේ ඉමහත් බාධාවකි.

‘සමහර වෙලාවට මේ හාමුදුරුවෝ රට පනින්නත් පුළුවන්. කෝකටත් අපි මේ ගැන එයාපෝට් එකට දැනුම් දෙමු.’

පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත සීදුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ විමර්ශන කණ්ඩායමට ගෝල

හිමිනමගේ තොරතුරු සොයා ගැනීමට නොහැකි වුවද උන්වහන්සේගේ ඡායාරූපයක් සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව එම ඡායාරූප ගුවන්තොටුපොළේ ආරක්‍ෂක අංශ වෙත ලබාදීමට පියවර ගැනිණි.

“හාමුදුරු කෙනෙක් ආවොත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න”

එලෙස තොරතුරු දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා සැකකාර ගෝලනම කුමන ස්ථානයක හෝ සැඟවී සිටින්නේදැයි සොයා ගැනීමට වෙහෙසුණද ඒ කිසිවක් සාර්ථක නොවිණි.

දහහතර වැනිදා මධ්‍යම රාත්‍රිය ද ගෙවී යමින් තිබිණි. ඒ සමඟම සීදුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු දුරකථන ඇමැතුමකි.

“අපි හාමුදුරු කෙනෙක් අල්ලගෙන ඉන්නවා ඒ හාමුදුරුවෝද දන්නේ නැහැ ඔයාලා හොයන්නේ. පොඩ්ඩක් ඇවිත් බැලුව නම්.”

ආගමන විගමන නිලධාරීන් දුන් දැනුම්දීම මත සීදුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම වහා ගුවන්තොටුපොළට ගොස් ආරක්‍ෂක අංශ භාරයේ සිටි තරුණ භික්ෂුවක් ඔවුන් භාරයට ගෙන ප්‍රශ්න කරද්දී අනාවරණය මහානාම හිමි ඝාතනයට පොලිසිය සොයමින් සිටි චීවරධාරියා උන්වහන්සේ බවය.

‘අද පාන්දර තුනට තියෙන ෆ්ලයිට් එකෙන් ඩුබායි යන්න තමයි මෙයා ඇවිත් හිටියේ.”

ආගමන විගමන නිලධාරීන් පොලිසිය දැනුවත් කළ අතර ඒ වන විට උන්වහන්සේ අත තිබූ බෑගය සෝදිසි කළ නිලධාරීන්ට දැකගත හැකි වූයේ එම බෑගය තුළ ඇත්තේ ඩෙනිම් කලිසම් ටී ෂර්ට් සහ කලිසම් කමිස බවය. ඒ හැරෙන්නට උන්වහන්සේ සතුව තිබුණේ ඇඳ සිටි සිවුර පමණි.

පසුව මේ බව උසස් නිලධාරීන්ටද දැනුම්දීමෙන් අනතුරුව සැකකාර හිමියන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට පොලිස් කණ්ඩායම කටයුතු කරන්නට වූහ.

මෙම ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තවත් කරුණක් වූයේ නායක හිමියන් සතුව තිබී ඒ වන විටත් අතුරුදන්ව තිබූ ඩිෆෙන්ඩර් රථය සහ වැගන් ආර් රථය සැකකරු විසින් රුපියල් කෝටි දෙකකට මුස්ලිම් ජාතිකයකු විකුණා ඇති බවය. ඩිෆෙන්ඩරය රුපියල් ලක්‍ෂ 135කටත් වැගන් ආර් රථය ලක්‍ෂ 54කටත් විකුණා තිබිණි.

කෙසේ වෙතත් සැකකාර ගෝල හිමියන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී තවත් වැදගත් කාරණාවක් හෙළි කරගන්නට නිලධාරීන්ට හැකිවිය. ඒ උන්වහන්සේ තරුණියක් සමඟ ප්‍රේම සබඳතාවක්, පවත්වාගෙන යන බවකි. ප්‍රශ්න කිරීමේදී දැනගන්නට ලැබුණේ ඇය ඩුබායි රාජ්‍යයේ සේවය කරන බවය. ඒ අනුව සැකකාර ගෝලනම ඩුබායි බලා පැන යෑමට සූදානම්ව ඇත්තේ ඇය හමුවී ගිහි ජීවිතයක් ගතකිරීමේ අරමුණෙන් බවද හෙළි විය.

ඩුබායි බලා යෑමට අවශ්‍ය වීසා සහ ගුවන් බලපත්‍ර සකසා දී ඇත්තේද ඩුබායි පෙම්වතිය විසිනි.

පොලිසිය පවසන්නේ ඇය ඩුබායිහි රැකියාව කරන්නේ මුස්ලිම් ජාතික ශ්‍රී  ලාංකිකයකු යටතේය. ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ උසස් පොලිස් නිලධාරියෙක් කීවේ මෙවැන්නකි.

“මේ ගෝල හාමුදුරුවන්ට කලින් තවත් ගෝල හාමුදුරුවෝ කෙනෙක් මේ පන්සලේ ඉඳලා තියෙනවා. ඒ අතරෙදි තමයි නායක හාමුදුරුවන්ට මේ පුද්ගලයා මුණගැහිලා තියෙන්නේ. පස්සේ මීට අවුරුදු 10 කට කලින් මෙයාව පන්සලට ගෙනත් මහණ කරනවා. පස්සේ මේ හාමුදුරුවෝ හොඳම ගෝලයා වෙනවා. ඉන් පස්සේ කලින් හිටපු ගෝල හාමුදුරුවෝ පන්සලෙන් යනවා. පස්සේ මේ හාමුදුරුවෝ දෙන්න තමයි පන්සලේ ඉන්නේ. ලොකු හාමුදුරුවෝ පොඩි පොඩි බිස්නස් කරනවා. මේ ගෝල හාමුදුරුවෝ මහණ කරගත්තත් එයා කොහේ කෙනෙක්ද අම්මා තාත්තා කවුද කියලවත් ලොකු හාමුදුරුවෝ හොයන්නේ නැහැ. නමවත් ගමවත් දන්නේ නැහැ. ඔය අතරේ ටෙලිෆෝන් කෝල් එකකින් පොඩි හාමුදුරුවෝ එක්ක කෙල්ලෙක් යාළු වෙනවා. දෙන්නා ෆෝන්වලින් චැට් කර කර ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා. නායක හාමුදුරුවෝත් මේක දන්නවා. ඒත් විරුද්ධ වෙලා නැහැ.”

“පස්සේ මේ කෙල්ල ඩුබායි යනවා. ලංකාවේ මුස්ලිම් හාදයෙක් ගාව වැඩට තමයි යන්නේ. මිනිහා කොළඹ හොඳට දන්න කෙනෙක්. කොහොම හරි හාමුදුරුවොත් එක්ක තියෙන ලව් එක කෙල්ල අර මුස්ලිම් කෙනාටත් කියනවා. ඒ වගේම නායක හාමුදුරුවන්ට සල්ලි තියෙනවා කියලත් හාමුදුරුවෝ තනියම ඉන්න බවත් කියනවා.”

ඔය අතරේ කෙල්ලයි අර මුස්ලිම් හාදයයි උත්සාහ දෙකක්ම ගන්නවා නායක හාමුදුරුවෝ බය කරලා සල්ලි කඩා ගන්න ඒත් ඒක හරියන්නේ නැහැ.

පස්සේ ඩුබායි ඉන්න කෙල්ලම යෝජනා කරනවා අම්මයි තාත්තයි ලංකාවේ ඉන්නවා. අපි ඒ දෙන්නටම මේ කොන්ත්‍රාත් එක භාරදෙමු කියලා. පස්සේ ඩුබායි ඉන්න මුස්ලිම් හාදයා කෙල්ලගේ අම්මා තාත්තාට කතා කරලා මේ සිද්ධිය කියනවා. ඒ දෙන්නත් මේ වැඩේට කැමැති වෙනවා.”

විමර්ශන පැවැත්වූ උසස් නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව ඩුබායි පෙම්වතියගේ මව සහ පියා නන්දාරාම විහාරයට පැමිණ දින දෙකක් පමණ ගෝල හිමිනම සමඟ විහාරයේ කල්ගත කර තිබේ. නායක හාමුදුරුවෝ බිය කොට මුදල් හා උන්වහන්සේ සතු යාන වාහන පැහැරගෙන යෑම මොවුන්ගේ අරමුණ වී තිබිණි. එය දෙදෙනාට පමණක් තනිවම කළ නොහැකි බව තේරුම් ගෙන තවත් පුද්ගලයන් දෙදෙනකුගේ සහාය ලබාගෙන ඇති බවත් එම විමර්ශන නිලධාරියා අවධාරණය කළේය.

ඒ අනුව අඹුසැමි යුවළ පැමිණි අමුත්තන් දෙදෙනාද සමඟ උඩුමහලේ ඇති ආවාස ගෙයට ගොස් එහි වැඩ සිටි මහානාම හිමියන් අල්ලා පහරදී දෙඅත් ගැටගසා  සිරකර ගනිමින් උන්වහන්සේට හිරිහැර කර තිබේ.

ඉන් අනතුරුව අඹුසැමි යුවළ පහළට ගොස් ඇති අතර ඔවුන්ගේ සහයට පැමිණි පිටස්තරයන් දෙදෙන පන්සලෙන් නික්ම ගොස් ඇත.

මොහොතකට පසු ගැසූ ගැට ලිහාගත් මහානාම හිමියන් කෑකෝ ගසමින් පහළට පැමිණ ඇති අතර ඒ බව දුටු පහළ සිටි අඹු සැමි යුවළ සහ ගෝල හිමිනම පඩිපෙළේදීම උන්වහන්සේ අල්ලා බිම පෙරළාගෙන කටට රෙදි කැබැල්ලක් දමා ගෙල මිරිකාගෙන සිට ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබේ.  උන්වහන්සේගේ දෙනෙත් පවා නොපෙනෙන ලෙස තදින් රෙදි ගැටගසා තිබිණි.

විහාරාධිපති හිමියන්ගේ කෑකෝ ගැසීම විහාරස්ථානය අවට පදිංචිකරුවන්ටද ඇසී ඇති අතර ඒ බව විමසද්දී ගෝල හිමියන් පවසා ඇත්තේ ඒ ශබ්දය විහාරස්ථානයෙන් ප්‍රශ්නයක් නොවන බවයි.

පසුව නැවත ගොස් මහ නාහිමියන් වැටී සිටි ස්ථානය නිරීක්ෂණය කරද්දී උන්වහන්සේ අපවත්ව ඇති බව මොවුන්ට පෙනී ගොස් තිබේ. පසුව මහානාම හිමියන්ගේ සිරුර ඇඳ මත තබා සිරුර සිවුරකින් වසා දමා ඇත.

“මහානාම හිමියන් ඝාතනය වන්නේ 12වැනිදා. එදාම දවල් 12ට විතර ඔය පොඩි හාමුදුරුවෝ වත්තල ප්‍රදේශයේ පුද්ගලයෙක් සම්බන්ධ කර ගන්නවා ඩිෆෙන්ඩර් ජීප් එකයි වැගන් ආර් එකයි ඒ පුද්ගලයාට විකුණන්න. වාහනවල ඩොකියුමන්ට් ලොකු හාමුදුරුවෝ ළඟ තිබිලා මුන් හොයා ගන්නවා.”

ඒ වාහන දෙකෙන් ඩිෆෙන්ඩර් එක ලක්ෂ 135කටයි, වැගන් ආර් එක ලක්ෂ 51කටයි ගෝල හාමුදුරුවෝ ඒ පුද්ගලයාට විකුණනවා. ඔය සේරම කරලා ඉවර වෙලා තමයි පොඩි හාමුදුරුවෝ ඩුබායිවලට යන්න හදන්නේ.” විමර්ශන නිලධාරියා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ගෝල හිමියන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී විදෙස් ගමන් බලපත්‍රය ඉකුත් ජුනි මස 06 වැනිදා ලබාගෙන ඇති බවත් ඒ සඳහා ගෝල හාමුදුරුවන්ගේ ඡායාරූපයක්ද ඇතුළත් කර තිබූ බවත් පොලිසිය කියයි.

“අපි මේ සිද්ධියේදී මේ සැකකාර හාමුදුරුවන්ගේ අයිඩෙන්ටිය, නම ගම විස්තර මුකුත් දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඒවා හොයන්න විමර්ශන කටයුතු කරමින් හිටියේ. මෙයාගේ අම්මා තාත්තා හොයාගෙන මේ හාමුදුරුවෝ  කවුද කියලා දැනගන්න. ඒත්  කටකතා ඩුබායි කතා එහෙම ආව නිසා අපි හිතුවා මෙයා රට පනියිද කියලා.  ඒ නිසා හාමුදුරුවන්ගේ පෞද්ගලික සම්බන්ධතා හොයලා බලලා හාමුදුරුවන්ගේ පින්තූරයක් හොයාගෙන ඉමිගේ්‍රෂන් එකටයි එයාපෝර්ට් සිකියුරිටි එකටයි ඒ පින්තූරය යැව්වා. ඒ අතරතුර සිද්ධිය ටී.වී. එකෙත් ගියා. ඒ අතරේ තමයි හාමුදුරුවෝ ඩුබායි යන්න එයාපෝර්ට් එකට ගිහින් මාට්ටු වෙන්නේ.”

කෙල්ලගේ අම්මයි තාත්තයි තමයි හාමුදුරුවෝ එයාපෝර්ට් එකට දාන්න ඇවිල්ලා තියෙන්නෙත්. ඒ දෙන්නා කටුනායක හෝටලයක තමයි ඉඳලා තියෙන්නේ. හාමුදුරුවෝ එයාපෝර්ට් එකට දාලා මෙයාලා හෝටලයට ඇවිත් ඉන්නකොට මෙයාලට ආරංචියක් ආවා හාමුදුරුවෝ අල්ලලා කියලා. ඒත් එක්කම මෙයාලා එතැනින් පැන්නා.

අපි හෝටලය බලද්දී තිබ්බේ එයාලා හිටිය කාමරේ එක ටීෂර්ට් එකක් විතරයි. ඒ දෙන්නා කෙල්ලගේ අම්මා තාත්තා නොවන බවත් කියනවා.

ඒ අතරේ අර මුස්ලිම් ව්‍යාපාරිකයා රුපියල් ලක්ෂ 135ට ගත්ත ඩිෆෙන්ඩර් ජීප් එක ගම්පහ මන්ත්‍රිවරයකුට ලක්ෂ 150 කට විකුණලා තිබුණා.  මිනිස්සු මේ සිද්ධිය ප්‍රවෘත්තිවලින් දැකලා බයවෙලා. ප්‍රශ්නයක් වෙයි කියලා දැනගෙන ඩිෆෙන්ඩර් එකත් අරන් පොලිසියට ආවා.” වැගන්ආර් එකත් හොයා ගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීවේය.  එමෙන්ම වාහන දෙක විකුණා ගෝල හිමියන් ලබාගත් ලක්ෂ ගණන් මුදලට සිදුවූ දේ තවමත් පොලිසිය සොයාගෙන නැත. එහෙත් ලක්ෂ 10ක් ගිණුමකට බැර වූ රිසිට්පතක් ගෝල හිමිනම සන්තකගේ තිබී පොලිසිය හොයාගෙන තිබේ. එහෙත් පොලිසිය සැක කරන්නේ රුපියල් ලක්ෂ 150 ඩුබායි රාජ්‍ය වෙත බැර වී ඇති බවය.

මේ අතර සිද්ධිය සම්බන්ධ වත්තල මුස්ලිම් ව්‍යාපාරිකයා මේ වන විට පොලිසිය වෙත භාර වී ඇති අතර ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් තවදුරටත් කරුණු කාරණා හොයන්නට පොලිසිය වෙහෙසක් දරමින් සිටින්නේය.

කෙසේ වෙතත් සැකකාර ගෝල හිමිනම මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධ තවදුරටත් තොරතුරු සොයා ගැනීම සඳහා පලාගොස් සිටින අමුසැමි යුවළ අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ. ඊට අමතරව සෙසු පිටස්තරයන් දෙදෙනාද හොයා ගැනීම පොලිසියේ අරමුණයි.

නායක හිමියන් සතු වාහන දෙක විකුණා ලක්ෂ 200ක මුදලද රැගෙන ඩුබායි සිටි පෙම්වතිය මුණගැසී ගිහි ජීවිතයක් ගත කරන්නට සැරසුණු ගෝල හිමිනම මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත මීගමුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා, පොලිස් අධිකාරි  එරික් පෙරේරා මහත්වරුන්ගේ  මෙහෙයවීමෙන් සීදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දනුෂ්ක බණ්ඩාර ඇතුළු පොලිස් පරීක්ෂක කුමාර, උප පරීක්ෂක රණතුංග, කොස්තාපල්වරුන් වූ මංජුල  (6122) සහ හේරත් (72566) ඇතුළු නිලධාරීහු මෙම විමර්ශනවලට එක්වූහ.

කීර්ති මෙන්ඩිස්