ලිංගික සංක්‍රාන්තිකයො කියන්නෙත් හදවත් ගැහෙන ආදරය දැනෙන මිනිස්සු

0
107

සිරස වොයිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගනිමින් සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඔහු සිය හඬ අනන්‍යතාවය රසික හදවත් තුළ සනිටුහන් කර අවසන්. හරිත් විජේරත්න ලෙස ඔබ කවුරුත් හ¾දුනන ඔහු පසුගියදා වෙනස්ම මියුසික් වීඩියෝවක් එළිදක්වා තිබුණා. යහපත් ප්‍රතිචාර සමඟින් කා අතරත් කතා බහට ලක් වන මේ නිර්මාණය ගැන හරිත් සමඟ කතා බහ කරන්නට ඔහුව අපගේ කතාබහට සම්බන්ධ කරගත්තා.

කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල තරමක් කාර්යබහුලයි. වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ අවසන් මාස පහ තමයි මේ වන විට ගෙවීගෙන යන්නේ. එම වැඩකටයුතු සහ සංගීත වැඩකටයුතුත් සමඟ තරමක් කාර්යබහුල වෙලා සිටිනවා.

පුදසුන නිර්මාණය වුණේ කොහොමද?

වොයිස් තරගාවලිය අවසන් වීමට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන උවිදු දීයමුල්ල කියන මල්ලී එයා නිර්මාණය කරපු මියුසික් ට්‍රැක් එකක් මට එවලා තිබුණා. තරගාවලිය අවසන් වුණාට පසුව මම ඒක එම්. එන්ටර්ටේන්මන්ට් හි මල්කි විජේමාන්න අක්කාට අහන්න දුන්නා. ඉන්පසුව ඒ ට්‍රැක් එකට මම තනුවක් නිර්මාණය කරලා, ඕනෑම කෙනෙක් අතර ඇතිවන ප්‍රේමය පිවිතුරුයි කියලා පෙන්වන ගීතයක් මට කරන්න ඕනෑ අක්කා ඒකට කැමැති ද කියලා මම ඇයගෙන් ඇසුවා. තනුව සහ ට්‍රැක් එක එකතු කරලා එයට අනුව මල්කි අක්කා පද රචනාව කරලා ගීතය පටිගත කළා. සංගීත සංයෝජනය කළේ ලහිරු ද කොස්තා අයියා. ඉන්පසුව චාරුක දුෂ්‍යන්ත මියුසික් වීඩියෝ එක නිර්මාණය කළා. ගයාන් ශ්‍රීමාල් නර්තන වින්‍යාසය නිර්මාණය කළා සහ ගයාන් ශ්‍රීමාල්ගේ නර්තන කණ්ඩායම වීඩියෝවට සම්බන්ධ වුණා. හැමෝම එකතු වෙලා වැඩේ ලස්සනටම කළා. 

මේ වගේ නිර්මාණයක් කිරීමට සිතුවේ ඇයි?

දැනට සංගීත ක්ෂේත්‍රයේ කවුරුවත් මේ ගැන කතා කරලා නැහැ. හාසේ‍යා්ත්පාදන ශිල්පීන් සහ සංගීත ශිල්පීන් බොහෝ විට උත්සාහ කරන්නේ සමලිංගිකයන්ව සහ සංක්‍රාන්ති ලිංගිකයන්ව උපහාසයට ලක් කරන්න. මට අවශ්‍ය වුණා මේ අය විහිළුවක් නොවෙයි. අපි ලස්සනයි. අපි ආදරය දැනෙන හදවත් ගැහෙන මිනිසුන්, හැකියාව තිබෙන දක්ෂයන්, අපි ස්මාර්ට් කියන එක පෙන්වන්න මට අවශ්‍ය වුණා.

ලැබෙන ප්‍රතිචාර කොහොමද? ඔබේ උත්සාහය සාර්ථක වෙලා තිබෙනවා යැයි සිතෙනවාද?

ඔව්. අනිවාර්යයෙන්ම මට ඒ ගැන විශාල සතුටක් තිබෙනවා. මම සිතුවේවත් නැති තරම් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා. මා සමඟ මෙතෙක් සිටි ප්‍රේක්ෂකයන් සහ මා සමඟ අලුතෙන් එකතු වූ ප්‍රේක්ෂකයන් බොහොම ආදරණීය පිරිසක් බව මට වැටහුණා. මම කියන්න උත්සාහ කළ පණිවුඩය ඔවුන් නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා වගේම ඔවුන් එයට ඔවුන්ගේ අර්ථකථනත් එකතු කරමින් ලස්සන අදහස් ප්‍රකාශ කරලා තිබෙනවා. හැම නිර්මාණයකටම හොඳ වගේම නරක ප්‍රතිචාර ලැබෙනවා. නමුත් මේ නිර්මාණයට නරක ප්‍රතිචාර ලැබුණේ බොහොම අඩුවෙන්.

මේ වගේ අභියෝගාත්මක පියවරක් තබන්න ඔබේ පවුලෙන් වගේම හිත මිතුරන්ගෙනුත් විශාල සහයෝගයක් ලැබෙන්න ඇති?

මගේ මවුපියන්ගෙන් සහ මිතුරන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඔවුන් මට කලින්ම පැවැසුවා මෙවැනි දෙයක් කරන විට මට දරාගැනීමට නොහැකි තරම් නරක ප්‍රතිචාරයක් ලැබෙන්න ඉඩ තිබෙනවා කියලා. මම ඔවුන්ට පැවසුවා මේ නිර්මාණය දිහා හොඳ විධියට බලයි කියන විශ්වාසය මට තිබෙනවා කියලා.

ඔබට මේ වීඩියෝව තුළින් ඔබේ නර්තනයට ඇති ආශාව සහ හැකියාව පෙන්වීමටත් හැකියාව ලැබුණා නේද?

ඔව්. මගේ නර්තන හැකියාව මේ නිර්මාණය තුළින් පෙන්වීමට මට අවස්ථාව ලැබුණා. මගේ මීළඟ නිර්මාණයේදීත් මම නර්තන ඉදිරිපත් කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වනවා. එයත් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳගනියි කියලා මම සිතනවා.

ලංකාවේ මියුසික් වීඩියෝ ක්ෂේත්‍රයේ සංකල්පීය වෙනසක් කරන්න ඔබට හැකියාව ලැබිලා තිබෙනවා කිවහොත් නිවැරදි ද?

ඔව් යම් වෙනසක් කරන්න හැකියාව ලැබුණා කියලා මම සිතනවා. ලංකාවෙ රසික ප්‍රජාවට වෙනස් පැතිකඩක් පෙන්වීමට ලැබුණු එක ගැන මට විශාල සතුටක් තිබෙනවා. මට නිතරම අවශ්‍ය වුණේ වෙනසක් කරන්න.

සමලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකයන්ට මුලින්ම ඇතිවෙන ගැටලුව වන්නේ තමන්ගේ පවුල තමන්ගේ සැබෑ ස්වභාවය පිළිගනියිද කියන එක. එයට මුහුණ දෙන්නේ කොහොමද?

මෙතැනදි මූලිකවම බලපාන්නේ පරම්පරා පරතරය. සමලිංගික හා සංක්‍රාන්ති ලිංගිකයන් පාපකාරී මිනිසුන් කොටසක් කියලා ඔවුන් සිතාගෙන සිටින විධිය වෙනස් කරන එක තරමක් අපහසු දෙයක්. ඒක දවසකින් දෙකකින් සිදුවන දෙයක් නොවෙයි. ඒ නිසා තමන්ගේ පවුලේ අයට යම් කාලයක් අරගෙන මෙය සාමාන්‍ය මනුෂ්‍ය හැඟීමක් ආදරය කියන දේ සෑම කෙනෙක්ටම අවශ්‍යයි කියලා අපේ වැඩිහිටි පරම්පරාවට තේරුම් කරලා දෙන්න පුළුවන්නම් හොඳයි. මේක බොහොම සෙමෙන් කරන්න ඕනෑ දෙයක්. සමලිංගික හෝ සංක්‍රාන්ති ලිංගිකයන් කියූ විට බොහෝ දෙනෙක් සිතන්නේ ඔවුන් ලිංගිකත්වයට ඇබ්බැහි වූ පිරිසක් කියලා. නමුත් ඒක සත්‍ය නොවන බව ඔවුන්ට පැහැදිලි කර දෙන්න ඔබට පුළුවන්. ඔබටත් ජීවිතය සාර්ථකව ගත කරන්න හැකියාව තිබෙන බව පෙන්වන්න. විවාහය කියන සම්ප්‍රදාය ඇති වුණේ යම් කාලයකදීයි. ඊට පෙර විවාහය කියන සංකල්පය මේ සංස්කෘතිය තුළ තිබුණේ නැහැ. ඒ වගේ මේ සමලිංගිකත්වය කියන එකත් යම් කාලයකදී මේ සම්ප්‍රදායට ඇතුළු වෙයි. මේ නිර්මාණ තුළින් මම උත්සාහ කරන්නෙත් මේ සම්ප්‍රදායන් නව්‍යකරණය කරන්න.

පාසල් ජීවිතයේ දී සහ විශ්වවිද්‍යාල ජීවිතයේදී ඔබේ ස්වරූපය නිසා හිරිහැරවලට මුහුණ දීමට සිදුවෙලා තිබෙනවාද? කොහොමද ඒවාට ශක්තිමත්ව මුහුණ දුන්නේ?

විශ්වවිද්‍යාලය තුළ අපි හැමෝම එකම බුද්ධි මට්ටමක සිටින අය නිසා එහෙම ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙලා නැහැ. ජයවර්ධනපුර වෛද්‍ය පීඨය කියන්නේ ඇත්තටම ඉතාම හොඳ පරිසරයක් සහ සහයෝගී පිරිසක් සිටින තැනක්. නමුත් ජීවිතයේ වෙනත් අවස්ථාවලදී මම හිත ශක්තිමත් කරගත්තා. ඒ අවස්ථාවල මම සිතුවා මේ ලෝකයේ මම වගේ සිටින්නේ මම පමණයි කියලා. මට වඩා ලස්සන දක්ෂ අය සිටින්න පුළුවන්. නමුත් මම වගේ කෙනෙක්ට සිටින්නේ මම විතරයි. මම මගේ අනන්‍යතාව ගැන සිතලා මම සතුටු වුණා. මම මාව ආදරයෙන් බාරගත්තා. ඒ නිසා මේ වගේ දේවල් මේ අය කියන්නේ ඔවුන්ගේ තිබෙන නොදැනුවත්කම නිසා කියලා ඒ දේවල් බැහැර කරන්න මට හැකියාව ලැබුණා. මේ විධියේ හිරිහැරවලට ලක්වන කෙනෙක් කරන්න ඕනෑ එතැනින් ඉක්මනින් ඉවත් වන එක. විශාල කරදරයක් වෙනවා නම් තමන්ට වඩා ඉහළ කෙනෙක්ට දැනුම් දෙන්න. ඒ වගේ දෙවල්වලින් වැළකිලා තමන්ගේ මානසික සෞඛ්‍ය රැකගෙන සාර්ථකව සිටින්න.

සංගීත පැත්තෙන් හරිත් විජේරත්න කියන නම ජාත්‍යන්තරයට ගෙන යන්න සැලසුම් තිබෙනවාද?

ඉදිරියේදී ඉංග්‍රීසි ගීත සමූහයක් එළිදක්වන්න අදහසක් තිබෙනවා. ලංකාවෙත් ඉංග්‍රීසි ගීත අහන ප්‍රේක්ෂකයන් සිටිනවා. ඉතින් මම සිතනවා ඒ හරහා මට ජාත්‍යන්තරය ජයගන්න පුළුවන් වෙයි කියලා. ඒ සඳහා සහයෝගය දක්වන්න කිහිප දෙනෙක් ඉදිරිපත් වෙලා තිබෙනවා. එලෙස සහයෝගය දක්වන්න කැමැති කෙනෙක් සිටිනවා නම් මාව සම්බන්ධ කරගන්න කියලත් ඉල්ලා සිටිනවා.

සමලිංගික හා සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙනුවෙන් යමක් කරන්න අදහසක් තිබෙනවාද?

ඔව්. මේ ගීතයත් එවැනි ප්‍රයත්නයක්. ඉදිරියේදී විවිධ සංවිධාන සමඟ සම්බන්ධ වෙලා හිරිහැරයන්ට ලක්වන පිරිස් සහ සමලිංගික ප්‍රජාව පිළිබඳව නොදැනුවත් අයව දැනුවත් කරන වැඩපිළිවෙළකට සම්බන්ධ වී කටයුතු කරන්න අදහසක් තිබෙනවා.

වෛද්‍යවරයෙක් ලෙස හරිත්ව ඉදිරියේදී අපට දැක ගන්නට පුළුවන් නේද?

ඔව්. මම කායික රෝග පිළිබඳ වෛද්‍යවරයෙක් වීමට තමයි බලාපොරොත්තු වන්නේ.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

මගේ තවත් රසිකයෙක් මට එවූ ගීතයක් තිබෙනවා. එය ඉදිරියේදී නර්තන වීඩියෝවක් සමඟ එළිදක්වන්න කටයුතු කරමින් සිටිනවා.

කුශාන්ති අනුරාධා බණ්ඩාර