රාජ්‍ය ඇමතිවරුන්ගේ සාදයේදී අහසට වෙඩි තබූ ඇමැති කවුද?

0
76

කතරගම යන අතර මඟදී ජනපති ගොඩ වැදුණු තැන්

රාජ්‍ය වියදම් කළමනාකරණය කිරීමට ගත් තීන්දුව මත පදනම්ව ජනාධිපතිවරයා පසුගිය සති අන්තයේ සිය නිල රථයෙන් කතරගම බලා පිටත්ව ගියේය. ගුවනින් යන ලෙස බොහෝ දෙනකු ජනාධිපතිවරයාට දැනුම් දුන්නත්, ජනාධිපති එය ප්‍රතික්ෂේප කෙළේය. ජනාධිපති සමඟ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂද පැමිණ සිටියහ. ජනාධිපතිවරයා පළමුව කිරිවෙහෙර වැඳපුදා ගන්නට යද්දී වන්දනාවේ පැමිණි බැතිමත්හුද එහි සිටියහ. ජනාධිපතිවරයා ඔවුන් සමඟ කතා බහ කරමින්, නිවාඩු කාලේ දැන් කට්ටියම ටි්‍රප් යනව නේදැයි මඳ සිනහවකින් අසද්දී බැතිමතුන් අතර සිටි කාන්තාවක් කීවේ ඔබතුමාව අපි දකින්නේ ටී.වී. එකෙන් විතරයිනේ. මෙහෙම දකින්න ලැබීම ගැන සතුටුයි කියායි.

මම පොදු ස්ථානවලට යන්නේ ජනතාව අඩුවෙලාවට. මම කොහොම හරි ආවාම මිනිස්සුන්ට කරදරයිනේයි කී ජනාධිපතිවරයා බැතිමතුන්ගෙන් සමුගෙන අෂ්ටඵල බෝධිය වැඳපුදා ගන්නට ගියේය. අනතුරුව කතරගම මහ දේවාලයටද ගොස් පූජා වට්ටිද තබා ආශීර්වාද ලබාගෙන ගණ දේවාලයටද, වල්ලිමාතා දේවාලයටද ගොස් වැඳපුදා ගෙන, අභිනවාරාමයට ගොස් සංඝයා වහන්සේලාගේ ආශීර්වාදයද ලබා ගත්තේය.

එදින සවස වැඩිහිටි කන්දට යන්නටද අමතක නොකළ ජනාධිපති කොළඹ බලා පිටත්විය. එන අතරමඟද කථානායක මහින්ද යපා අබේවර්ධනගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමටද එම නිවෙසට ගියේය. ජනාධිපති එහි යන විට රාජ්‍ය අමාත්‍යවරු වන තේනුක විදානගමගේ හා විමලවීර දිසානායකද පැමිණ සිටියහ.

රනිල් හඳුන්නෙත්තිට

කීවේ මොනවාද

අවසන් ගෞරව දැක්වීමෙන් පසු අසල කාමරයක අසුන් ගැනීමට කටයුතු සැලසිණි. එහි සිටි පිරිස සමඟ ජනාධිපති සුහද පිළිසඳරක යෙදී සිටියදී සුනිල් හඳුන්නෙත්තිද පැමිණියේය. ප්‍රභූ පිරිස අසුන්ගෙන සිටි ස්ථානයට කැඳවාගෙන ගිය සුනිල්ට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අසුන්ගෙන සිටි අසුනට යාබද අසුනේ වාඩිවෙන්නට ඉඩ සලසා දුන්නේය.

හඳුන්නෙත්ති දෙස බැලූ ජනාධිපති ආ මේ අපේ යාළුවෙක්නේයි කියද්දී හඳුන්නෙත්ති මෙවැනි සඳහනක් කළේය.

“ඔබතුමා කියපුදේ හින්ද මට දැන් උත්තර දීලා එපා වෙලා ඉන්නේ” කියද්දී තේනුක ඇසුවේ මොකක්ද ඒ කියායි.

“ඇයි ජනාධිපතිතුමා අය-වැය කතාව ආරම්භ කෙළේ මම කියපු කතාවක් කියලනේ” සුනිල් කියද්දී එහි සිටි හැමෝටම වාගේ කතාව සිහිපත් විය.

“මම කිව්වේ බොරුවක් නෙවෙයිනේ. සුනිල්ගේ ප්‍රතිපත්තිය අපි කියන ප්‍රතිපත්තියත්, රාජ්‍යය තියෙන්නේ ව්‍යාපාර කරන්න නොවෙයි. ඉතින් ඒක ඇත්තනේයි“ ජනාධිපති හඳුන්ට කීවේ තරමක විහිළුවක්ද කරමිනි.

ජනපති මැඳුර ආර්ට් ගැලරියක් කරන අදහස

ජනාධිපතිවරයා මේ සුහද කතා බහේද රටේ සංවර්ධනයට අදාළ කරුණු කිහිපයක් ගැනද කරුණු දැක්වීය. දුම්රිය ස්ථානවල මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවට අයත් විශාල ගොඩනැඟිලි සංචාරක නිකේතනවලට යොදා ගන්නට ඇති හැකියාවත් ජනාධිපති මන්දිරය නිල උත්සව සඳහා පමණක් භාවිත කර එම ගොඩනැඟිල්ල ආර්ට් ගැලරියක් කරන්න යන අදහසක් හෙළි කළේය.

අනතුරුව කොළඹ ප්‍රදේශය සංචාරක පුරයක් කිරීමේ සැලසුමක්ද ජනාධිපතිවරයා මෙහිදී ඉදිරිපත් කෙළේය.

ජනාධිපතිවරයා පසුගිය සඳුදා බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කළේය. තමන් රාජකීය අවමඟුල් උත්සවයට සහභාගි වීම අපේක්ෂා කරන බවද එහිදී දැනුම් දුන්නේ ජනාධිපති අවමඟුල් උත්සවයට සහභාගිවීමට අද ලන්ඩනය බලා පිටත්ව ගියේය.

ප්‍රශ්න විසඳුවා කිව්වට

විදුලි බිල, වතුර බිල ඩබල්, ටි්‍රබල් වෙලා

එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු පක්ෂ දේශපාලන කටයුතුවලින් ටිකක් දුරස් වී සිටීම ගැන එජාප පාක්ෂිකයන්ට තරමක අවිනිශ්චිත බවක් හැඟෙන්නට පෙනෙන්නට තිබේ.

මේ බව හොඳටම පෙනී ගියේ එජාප සභාපති වජිර සමඟ පසුගිය බදාදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මහජන හමුවට පක්ෂ සාමාජිකයන් සහභාගි වූ අවස්ථාවේදීය.

වජිර අසලට ගිය පාක්ෂිකයන් ‘ගුඩ්මෝනින් සර්’ කියමින් පිළිගෙන සතුටු සාමිචියේ යෙදෙද්දී “සර් දැන් අපි සිරිකොතට එන්නේ ටිකක් උදේ‍යාගයකින්. තිබුණු පෝලිම් නැතිවුණා. ඒක නම් අපිට ලොකු සහනයක්. ජනාධිපතිතුමා ප්‍රශ්න ටිකක් විසඳලා තියෙනවා” යැයි කියමින් වජිර අපේක්ෂා නොකළ ප්‍රශ්නයක් ඔහුට යොමු කළේය.

“ඒක නෙවෙයි සර් කාරණාව, දැන් එතකොට අපේ පක්ෂයේ ඉදිරි ගමන්මඟ කොහොම වෙයිද?”

වජිර එයට ඍජු පිළිතුරක් දුන්නේ නැත. ඔහුත් කියන්නට පටන් ගත්තේ රනිල්ගේ දස්කම් ගැනය. “ඔබතුමාලා කිව්වා හරි. මේ රටේ ප්‍රශ්න සෑහෙන දුරකට විසඳලා තියෙනවා. ගෑස්, ඉන්ධන ප්‍රශ්නය. ඒක නම් මිනිස්සුන්ට ලොකු සහනයක්. ඒවා විසඳුණේ ජනාධිපතුමාගේ පැහැදිලි ආර්ථික වැඩපිළිවෙළ නිසයි.”

වජිර එහෙම කිව්වත් රටේ ජනතාව මුහුණදෙන මූලික ප්‍රශ්නවලට නම් තවමත් සාර්ථක විසඳුමක් නම් ලැබී නැත. බස් ගාස්තු වැඩි කිරීම, දුරකථන ගාස්තු, ජල ගාස්තු හා විදුලිය ගාස්තු වැඩි කිරීම අද ජනතාවට දරාගන්නට බැරිය. මේ සටහන තබන අවස්ථාවේ දුරකථනයෙන් කතා කළ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියකු ‘මචං ගිය මාසේ මගේ විදුලි බිල රුපියල් 19,000ක්. මෙදා ආපු බිල රුපියල් 49,000ක්’ කියායි. මෙය එක් උදාහරණයක් පමණි.

දැන් සර්ව පාක්ෂික කතා නෑ එකතු වෙලා වැඩ කරමු

ජනාධිපති මුල සිටම අපේක්ෂා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටය. දැන් ඒ උත්සාහය ව්‍යර්ථ වී ගොස්ය. ඒත් තවමත් එජාපය ඒ පස්සේ දුවයි. වැඩියෙන් දඟලන්නේ වජිරයි. පාක්ෂිකයන් සමඟ සිරිකොතේ පැවැති සාකච්ඡාවේදී වජිර ‘සර්ව පාක්ෂික’ වචනය නොකියා මෙහෙම කීවේය. “මේ වෙලාවෙ අපි හැමෝම එකතුවෙලා හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කළොත් මේ රට ඉක්මනටම ගොඩගන්න පුළුවන් වේවි. රටට ආදරයක් ඇති දුකක් කරදරයක් නැතිව ජීවත් වන්න කැමැති බහුතරයේ අවශ්‍යතාවද මෙයයි. එහෙත් දේශපාලනඥයන් පිරිසක් එයට අකැමැති නම් ජනතාව මොනවා කරන්නද? කරන්න නම් අවස්ථාවක් ළඟදීම ලැබේවි. ඒ මහා මැතිවරණයයි.”

නිදහස් ජනතා සභාව මල්වතු – අස්ගිරි නාහිමිවරු බැහැ දකී

පොහොට්ටුවෙන් ඉවත්ව නව දේශපාලන ගමනකට මුල පිරූ “නිදහස් ජනතා සභාව“ අංශ කිහිපයකින් වැටී තිබෙන රට ගොඩ ගන්නට සිය දේශපාලන ප්‍රතිපත්ති ජනගත කිරීම දැන් අරඹා තිබේ. අනුරාධපුර ඓතිහාසික රජරටින් ආරම්භ කළ එම වැඩසටහනේ දෙවැන්න පසුගිය සතියේ කන්ද උඩරට මහනුවරින් ආරම්භ කෙරිණි.

නිදහස් ජනතා සභාවේ ඩලස්, චරිත හේරත්, ලලිත් එල්ලාවල, තිලක් රාජපක්ෂ, චන්න ජයසුමන, වසන්ත යාපා, කිරිඳිගොඩ ඇතුළු මන්ත්‍රි පිරිස මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

පිරිස දළදා සමිඳුන් වැඳ අශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී  විමලධම්ම නාහිමියන්ද අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී  ඤාණරතන නාමිහියන්ද බැහැදැක ආශීර්වාද ලබා ගනිමින් පක්ෂයේ දේශපාලන වැඩසටහන ගැන දැනුවත් කළහ.

මල්වතු අනුනාහිමියෝ ඩලස් ඇතුළු මන්ත්‍රි පිරිසට කීවේ රට මුහුණ දෙන මෙවැනි බරපතළ අවස්ථාවක මේ වගේ අවංක දේශපාලනඥයන් එකට එකතුවීම බොහොම හොඳ ලක්ෂණයක් බවයි.

ඇතැම් දේශපාලන පක්ෂවල මහා නායකයන් ලෙස පෙනී සිටින පිරිස්වලට රට ගොඩගන්නට කරන ආයාචනා පයිසයකටවත් නොසලකා මහා දැවැන්තයන් ලෙස පෙනී සිටින එවැනි දේශපාලනඥයන්ට අස්ගිරි මහ නායක වරකාගොඩ ඤණරතන නාහිමියෝ මෙහිදී රටට සුළු වුවත් රටට වැදගත් අවවාදයක් දුන්හ. මහ නාහිමියන්ගේ අවවාදය වූයේ අපි සියලුදෙනාම රට වෙනුවෙන් එකට එකතුවන එක වැදගත් කාරණයක් බවයි. බුද්ධිමත් අවංක කණ්ඩායමක් ප්‍රශ්නවලට සිත යොමු කරනවා නම් රට බේරා ගන්න පුළුවන් බවද මහ නාහිමියෝ මන්ත්‍රි පිරිසට පැවැසූහ.

ගම්වලටත් ඇවිත් පාක්ෂිකයින් හමුවුණොත් නරකද?

මහනුවර ඓතිහාසික පුල්ලෙයාර් කෝවිල මීරබක්කම් මුස්ලිම් පල්ලියටද ගිය පිරිස මහනුවර සංවිධානය කර තිබූ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්‍රියාකාරීන්ගේ හා විද්වතුන්ගේ හමුවීම් දෙකකටද සහභාගි වූහ.

ක්‍රියාකාරීන්ගේ හමුවට සහභාගි වූ පිරිස අතර සිට අයකුගේ ඉල්ලීම වූයේ “ඔබතුමන්ලා ඉක්මනට ගම්වලට ඇවිත් පාක්ෂිකයන් හමුවන්න. ඒ අය බොහොම කලකිරිලා ඉන්නේ මේ වෙලාවේ” යන්නයි.

මන්ත්‍රි පිරිස අතරට පැමිණි ඒ පුද්ගලයා ඔබතුමාල එක්ක කතා කරන්න පුළුවන් නේදැයි අසද්දී මන්ත්‍රිවරු කිහිපදෙනකුම එකවරම කීවේ අයියෝ මොකද බැරි අපි ආවේ ඔබතුමාලා එක්ක කතා කරන්න තමයි කියායි.

සමාජේ අපි ඔක්කොම සමාන බව ඩලස් කියයි

නැහැ, ඉතිං පොහොට්ටුවේ සංවිධායකකම් අපි වගේ අයට ලැබෙන්න ලොකු ලොක්කන් ඉඩ දෙන්නේ නැහැනේ අයෙක් කියද්දී ලොකුකම් අපි ළඟ නෑ. අපි ඔක්කොම එක සමානයි කීවේ ඩලස්ය.

ඔබතුමාලා සංවිධායකයො පත්කර ගත්තට පස්සේ තමයි ඒක වෙන්නෙයි මන්ත්‍රි පිරිස ඇමැතූ පුද්ගලයා ඇඟට නොදැනීම කීවේය.

අපි නිදහස් අදහස් තියෙන පිරිසක්නේ. ඒ ගැන සැකයක් තියාගන්න එපා සහෝදරයායි ඩලස් කීවේ බටර් පාරක්ද ගාමිනි.

පොහොට්ටුවේ දේශපාලනය විවේචනයට ලක් කළ එම පුද්ගලයා දැන් පොහොට්ටුව දේශපාලනයෙන් අතු ගෑවිලා. තරමක කේන්තියකින් පැවැසුවේය.

ලලිත් එල්ලාවල මන්ත්‍රිවරයා එම පුද්ගලයාට පිළිතුරක් දෙමින් ඔය ප්‍රශ්නේ ගැන අපි මේ දවස්වල කතා කරනවා. අපිටත් ඔය අත්දැකීම් හොඳට දැනිලා තියෙනවා කියද්දී අපිට ගමේ එළියට බහින්න පුළුවන් විදිහට අලුත් ගමනක් පටන් ගන්න කෝයි පවසමින් ඒ පුද්ගලයා මන්ත්‍රි කණ්ඩායමෙන් සමුගත්තේය.

ජාතිය, කුලය, යුද්ධය විකුණලා පවුල් 4ක් වසර 76ක් රට පාලනය කළා

මහනුවර ප්‍රදේශයේ වෛද්‍ය, ඉන්ජිනේරු, නීතිඥ, විශ්වවිද්‍යාල අචාර්යවරුන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ හමුවකට එක්වූ මන්ත්‍රි කණ්ඩායම් ප්‍රධානියකු ලෙස කටයුතු කරන ඩලස් රට අගාධයට පත්වීමට බලපෑ දේශපාලන හේතු දක්වමින් මෙහෙම කතාවක් කළේය.

නිදහසින් පස්සේ මේ රටේ මහ මැතිවරණ ජනාධිපතිවරණ 17ක් පවත්වල තියෙනවා. වසර 76ක් රට පාලනය කරන්න බලය ගත්තේ ආගම, ජාතිය, කුලය හා යුද්ධය විකුණලයි. නිදහසින් පසු වසර 76ක් රට පාලනය කළ අයගෙන් වසර 64ක්ම පාලනය කරලා තියෙන්නේ පවුල් 4ක්. ඒ කියන්නේ සේනානායක, බණ්ඩානාරයක, ජයවර්ධන හා රාජපක්ෂලා. ඒ පවුල් කේන්ද්‍රයේ දේශපාලනය තමයි මේ රටේ ඉදිරි ගමන නවත්තලා තියෙන්නේයි කීවේ රාජපක්ෂලා එපා කියා අලුත් දේශපාලනයකට පිවිසි ඩලස්ය. රාජපක්ෂලාගේ බලය බින්දුවටම බැස්සූ අරගලකරුවෝ ඔවුන් තනතුරුවලින් මෙන්ම රටෙන්ම පන්නා දැමීමට කළ සටන අවසන් දැයි දන්නේ නැත. යළිත් ඒ සටනට වඩා දරුණු ප්‍රබල සටනක් ඉදිරියට එන බවට සමහරු අනාවැකි ද කියති. ඒවා සාර්ථකවේදැයි දන්නේ නැත. එහෙත් සමස්ත ජනතාව එවැනි වෙනසක් ගැන අපේක්ෂාවෙන් සිටින බව නම් පෙනෙන්නට තිබේ. 

පොහොට්ටුව නාමල්ට භාරදී බැසිල් පදිංචි රට වූ ඇමරිකාවට යයි

බැසිල් රාජපක්‍ෂ ඔහුගේ දෙවැනි මවුරට ලෙස සලකනු ඇත්තේ ඇමරිකාවයි. ඒ ඔහු එරට පුරවැසියකු නිසා විය හැකිය. ඔහුගේ ආරදණීය බිරියද ඇමරිකානු පුරවැසියෙකි. අධිකරණයෙන් අවසරද ලබාගෙන පසුගිය සතියේ ඇමරිකාවට ගිය බැසිල් එරටට යන්නට පෙර පොහොට්ටුවේ ඔහුගේ සමීප පිරිස කඳවා පක්‍ෂය ඉදරියට ගෙන යෑමට අදාළ උපදෙස් දුන්නේය.

බැසිල්ගේ ප්‍රධානතම නැත්නම් වැදගත්ම උපදේශය නැත්නම් ප්‍රධාන වගකීම භාර දුන්නේ ඔහුගේ ඥාති පුත්‍ර නාමල් රාජපක්‍ෂටය. බැසිල් නාමල්ට කීවේ මම එනකන් මේ ටික ඔයා බලාගන්න කියායි. මේ ටික යන්නෙන් බැසිල් අදහස් කළේ පොහොට්ටුවයි.

වාර්තාවන අන්දමට අනෙක් වැඩි කොටස එනම් ආසන මට්ටමේ සංවිධායක ආදිය බලා ගන්නට පැවැරුවේ රෝහිත අබේගුණවර්ධනටයි.

බැසිල් බොහෝ දුරට ශ්‍රී  ලංකාවට ආපසු එනු ඇත්තේ ලබන වසර ආරම්භයේදීය.

ගෝඨා හමුවන්න පොහොට්ටු ඇමැතිලා වැලනොකැඩී යති

අරගලකරුවන්ගේ උද්ඝෝෂණවලට හා බලකිරීම්වලට මුහුණ නොදී තනතුර අතහැර එතෙර ගිය හිටපු ජනාධිපති ගෝඨාභය. දැන් හෙමින් හෙමින් හොරගල් අහුලන්නාක් මෙන් දේශපාලනයට ගෑවෙන්නට පරිසරය සකස් කරමින් සිටින බව වාර්තා වේ.

ගෝඨාභය දේශපාලනයෙන් අෑත්වී සිටින්නට උත්සාහ කළත් ඔහු දේශපාලනයට අෑදගන්නට මෙහෙයුම් කර තිබෙන්නේ පොහොට්ටුවේ හිටපු මෙන්ම දැනට සිටින මැති ඇමැතිවරුන්ය. පසුගිය සතියේ සිට පොහොට්ටු මැති ඇමැතිවරු ගෝඨා හමුවන්නට ඔහුගේ නිල නිවෙසට වැලනොකැඩී පෝලිමේ යන්නට පටන්ගෙන තිබේ.

ඔවුන් කොතරම් පිරිසක් ගෝඨා මුණ ගැසෙන්නට යනවාද කීවොත් මේ වන විට හමුවීම් ගැන ගෝඨාගේ දිනපොත පිරීගොස් ඇතැයිද වාර්තාවේ.

රාජ්‍ය ඇමැතිවරුන්ගේ සාදයේදී චූන් වෙලා

අහසට වෙඩි තබයි

පසුගිය සතියේ රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන් අයගෙන් පිරිසක් වෙනුවෙන් ජනාධිපතිගේ සොහොයුරකුගේ නිවෙසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබිණි. සියලු රසමුසුවලින් පිරී තිබුණු සාදයට ඇඟ රත්වෙන දියරවලින් අඩුවක් තිබුණේද නැත. සාදයට සහභාගි වූ ඇතැම් රාජ්‍ය ඇමැතිවරුන් පදමට ආතල් ගනිමින් චූන් වෙවී සිටියදී රත්වන දියර පදමට පාලනය කර ගන්නට නොහැකි වූ රාජ්‍ය ඇමැතිවරයකු ඔහුගේ ගිනිඅවිය එළියට ගෙන අහසට වෙඩිල්ලක් තිබ්බේය.

වෙඩිල්ල තිබ්බේ නිවෙස තුළම බැවින් එය වහලයේ වැදී සීලිමේ කොටසක් කඩාවැටී සාදයට ඇරැයුම් ලැබ පැමණි සිටි අයකුගේ ඔළුවට කඩා වැටී තුවාල සිදුවිය. ඒ පුද්ගලයා දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරයකු නොව ජනාධිපති සොහොයුරාගේ සමීපතම මිතුරෙකි. සොහොයුරා කඩිමුඩියේ මිතුරා ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු වෙත යොමු කළේය.

පදම වැඩිවන විට මොළය වැඩෙන්නේ නැත.

දැල්පන්දු ක්‍රීඩිකාවන්ට

අත දුන්නා මදි බව

කිරිඇල්ල කියයි

ආසියාවේ ක්‍රිකට් ශූරතාවත්, දැල්පන්දු ශූරතාවත් අපේ ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් දිනා ගැනීම ශ්‍රී  ලංකා ජනතාව අතිශය ප්‍රමෝදයට හා සතුටට පත් සිද්ධියක් වූවාට සැක නැත.

මෙම පී්‍රතිදායක සිද්ධිය පසුගිය සතියේ සජබ මන්ත්‍රිවරුන් අතර සාකච්ඡාවට බඳුන් විය. ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා අපේ දැල්පන්දු ක්‍රීඩිකාවන් ශූරතාව දිනා ගන්නට ගත් වෙහෙස ගැන කීවේ එම කණ්ඩායම මේ තරගයට සහභාගි වූයේ ප්‍රශ්න ගොඩක් මැද. රාජ්‍ය මට්ටමෙන් හරිහමන් සහයෝගයක් නොලැබුණු වාතාවරණයක් මැද බව කීවේය.

වර්තමාන ආණ්ඩුවෙන් සපෝට් එකක් නොලැබුණත් 2018 ආසියානු දැල්පන්දු තරගය ශූරතාව හිමිකර ගත් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට එවක නිවාස හා ඉදිකිරීම් ඇමැති ලෙස නිවාසයක් බැගින් පරිත්‍යාග කිරීම ගැන සඳහන් කළ මරික්කාර් මන්ත්‍රිවරයා, ආණ්ඩුව වෙනස් වීමෙන් පසු එම නිවාසවලට ණය වාරික ගෙවන්න ලියුම් එවා තිබෙන බවට නෝක්කාඩුවක් ලෙස කීවේය. චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා කීවේ එතකොට ක්‍රීඩා ඇමැති නාමල් බවය. ආසියාවේ අංක එකේ දැල්පන්දු කණ්ඩායමක් බලා ගන්නේ නැති උදවිය අද ඒ ජයග්‍රහණවල උප්පැන්න ලියාගන්න හදනවා විජේසිරි මන්ත්‍රිවරයා කීවේය.

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන්නට සිටි ශ්‍රී  ලංකා දැල්පන්දු කණ්ඩායම එම තරගාවලියට පෙර පුහුණු තරගාවලියක් සඳහා බොට්ස්වානා සංචාරය සඳහා අවශ්‍ය කරන ගුවන් ටිකට්පත් ලබාගැනීම ඔවුන් ඉදිරියේ බලවත් ගැටලුවක් වූ අවස්ථාවේදී එවක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටි සජිත් අනුග්‍රහය දැක්වීමත් ක්‍රීඩිකාවන් 12 දෙනකු හා නිලධාරීන් 3 දෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා වැයවූ රුපියල් 3,568,500ක මුදලක් අමාත්‍යවරයාගේ පෞද්ගලික මුදලින් හා අනෙකුත් අරමුදල්වලින් සැපයීමට කටයුතු කළ ආකාරයත් පිළිබඳ මෙහිදී තොරතුරු අනාවරණය විය.

රතු පලස් එළන්න එන උදවිය අත දෙන්නෙ නෑ

“ජයග්‍රහණයට පිරිස ගොඩක් ඉන්නවා. ඒ අය රතු පලස් එළන්නත් එනවා. හැබැයි ජයග්‍රහණ හොයාගෙන යන්න කැපවෙන කාලයේදී ගොඩක් අය නෑයි“ සජිත් කීවේය.

“ආණ්ඩුව අද රාජපක්‍ෂලාගේ වොෂින් මැෂින් එකක් වෙලා. සියලු පව් සෝදලා කහ වතුරෙන් නාවලා එයාලාව ආපහු කරළියට ගේන වැඩේ මේ සෙවණැලි ආණ්ඩුව කරනවා.

අද රටේ අත්‍යවශ්‍ය ඔෟෂධ නැහැ. මේ රටේ රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවා. පෝෂ්‍යදායී ආහාර වේලක් නැතිව මේ රටේ ගැබිනි අම්මලා හූල්ලමින් ජීවත් වෙනවා. මන්දපෝෂණය හිස ඔසවලා මේ රටේ දරු පරපුර අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙලා තියෙනවා” සජිත් තරමක වේගවත් කතාවක් කළේය.

දිනේෂ්ගේ අගමැති තනතුරට බැසිල් අත දාන්නේ නෑලු

මීළඟ අය-වැයට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බවට ඉකුත් සතියේ මෙම තීරයෙන් කළ හෙළිදරව්ව බොහෝ දුරදිග ගොස් එවැන්නක් සිදු නොවනු ඇති බවට ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබේ.

මෙම ආරංචිය කනවැකුණු බොහෝ දෙනකු ඒ ගැන පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂගෙන් විමසීම් කොට තිබේ. බැසිල් ඔවුන්ට පිළිතුරු ලෙස කියා තිබෙන්නේ “මම නම් එහෙම දෙයක් දන්නේ නෑ. අපේ පක්‍ෂය එහෙම දෙයක් තීන්දු කරලත් නෑ. කියන අයගෙන්ම ඒක අහගන්න” කියායි.

ඒ වන විට බැසිල් සිටියේ විදේශගත වීමට සූදානමකිනි. ඔය විදේශ ගමනට පෙර මෙම ප්‍රශ්නය නිරාකරණය කළ යුතු බව තීරණය කළ බැසිල් පසුගියදා ඇමැති ප්‍රසන්න කැඳවා “අගමැතිතුමා අයින් කරනවා කියන කතාව මොකක්දැයි“ විමසීය.

“ඕව හීනෙන් බයවෙලා වගේ කියන විකාර කතානෙ සර්. අපි ඕවට කලබල වෙන්න හොඳ නෑ” ප්‍රසන්නගේ පිළිතුර විය.

“ඔව්. ඒක ඇත්ත” මම රට යන්න හදන්නේ. ඊට කලින් මේ ප්‍රශ්නය විසඳන්න ඕනෑ. ඔයා දැන්ම ගිහිල්ල අගමැතිතුමාටයි, ජනාධිපතිතුමාටයි දෙන්නටම ගිහින් කියන්න අගමැතිතුමා ඉවත් කරන්න අපි තීරණයක් ගෙන නෑ කියලා. මේක බොරු කතාවක් කියන්න.” බැසිල් ප්‍රසන්නට දැනුම් දුන්නේය. ප්‍රසන්න හනික ගොස් ජනාධිපති හා අගමැති හමුවී බැසිල්ගේ පණිවුඩය දැනුම් දුන්නේය.

කලබල නොවී ඉදිරියට වෙන්නේ කුමක්දැයි බලා සිටිමු.

තවත් කැබිනට් ඇමැතිවරු 10ක් මඟ එනවා

රාජ්‍ය ඇමැතිවරුන් 38 දෙනෙක් ඉකුත් සතියේදී දිවුරුම් දුන්හ. කැබිනට් ඇමැතිවරු 10 දෙනකු ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. බොහෝවිට එම දිවුරුම් දීම ජනාධිපතිගේ විදේශ සංචාරයෙන් පසු සිදුවුණු ඇතැයි වාර්තා වෙයි.

තේනුක විදානගමගේ රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ පැවැති තේ පැන් සංග්‍රහයේදී මේ ගැන කථා බහක් විය. මාධ්‍යවේදියකු ප්‍රසන්නගෙන් විමසුවේ ඇමැතිතුමා නාමල් රාජපක්‍ෂටත් කැබිනට් ඇමැති ධුරයක් ලැබෙනවාද කියායි.

“අනිවාර්යයෙන්ම එතුමා ඇමැතිකමකට සුදුසුයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගත්තේ එතුමා යැයි ප්‍රසන්න කියද්දී අසල සිටි තේනුක විදානගමගේ, ෂෙහාන් සේමසිංහ හා ජනක වක්කුඹුරද එය අනුමත කළහ.

ප්‍රසන්න බදා නොගෙන බෙදාගෙන වැඩ කරයි

රාජ්‍ය ඇමැතිවරුන්ට බලතල ලබානොදීම ගැන පවතින තත්ත්වයට ප්‍රායෝගික විසඳුමක් දුන් ප්‍රසන්න, ඔහුගේ අමාත්‍යාංශයට පත් වූ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාට බලතල පැවරීමට තීරණය කළේය.

බදාගෙන වැඩ කරනාවට වඩා බෙදාගෙන වැඩ කරන්නැයි මම කැමැති. ඒ නිසා ඔයාලා මේ වැඩ ටික කරගෙන යන්නයි ප්‍රසන්න නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනාට දැනුම් දුන්නේය.

අනතුරුව ප්‍රසන්න ඇමැතිවරයා සිය නිලධාරීන්ට දැනුම් දුන්නේ අපි තුන්දෙනා අවබෝධයෙන් වැඩ කරනවා. ඒ නිසා කේලම් කියලා කාටවත් අපිව කොටවන්න බෑ. නිලධාරි මහත්වරු ඒකට ලෑස්ති වෙන්නත් එපා. මම නිවැරදි මිනිහා වෙනුවෙන් පෙනී සිටිනවා. හැබැයි වැරදි අය ආරක්‍ෂා කරන්නේ නෑ. ඒකත් හොඳට මතක තියා ගන්නයි කියායි.

බෙනට් රූපසිංහ