ලංකාව සිලෝන් වෙද්දී රජ පවුල ගැන රස කතා හැදුණේ මෙහෙමයි

0
72

අහඹු ඇමරිකානු කාන්තාවක් නිසා එංගලන්ත රජ පවුලේ කුමරියකට රැජනක් ලෙසින් මිය යන්නට වරම් හිමි විය. 1936 ජනවාරි 20 වැනිදා එවකට එංගලන්තයේ රජු ලෙස කිරුළ දැරූ 5 වැනි ජෝර්ජ් රජ ජීවිතක්ෂයට පත් විය. එවකට එංගලන්ත යටත්විජිතයක් වූ සිලෝන් දේශයේ පාසල් පද්ධතිය තුළ රජු අරබයා නිතරම කියැවුණු ප්‍රශස්ති කවියක මෙසේ සඳහන් විය.

“අපගේ මහ රජා

ලන්ඩන් නුවර වැජඹෙනා

නිතර සිහිවෙනා

ලෙස පින්තූරෙ බලමිනා

ජෝර්ජ් අපගේ මහ රජා

මේරි බිසව් ගුණකඳා

ලංකාවත් රැක දිදී

වැජඹේ සිරි රැස් වැදී”

අපගේ මහ රජා වූ 5 වැනි ජෝර්ජ් මෙලොවින් සමුගන්නේ ඔහුගේ වැඩිමල් පුත් 8 වැනි එඩ්වඩ් රජු හට කිරීටය හිමිකර දෙමිනි. එඩ්වඩ් කුමරු ඒ වනවිටත් දෙවතාවක් විවාහ වී නීතියෙන් වෙන්ව සිටි වෝලීස් වෝෆීල්ඩ් – සිම්ප්සන් නම් ඇමරිකානු කාන්තාවක සමඟ ප්‍රේමයෙන් වෙළී හුන්නේය. හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ පලන් රජු මෙයට පෙර විවාහ වී සිටි අන්‍ය ජාතික කාන්තාවක් සමඟ ආවාහ වීම රාජකීය සම්ප්‍රදායට පටහැනි බවට විසංවාද පැන නැඟුණු අතර එඩ්වඩ් – වෝලීස් ප්‍රේමයට රාජකීය සම්ප්‍රදායයේ අනුමැතිය නොලැබෙන ඉඟි පහළ විය. ඉනික්බිති පදවිප්‍රාප්තියෙන් මාස 11 දවස් 21ක් ගත වන තැන එනම් 1936 දෙසැම්බර් 11 වැනිදා රජ කිරුළ අත්හරින 8 වැනි එඩ්වඩ් සිය පෙම්වතිය වූ වෝලීස් වෝෆීල්ඩ් – සිම්ප්සන් විවාහ කර ගත්තේය.

එඩ්වඩ් කුමරු ස්වකීය ප්‍රේමය වෙනුවෙන් රජ කිරුළ අතහැරීමේ සිදුවීම එවකට එංගලන්ත යටත්විජිතයක් වූ ශ්‍රී ලංකාවද කම්පනයට ලක් කළ පුවතකි. සිබිල් වෙත්තසිංහයන් තම “වැනියන් කළු වැනීයන්” පොතෙහි සඳහන් කරන ආකාරයට ඇගේ ළමා කාලයේ ප්‍රධාන සන්නිවේදන මාර්ගයක් වූ කවි කොළකරුවන් එම පුවත ශෝක භරිතව ක¾දු සලමින් කවියෙන් මෙසේ විස්තර කර තිබිණි.

“සිම්සන් නෝනා ආදරී

හිතට බොහොම වී පිරී

දෙයියනේ හිතට බොහෝ දුකයි

ආලේ ලීලේ ඒ තමයි”

තිහේ දසකයේදී කවි කොළකරුවන් ලේන්සුවෙන් නාසය සූරමින් කම්පා වූ මේ පුවතම අසූව දසකයේ දී ටයිටස් තොටවත්තයන් විසින් රූපවාහිනි තිරයට ගෙන එන ලදී. සිංහලෙන් හඬ කැවූ ‍ෙදාස්තර හොඳ හිත කාටූන් වැඩසටහනෙහි එන ළා තණකොළ පෙත්තාස් නම් සංගීත කණ්ඩායම ගයන ලව් ලව් ලව් ලව් නම් වූ ගීතය රචනා කළ ප්‍රේමකීර්ති ද අල්විස් නම් වූ කුසලතාපූර්ණ ගීත රචකයා විකාරරූපී අදහසක් ප්‍රකාශ කළේය.

ආලය කියනා මාලය වැටුණොත්

රජුන්ද පිස්සන් වෙයි

අටවැනි එඩ්වඩ් රජකම ඇරියේ

ආලය හින්දාමයි

එඩ්වඩ් කුමරු රජ කිරුළ අත්හළ පසු අනුප්‍රාප්තිකයා ලෙස රජකමට පත් වන්නේ ඔහුගේ බාල සොහොයුරු වූ 6 වැනි ජෝර්ජ් රජුය. 1936 දෙසැම්බර් 11 වැනි දා සිට එංගලන්තයේ රජු ලෙස කිරුළ දරන 6 වැනි ජෝර්ජ් රජු 1952 පෙබරවාරි 06 වැනිදා කළුරිය කරන්නේ තම වැඩිමහල් දියණිය වන විසි හය හැවිරිදි එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරිය දෙවැනි එළිසබෙත් රැජන ලෙස අභිෂේක කරවමිනි.

2022 සැප්තැම්බර් 08 වැනිදා එංගලන්තයේ මහ රැජන ලෙස මෙලොවින් සමුගගෙන යන්නේ වසර අසූ හයකට පෙර රජකම අත්හළ 8 වැනි එඩ්වඩ් රජුගෙන් පසුව එංගලන්ත රජ කිරුළ හිමි වූ පුද්ගලයාගේ වැඩිමල් දියණිය.

වෝලීස් වෝෆීල්ඩ් – සිම්ප්සන් නම් ඇමරිකානු කාන්තාව නොවන්නට අද දිනයේදී එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි කුමරිය ජීවිතයෙන් සමු ගන්නේ දෙවැනි එළිසබෙත් රැජන ලෙස නොව රාජකීය පවුලේ ආසන්න කවයට අයත් තවත් එක් සාමාජිකාවක් ලෙසිනි.

සහන් කසීර වික්‍රමසිංහ