රුසියාවේ පත්තරවලත් වැටුණු ලංකාවේ newspaper

0
521

රුසියාවේ ටටස්ථාන් ජන රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව වාර්ෂිකව පැවැත්වෙන කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේ (Kazan International Muslim Fim Festival) 18 වැනි අදියර පසුගිය 11 වැනිදා රාත්‍රියේදී පෞරාණික කසාන් නුවර පිරමීඩ් සංකීර්ණයේදී අති උත්සවශ්‍රීයෙන් නිමාවිය.

එහිදී කාන්, ලන්ඩන් ,බූසාන් ආදී ලෝ ප්‍රකට සිනමා උළෙල නියෝජනය කළ සිනමාපට ඇතුළුව පසුගිය දෙවසර තුළ ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ සිනමා නිර්මාණ 10 ක් අන්තර්ගත වූ උළෙලේ ප්‍රධානතම තරගකාරී අංශයේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට “the newspaper” චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ පෙවූ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සමත් වුණා.

2005 වර්ෂයේ සමාරම්භය සනිටුහන් කළ කසාන් සිනමා උළෙලේ ශ්‍රී ලාංකේය සිනමාපටයක් සම්මානයකින් පිදුම් ලද දෙවැනි අවස්ථාව මෙය වූ අතර, මීට පෙර 2018 වර්ෂයේදී සමීර නාඔටුන්නගේ මෝටර් බයිසිකල්, සිනමාපටය රුසියානු සිනමා විචාරක සංසදය විසින් පිරිනමන ස්වාධීන ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය. එහෙත් උළෙලේ ප්‍රධානතම ජූරිය විසින් පිරිනැමූ සම්මානයකට ශ්‍රී ලාංකේය සිනමාපටයක් හිමිකම් කියූ පළමු අවස්ථාව “the newspaper” හරහා සටහන් වීම කැපී පෙනෙන කාරණාව ලෙස හ¾දුන්වන්න පුළුවන් .

එසේම කසාන් උළෙල නියෝජනයට වරම් ලද සිවුවැනි ශ්‍රී ලාංකේය සිනමාපටය  “the newspaper” විය. එහිදී මෝටර් බයිසිකල් හා  “the newspaper” ප්‍රධානතම තරගකාරී අංශය ( Full Length Feature Competition) යටතේද, සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් (2017 දී) සහ මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා (2018 දී) තරගයෙන් බැහැර වූ අංශය (Out of Competition) යටතේද උළෙලේ තිරගත විය.

ෆිඇප්ෆ් (FIAPF) අනුමැතිය හිමිවූ ඉන්දියාවේ බෙංගලුරු අන්තර්ජාතික සිනමා උළෙලේදී දෙවැනි හොඳම ආසියානු සිනමාපටයට හිමි සම්මානයෙන් (Second Best Asian Film) “the newspaper” චිත්‍රපටය පිදුම් ලැබීමත් සමඟ, සෙසු අන්තර්ජාතික සිනමා උළෙලවලදී “the newspaper”  චිත්‍රපටය වෙත විශේෂ අවධානයක් හිමි විය.

එහෙයින් මේ දක්වා “the newspaper”  චිත්‍රපටය නියෝජනය කළ සියලුම අන්තර්ජාතික සිනමා උළෙලවලදී සම්මානයකින් පිදුම් ලැබීමට හෝ සම්මානයක් සදහා නිර්දේශ වීමට හෝ “the newspaper” සමත්ව තිබීම කැපී පෙනේ. කසාන් උළෙලේදී ලද සම්මානයත් සමඟ මේ වනවිට අන්තර්ජාතික උළෙලවලදී “the newspaper” දිනා ඇති සමස්ත ජාත්‍යන්තර සම්මාන සංඛ්‍යාව 08 ක් බවට පත්වේ.

බන්දුල ගුණවර්ධන නිෂ්පාදනය කළ “the newspaper”, රුසියාවේ කසාන් සිනමා උළෙලට නිර්දේශ කිරීම හා සම්බන්ධීකරණය යූ.එල්.කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම විසිනි.