රසකිඳ-තිප්පිලි-ඉඟුරු-නෙල්ලිවලින් තරබාරුව මට්ටු කරන බෙහෙතක් හදා ගන්න හැටි

0
19

අධික තරබාරුව කාන්තා පිරිමි කාටත් ඇතිවිය හැකි එහෙත් ඒ බොහෝ දෙනකු කැමැති නොවන ශරීර ස්වභාවයක්. ඊට හේතුවන්නේ ශරීරයේ තෝරාගත් පේශීන්වල මේදය තැන්පත් වීමයි. අපගේ ශරීර ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ගත්විට එම වැඩිපුර ඇති කැලරි ප්‍රමාණය මේදය වශයෙන් තැන්පත් වෙනවා. පිරිමි අයගේ මේදය තැන්පත්වීම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් උදරය ආශ්‍රිතවයි. විශාල උදරයක් ඇතිවන්නේ මේ හින්දා. නමුත් කාන්තාවන්ගේ තත්ත්වය මීට තරමක් වෙනස්. කාන්තාවන්ගේ උදරයටත් වඩා කලව, උකුළ මෙන්ම තට්ටම් ප්‍රදේශවල මේදය තැන්පත්වීම සිදුවෙනවා. මේ නිසා කාන්තාවන්ගේ ශරීර හැඩය ඉතා බරපතළ ලෙස වෙනස්වීම දැකගත හැකියි. මෙම වෙනස් වීම වසර දෙක තුනක් වැනි කාලයකදී කෙනකු හඳුනාගත නොහැකි වන තරමට පවා වුවද විය හැකියි.

තරබාරුවට කැමැති අයත් ඉන්නවා. පෙරළුණු පිට හොඳයි කියනවා වගේ තරබාරුවට වෙන්වුණු විලාසිතා එළිදැක්වෙනවා. තරබාරුව අලෙවි වෙනවා. අපි ඔවුන්ගේ මතයට ගරු කරනවා. නමුත් අධික තරබාරුව ආතරයිටිස්, හෘද රෝග, දියවැඩියාව, කොලොස්ටරෝල් ඇතුළු රෝග බොහෝ ප්‍රමාණයකට හේතුවන බව ඔබ දන්නවාද? ඇත්තම කතා කළොත් අධික තරබාරුව ඔබගේ ශරීර හැඩයටත්, නිරෝගිතාවටත්, විලාසිතාවලටත් බලපානවා. ඉතින් ඔබටත් තරබාරු ශරීරයක් ඇත්නම් සහ නැවත යථා තත්ත්වයට පත්වීමට ඔබට අවශ්‍ය නම් ඒ සඳහා සහාය වීමට ආයුර්වේදය සූදානම්.

අධික තරබාරුව පාලනයට කාගේත් මුල්ම උපදෙස වන්නේ ආහාර පාලනය කිරීමයි. නමුත් නොකා නොබී සිටීමෙන් තරබාරුව පාලනය කිරීම මාගේ ක්‍රමය නොවෙයි. මා වෙත පැමිණෙන තරබාරු අයට මා එසේ පවසන්නේ නැහැ. ආහාර අඩුවෙන් ගැනීම හරහා ශරීරයේ අධිකව තැන්පත් වූ මේදය අඩුවීම සිදුවන්නේ ඉතාමත් සෙමෙන් වන අතර ශරීරයේ තරබාරුවත් සමඟ ශරීර ශක්තිය දුර්වල වීමට එය හේතුවන අතර වෙනත් නොයෙක් පීඩාවන් හා අනතුරුවලට පවා ලක්විය හැකියි. එසේ නොමැතිව සාමාන්‍ය පරිදි ආහාර ලබාගන්නා අතර ශරීරය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය සකස් කරන ලද ඔෟෂධ අප වෙතින් ලබාගත හැකියි. රෝගියා අනුව වෙනස් වූ ඔෟෂධ අප විසින් ලබාදෙනවා. ඒ සමඟ දිනපතා කිසියම් වූ කාලයක් ව්‍යායාම සහ පයින් ඇවිදීම සිදුකළ යුතුයි. ඒ සඳහාද රෝගියා අනුව නියමිත වූ කාල සටහනක් ලබාදෙනවා.

තරබාරුව මට්ටු කිරීම සඳහා පුරාණ ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් ප්‍රතිකාර ක්‍රම දෙකක් පහත දක්වන අතර එය පොදුවේ ඕනෑම මට්ටමක තරබාරු අය සඳහා සුදුසු වෙනවා. නියමිත පරිදි ඔෟෂධ සකස් කරගෙන සාර්ථක ප්‍රතිඵල ලබාගන්න.

තිප්පිලි, නෙල්ලි, ඉඟුරු, බුළු, ගම්මිරිස්, අරළු සම සමව ගෙන කුඩු කර ඊට සහිඳ ලුණු, තල තෙල් දමා මිශ්‍රකර උදේ සවස තේ හැන්දක ප්‍රමාණය ගන්න.

ඊට පසුව අරළු, බුළු, නෙල්ලි, රසකිඳ කළං 3 බැගින් ගෙන වතුර පත 8-1ට සිඳ උදේ සවස මී පැණි සමඟ බොන්න.

වෛද්‍ය

සජානි වාසනා

ප්‍රනාන්දු

BAMS (Hons) University of Kelaniya

ධන්වන්තරි ආයුර්වේදය _ පිළියන්දල

0718659179